E   |     |  

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුවේ

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර එය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමටත්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් ස්ථාපිත කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුනේ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යශයේ නිලධාරීන් සහ තවත් කණ්ඩායම් කිහිපයක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමටත්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් ස්ථාපිත කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාර්ග ගත ක්‍රමය ඔස්සේ පසුගියදා (15) රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිල්මිණි හේරත් මහත්මිය පැවසුවේ මේ සම්බන්ධයෙන් වසර ගණනකට පෙර ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළ බවයි. නමුත් එහි අඩුපාඩු පවතින බැවින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව අතිරේක ලේකම්වරිය පැවසුවාය. මේ නිසා එහි පවතින අඩුපාඩු මගහරවා ගනිමින් එම ප්‍රතිපත්තිය විධිමත්ව සකස් කිරීමේ හැකියාව පිළිබඳ නිල්මිණි හේරත් මහත්මිය පෙන්වා දුන්නාය.

විශේෂයෙන් රැකියා ක්ෂේත්‍රය, දේශපාලන ක්ෂේත්‍රය ආදී අංශ ගණනාවක කාන්තා සහභාගිත්ව අවම මට්ටමක පවතින බව මෙම විශේෂ කාරක සභාවේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී පැවසුවා ය. මේ නිසා කෙටුම්පත් මට්ටමේ පවතින මෙම ප්‍රතිපත්තිය අවශ්‍ය ආකාරයෙන් නිවැරදිව සකස් කොට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නාය. ඒ සඳහා අවශ්‍ය පාර්ශවයන් වෙත ලිඛිතව දැනුවත් කොට සහයෝගය ලබාගෙන එම සියලු දෙනාගේම අදහස් සහිතව මෙම ජාතික ප්‍රතිපත්තිය හැකි ඉක්මනින් සකස් කිරිම පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය පැහැදිලි කළේය.

එසේම මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව නව සංකල්ප යටතේ අවධානය යොමු කරමින් මෙම ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කළ යුතු බවයි.

කෙටුම්පත් මට්ටමේ පවතින ජාතික ප්‍රතිපත්තිය සහ එහි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ මෙම කාරකසභාවේ මැදිහත්වීමෙන් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා අඩුපාඩු සැකසීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ, සැලසුම් හා අධීක්‍ෂණ ජේ. ඩී. එස්. ජයසිංහ මහතා සහ රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය වන නිල්මිණී හේරත් මහත්මිය ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී පැවසුවාය. මේනිසා කෙටුම්පත් මට්ටමේ පවතින මෙම ජාතික ප්‍රතිපත්තිය නිවැරදිව අධ්‍යනය කිරිමට අවශ්‍ය සියලු පාර්ශවයන් වෙත එය යොමු කරන ලෙසද පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේ ය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යශයේ නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී සහ මෙම විශේෂ කාරක සභාවේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් හා තවත් පාර්ශව කිහිපයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වූහ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks