07

E   |     |  

2010-05-26

වෙසක් වැඩසටහන - 2010

ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත්වීමෙන් අනතුරුව එළැඹි ප්‍රථම වෙසක් උත්සව දිනය 2010-05-27 දිනයයි. ඒ නිමිත්තෙන් ඉතා චාම් එහෙත් ගෞරවාන්විත ආගමික වැඩසටහනක් 2010-05-26 දින පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙස ගරු කථානායකතුමා විසින් උපදෙස් දෙන ලදී. ඒ අනුව, පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමාගේ මඟ පෙන්වීම යටතේ ආගමික කටයුතු සංවිධානය විය.

පාර්ලිමේන්තුවේ පැවැති පුණ්‍ය කටයුතු

2010-05-26 වැනි දින පස්වරුවේ පූජ්‍ය මිරිස්සේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසින් වෙසක් ධර්ම දේශනාව පවත්වන ලදී. මෙම පින්කම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරන ලදී.

කථානායකතුමාගේ නිල නිවසේ දී පැවැති පුණ්‍ය කටයුතු

  • ලුම්බිණි සල් උයනෙන් ගෙන එන ලද සල් පැල බෙදා දීම

උපත ලද අවස්ථාවේ දී සිදුහත් ගෞතමයාණන්ට සෙවන දුන් සල් රුක්වල බීජයන්ගෙන් පැළ ලබාගෙන මෙරටට ගෙන අවුත් අරලියගහ මැදුරේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවනෙහි වඩා හිඳුවා ආරක්ෂා කිරීමට ගරු චමල් රාජපක්ෂ මැතිතුමා අමාත්‍යවරයකු වශයෙන් ලුම්බිණි වන්දනාවේ යෙ‍දුණු අවස්ථාවක කටයුතු කරන ලදී. එම සල් පැල කෝට්ටේ රජ මහා විහාරය, කෝට්ටේ ශ්‍රී නාග විහාරය ප්‍රමුඛ විහාරස්ථාන 12 ක්, පාසැල් සහ තවත් ආයතන ගණනාවක් වෙත ගරු කථානායකතුමා අතින් බෙදා දීම සඳහා කෙටි චාම් උත්සවයක් මෙදින පැවැත්විණි.

කෝට්ටේ රජ මහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන්, ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සහ නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, මහා භාරකාරතුමා සහ පාසල්වල විදුහල්පතිවරුන් ප්‍රමුඛ විශේෂ ආරාධිත අමුත්තෝ පිරිසක් ද, මෙම අවස්ථාවට සහභාගි වූහ.

  • බෝධි පූජා පින්කම

පස්වරු 06.00 ට කථානායක නිල නිවස ඉදිරිපස වැඩ සිටින බෝ සමිඳු අභියස බෝධි පූජා පින්කම ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්තුමා සහ සහකාර මහ ලේකම්තුමා ද, චමල් රාජපක්ෂ මැතිනිය ප්‍රමුඛ සැදැහැවත් පිරිසක් ද, සහභාගි විය.

  • බොදු බැති ගී කුසුම් සරණිය

මිනුවන්ගොඩ සංස්කෘතික කලා නිර්මාණ සංසදයේ දරු දැරියන් 20 දෙනෙකු විසින් මෙය ඉදිරිපත් කරන ලදී. මීට අනුග්‍රාහකත්වය දැක්වූයේ ලංකා බැංකුවේ පාර්ලිමේන්තු ශාඛාවයි.

සහභාගීත්වය

  • ගරු කථානායකතුමා සහ පවුලේ ඥාතීන්
  • වැඩ බලන විදේශ කටයුතු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මැතිතුමා ඇතුළු ගරු කථානායකතුමාගේ විශේෂ ආරාධිත අමුත්තන්
  • පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා, නියෝජ්‍ය මහ ලේකම්තුමා, සහකාර මහ ලේකම්තුමා, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නියෝජිතයින්
  • පාර්ලිමේන්තුවේ අනෙකුත් කාර්යාංශ ප්‍රධානීන්
  • පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවේ හා අනුබද්ධිත කාර්ය මණ්ඩලයන්හි නියෝජිතයින්
  • පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාමලත් මහත්ම මහත්මීන්ගේ සංගමයේ නියෝජිතයින්
  • බැති ගී සරණියට එක් වූ දූ දරුවන්ගේ දෙමව්පියන් සහ පවුලේ ඥාතීන්

බැති ගී කුසුම් සරණිය අවසානයේ එම ගී ගැයුමට එක් වූ දරු දැරියන්ට ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික කිතුල්ගොඩ මහතා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් අතින් තිලිණ සහ සහතික පත් ප්‍රදානය කරන ලදී.
මෙම වැඩසටහනෙහි මාධ්‍ය ආවරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන විසින් සිදුකරන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks