පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පාර්ලිමේන්තු කාන්තා සංසඳය (WPC) විසින් කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ යහපැවැත්ම සහ අභිමානය ආරක්ෂා කිරීම සඳහා ඩිජිටල් වේදිකාවන් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය නියාමනය කිරීම සඳහා වඩාත් ඵලදායී හා කාර්යක්ෂම පැමිණිලි සහ විමර්ශන යාන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා කරයි.
මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු කාන්තා සංසඳය පවසන්නේ ඩිජිටල් තාක්ෂණය ආශ්රිත ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය මෙන්ම සාමාන්‍ය ජනතාව අතර ඩිජිටල් වේදිකා භාවිතා කිරීමේ ආරක්ෂිත ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම අවශ්‍ය බවයි.
මාර්තු 08 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරමින් පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සභාපතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.
සම්පූර්ණ ප්‍රකාශය පහතින් දක්වා ඇත;
2023 මාර්තු 8 වන දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි. එමඟින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම උදෙසා වෙර දරන කාන්තාවන් මුහුණපාන ගැටළු හදුනා ගැනීම හා සමාජය දැනුවත් කිරීම මෙන්ම ඔවුන් එම කාර්යයෙහි මෙතෙක් ලබා ඇති ප්‍රගතිය මෙම දිනයේදී සනිටුහන් කරනු ලැබේ.
කාන්තාවන් වෙනුවෙන් කැප වූ ජාත්‍යන්තර දිනයක් සැමරීම සම්බන්ධයෙන් වැඩි වටිනාකමක් ලබා නොදුන්නද, මෙම දිනය සැමරීම කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන් මුහුණ දෙන ගැටළු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා තීරණාත්මක වන අතර, සියල්ලටත් වඩා එය ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සහ කාන්තා සවිබල ගැන්වීම උදෙසා දේශපාලන කැමැත්ත සහ සම්පත් බලමුලූ ගැන්වීමේ ප්‍රබල උපදේශන මෙවලමකි.
තාක්ෂණයේ දියුණුව සහ ගෝලීයකරණයත් සමඟ කාන්තාවන් මුහුණ දෙන අභියෝග වෙනස් වී ඇත. කෙසේ වෙතත්, අප 21 වන සියවසේ ජීවත් වුවද අගතීන් සහ ඒකාකෘතිකරණයන් හා සම්බන්ධ විශ්වාසයන් තවමත් කාන්තාවන්ට ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් අවබෝධ කර ගැනීමට බාධාවක්ව පවතී. වෙනස්වන ලෝකය සහ ඒ ආශ්රයෙන් මතුවන ගැටලූවලට සරිලන පරිදි, මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ “DigitALL: ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය උදෙසා නවෝත්පාදනය සහ තාක්ෂණය” (Innovation and technology for gender equality ) යන්නයි.
ගෝලීය වසංගතය සහ එහි ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ සංචරණ සීමා කිරීම් හමුවේ, වෘත්තීයමය කටයුතු, අධ්‍යාපනය සහ සමාජ ක්‍රියාකාරකම් වැනි බොහෝ ක්‍රියාකාරකම් සමඟ ජන ජීවිතය විශාල ලෙස වෙනස් වී, අන්තර්ජාලය ඔස්සේ සියල්ල සිදු කරනා යුගයකට පරිවර්තනය විය. අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම සහ නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ කාර්යාලීය වැඩ කටයුතු සිදු කිරීම දැන් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ වසංගතයට මුහුණදුන් සමාජවල සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එබැවින්, අන්තර්ජාල අධ්‍යාපනයට පහසුකම් සැලසීම සඳහා දරුවන්ට අන්තර්ජාලයට ප්‍රවේශ වීමට සහ ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කිරීමට දෙමාපියන් අවසර දීමේ ප්‍රතිඵලයක් ලෙස, විශේෂයෙන් ළමුන් අතර ඩිජිටල් අවකාශයන් සහ උපාංග භාවිතය දැඩි ලෙස වැඩි විය.
අන්තර්ජාල භාවිතය සහ ඩිජිටල් අවකාශයන් සහ උපාංගවල සමස්ත භාවිතය වැඩි වී ඇති අතර, ආර්ථික බාධාවන් හේතුවෙන් සම්බන්ධතා ගැටළු වල සිට ඩිජිටල් උපාංග මිලදී ගැනීමට නොහැකි වීම දක්වා වූ ගැටළු හේතුවෙන් රටේ සැලකිය යුතු කොටසකට අන්තර්ජාලයට ප්‍රවේශ වීමට සම්පූර්ණයෙන්ම බාධා පැමිණ ඇත. අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය සිදුකිරීම නව සම්මතයක් වී ඇති බැවින් මෙය දරුවන්ට අහිතකර ලෙස බලපා ඇත. පවුලකට එක් ඩිජිටල් උපාංගයක් පමණක් ලබා ගත හැකි අවස්ථා වලදී අගතිගාමී විශ්වාසයන් හේතුවෙන් එම උපාංගය භාවිතා කිරීමට ගැහැණු දරුවාට වඩා පිරිමි දරුවාට අවස්ථාව ලබා දී ඇති බව ද පෙනී යයි. ලොව පුරා මේ පිළිබඳව සිදුවන වාර්තාගත කිරීම්වලට අනූව පෙනී යන්නේ උපාංග, ජාල සහ දත්ත වෙත ප්‍රවේශ වීමේදී කාන්තාවන්ට මුහුණදීමට සිදුවන සීමාවන් හේතුවෙන් ඔවුන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය පිරිමින්ට වඩා අඩු බවයි.
කෙසේ වෙතත්, එය ද නිවැරදිව භාවිතා නොකළහොත්, අන්තර්ජාලය ඉතා පහසුවෙන් ප්රචණ්ඩත්වය සහ හිරිහැර ප්‍රචාරණය කරන මාධ්‍යයක් බවට පත්විය හැකිය. පීඩාවට පත් පුද්ගලයන් සහ දෙමාපියන් විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය (Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) වෙත කරන ලද පැමිණිලි වසංගතය අතරතුර ඉතා ඉහළ මට්ටමක පැවතිනි. එවැනි අවස්ථා බොහොමයකට ගොදුරු වූයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින්ය.
එබැවින්, සාමාන්‍ය ජනතාව අතර ඩිජිටල් තාක්ෂණය පදනම් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ප්රචණ්ඩත්වය සහ ඩිජිටල් වේදිකා භාවිතා කිරීමේ ආරක්ෂිත ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.
ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, අන්තර්ජාලයට හොඳ ප්‍රවේශයක් ලබාදීම උදෙසා සම්පත් බලමුලූ ගැන්වීමට සහ ඩිජිටල් තාක්ෂණය පදනම් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා රෙගුලාසි වැඩිදියුණු කිරීමට සාකච්ඡා ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කාන්තා සංසඳය සිය උත්සාහයන් ශක්තිමත් කර ඇත. තව බොහෝ දුර යා යුතුව ඇති බව පිළිගන්නා අතරම, කාන්තාවන් සවිබල ගැන්වීමට සහ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ යහපැවැත්ම සහ අභිමානය ප්‍රවර්ධනය කරන, ආරක්ෂා කරන සහ සහාය දෙන සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී සිටීමට පාර්ලිමේන්තු කාන්තා සංසඳය අධිෂ්ඨාන කර ගෙන ඇත.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks