E   |     |  

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ක‍්‍රියාකාරීත්වය

එක්සත් වන්න! කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ක්‍රියාකාරීත්වය: කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ගෝලීය ක්‍රියාකාරීත්වය (GBV) සමඟ එකමුතුව නැගී සිටියි.

වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලංකාව අවදානමට ලක් විය හැකි අලුත් අභියෝග වලට මුහුණ දෙමින් සිටී. අර්බුදයට පෙර පවා, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය හේතු කොට ගෙන සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් නිසා කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට පූර්ණ නිදහසක්, අවස්ථා සහ ආරක්ෂාවක් නොතිබුණි. 2019 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද කාන්තා යහපැවැත්ම පිළිබඳ සමීක්‍ෂණය – 2019 වාර්තා කරන්නේ, වයස අවුරුදු 15 සහ ඊට වැඩි කාන්තාවන් සහ ගැහැණු ළමයින් විවාහ වී හෝ නොවී සහකරුවකු සමඟ එකට සිටින/සිටි අයගෙන් සියයට 20 ක් සිය සමීප සහකරුගෙන් කායික සහ/හෝ ලිංගික හිංසනයට මුහුණ දී ඇති බවත්, එම වයස් කණ්ඩායමටම අයත් කාන්තාවන්ගෙන් සියයට 25ක් තම සහකරුගෙන් හෝ වෙනත් අයකු විසින් සිදු කරනු ලැබූ කායික හෝ ලිංගික හිංසනයට මුහුණ දී ඇති බවත්ය. සියයට 18 ක් ප‍්‍රකාශ කළේ තම ජීවිත කාලය තුළ ඔවුන් තම සහකරුවා විසින් ආර්ථික අපයෝජනයන්ට ලක් කල බවයි. සියයට 21ක් කාන්තාවන් මෙසේ සහකරුගේ ප‍්‍රචණ්ඩත්වයට ලක් වන බව සම්මුඛ පරීක්ෂණවලට පෙර කිසිවකුට ප‍්‍රකාශ කර නැත.

නිසැකවම ආර්ථික අර්බුදය විසින් දැනටමත් අවදානමට ලක්ව සිටින පුද්ගලයින් තවදුරටත් අවදානමට ලක් කර ඇත. ඉහළ උද්ධමන අනුපාත සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන කුසගින්න, පෝෂණ අර්බුදය, නිවාසවල වියදම් සඳහා වන අරගල, දරිද්‍රතා මට්ටම් ඉහළ යාම, සමාජය තුළ පවතින නොසන්සුන් බව, ප‍්‍රජනක සෞඛ්‍ය සහ වෙනත් සේවාවන් ඇතුළු සෞඛ්‍ය ආධාර අඩු කිරීම ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වයට සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන අහිතකර බලපෑම්වලට කාන්තාවන් සහ ගැහැණු ළමයින් පත් කර ඇත.

2022 වසරේ ගෝලීය තේමාව වන්නේ “එක්සත් වන්න! කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ ක්‍රියාකාරීත්වය” යන්නයි. එයින් අවධාරණය කරන්නේ ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට නම් එකමුතුකම අත්‍යාවශ්‍යය සාධකයක් බවත් ඊට එරෙහිව කටයුතු කිරීම සඳහා රජයන්, සංවර්ධන හවුල්කරුවන්, සිවිල් සමාජ ක‍්‍රියාධරයන්, තරුණයින්, මාධ්‍ය සහ අනෙකුත් සියලූම පාර්ශ්වකරුවන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. එබැවින්, ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වය පිටු දැකීමේ ක‍්‍රියාකාරකම් කළ යුතු දින දහසය ශ්‍රී ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම සහ සමාන අයිතිවාසිකම් සහතික කිරීම සඳහා වන අපගේ ඉලක්කය සඳහා වැදගත් උපදේශන සිදුකළ හැකි කාල පරිච්ඡේදයක්” යැයි පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සභාපතිනිය වන ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පැවසීය.

ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වය ලංකාවේ කාන්තාවන්ට අලූත් දෙයක් නොවේ. කාන්තාවන් වශයෙන් අපට සැමවිටම එයට මුහුණ දිය යුතුය. නමුත්, එය හරි දෙයක් ලෙස සිතමින් සාමාන්‍යකරණයට ලක් කළ නොහැක. කාන්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් ලෙස අපි සැමවිටම අපගේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව වාචික ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දෙමු. මැතිවරණ වලදී සහ යමෙකුට අපව අපකීර්තියට පත් කිරීමට අවශ්‍ය වූ විට, භාවිතා කරන වඩාත් සුලභ ආයුධය වන්නේ අපගේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය භූමිකාවන් සහ ඊට අදාළ ඒකාකෘතීකරණයන්ය. ඒවා ආශ‍්‍රය කර ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනයේ නායිකාවක් වීම සඳහා ගත් තීරණ අපකීර්තියට ලක් කරයිි. අපි මේ සඳහා සටන් කළ යුතුයි. අපි ඕනෑම ආකාරයක ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වයන්ට එරෙහිව සටන් කළ යුතුයි” යැයි පාර්ලිමේන්තු කාන්තා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනිය ගරු රෝහිණී කවිරත්න මහත්මිය අවධාරණය කළේය.

අද අපි ශ්‍රී ලංකාව පත්ව සිටින මෙම බරපතල සන්දර්භය මධ්‍යයේ වුවද, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහි දින දහසයේ ක‍්‍රියාකාරිත්වය සනිටුහන් කරමු. කාන්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් ලෙස අපි එය ඉතා බැරෑරුම් ලෙස සලකමු. මහජන නියෝජිතයන් ලෙස ශ්‍රී ලංකාව තුළ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය ඇති කිරීමට හෝ අවම වශයෙන් වැඩිදියුණු කිරීමට අපි සැමවිටම උත්සාහ කළෙමු” යැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය වන ගරු ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රකාශ කළේය..

ඕනෑම පුද්ගලයකුට එරෙහිව සිදු කරන ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වයට තුඩු දෙන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හෝ ලිංගික හිංසන වලට එරෙහිව නැඟී සිටින ලෙසටත් එවැනි ක‍්‍රියා දැඩි පිළිකුලක් හෙළා දකිමින් ප‍්‍රතිචාර දක්වන ලෙසටත් අපි සියලූම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු. අප මේ කෙරෙහි අවධානය යොමු නොකිරීම අපරාධකරුවන් හට තමන් සිදුකරන මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සාමාන්‍යකරණයට ලක් කිරීමට හේතු වේ . එබැවින් අප අවධානය යොමු නොකරන්නකු ලෙස කටයුතු කිරීම හෝ නිශ්ශබ්දව සිටීම සිදු නොකළ යුතුය” යන්න සංචාරක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ඩයනා ගමගේ මහත්මිය ප‍්‍රකාශ කරන ලදී.

වර්තමානයේ පවතින්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කෙරෙහි සමාජය තුළ විශ්වාසය නැති වූ යුගයක් බව අපට වැටහී තිබෙනවා. කෙසේ වෙතත්, අපගේ පක්ෂ භේද නොතකා, අපි කාන්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් දොළොස් දෙනෙකු ලෙස ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වය ට එරෙහිව සටන් කිරීමට, විශේෂයෙන් ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වය ට එරෙහිව නැගී සිටීමට සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ගෝලීය ප‍්‍රජාව සමඟ එකමුතුව සිටිමු” යැයි පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සමාජිකාවක වන ගරු මංජුලා දිසානායක මහත්මිය පවසනු ලැබීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කාන්තා පනත කෙටුම්පතක් කිරීමේ කර්තව්‍යයට පාර්ලිමේන්තු කාන්තා සංසඳය සහාය දැක්වීමේ ක‍්‍රියාවලියක නිරතව සිටී. කෙසේ වෙතත්, නීති පමණක් වෙනස් කිරීමෙන් වෙනසක් සිදු නොවන බවත්, පනත සම්මත වූ විට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ජීවිතවල අර්ථවත් වෙනසක් ඇති කරන බව සහතික කිරීම සඳහා ආයතනික හා දේශපාලනික වශයෙන් කළ යුතු වැඩ රාශියක් ඇති බවත් අපි දනිමු” යැයි පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකාවක වන ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේය.

මෙම ගෝලීය ව්‍යාපාරයට සහයෝගීව සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් නොවැම්බර් 25 වැනිදා සිට උපදේශන ක‍්‍රියාමාර්ග මාලාවක් ක‍්‍රියාත්මක කරනු ඇත. ඔවුන් නොවැම්බර් 28 සහ 29 යන දිනවල ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වයන් වලට එරෙහිව සටන් කිරීම පිළිබඳ විද්වත් සාකච්ඡුා දෙකක් සහ දෙසැම්බර් 1 වනදා මාධ්‍ය හමුවක් පවත්වයි. මාධ්‍ය හමුව පැවැත්වෙන දිනයේ ”ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීමට එක් වෙමු” යන පණිවිඩය රැගත් අත් පටියක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහයෝගීතා පියවරක් ලෙස පළදවන අතර සියලූම කාන්තා මන්ත‍්‍රීවරියන්ට තැඹිලි වර්ණයෙන් යුත් ඇඳුමෙන් පැමිණෙන ලෙස ආරාධනා කෙරේ.පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පරිශීලනය කිරීම සඳහා ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවයට සහ සමාජ ඇතුළත් කිරීම්වලට අදාළ ප‍්‍රකාශන අඩංගු මෑතකදී පිහිටුවන ලද ස්ත‍්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා අංශයේදී මෙය සිදු කෙරේ. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ ජනතාව දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන් මෙම සියලූ කටයුතු පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සමඟ අත්වැල් බැඳගෙන සිදු කෙරේ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks