E   |     |  

කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ගරු සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ

මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (විශේෂඥ වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

උක්ත පනත් කෙටුම්පතට අමතරව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත් ද්විත්වයක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියළු කටයුතු සූදානම් බවද ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ අදහස් පළවූයේ නවසීලන්ත පාර්ලිමේන්තුවේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරියක වන වනුෂී වෝල්ටර්ස් මහත්මිය සමග සූම් (zoom) තාක්ෂණය ඔස්සේ පසුගියදා (05) විශේෂ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය. මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පැවසූවේ වර්තමානයේදී කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය දරන්නේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවත් ලංකාවේ කාන්තාවන් සහ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයා තුළ විශාල උනන්දුවක් පවතින බවයි.

එමෙන්ම, දේශපාලනය සඳහා කාන්තාවන් දිරිගැන්වීමේ අවශ්‍යතාවය පිළිබඳවද සාකච්ඡා කෙරිණි. කාන්තාවන් දේශපාලන ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක කර ගැනීමට හිතකර වාතාවරණයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අදහස් පළවිය. සිය දරුවන් සුරක්ෂිතව රඳවා තැබිය හැකි දිවා සුරැකුම් මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මන්ත්‍රීවරියන් සිය අදහස් දැක්වූ අතරම ඒ පිළිබඳ නවසීලන්තය විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග ඉතා වැදගත් ආදර්ශ සපයන බවද මෙහිදී අවධාරණය විය.

ලෝකයේ අනෙකුත් පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරියන් මෙන්ම අනෙකුත් පාර්ලිමේන්තු නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරියන් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අතර සම්බන්ධතාවන් ගොඩනැගීමට තමා උත්සහ කරන බව වනුෂී වෝල්ටර්ස් මහත්මිය මෙහිදී සඳහන් කළාය.

සංසදයේ උපසභාපති ගරු රෝහිණි කුමාරි විජේරත්න, සංසදයේ සාමාජිකාවන් වන ගරු (නීතිඥ) පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගරු (නීතිඥ) තලතා අතුකෝරල, ගරු කෝකිලා ගුණවර්ධන, ගරු මුදිතා ප්‍රිශාන්ති, ගරු මංජුලා දිසානායක, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙරට දේශපාලනය තුළ කාන්තා නායකත්වය සවිබලගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සුරක්ෂිත කිරීම මෙන්ම ශ්‍රී ලාංකීය කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කොට ගෙන මෙම සාකච්ඡාව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසින් සංවිධානය කෙරිණි.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks