07

E   |     |  

2009-12-23

දියවන්නා නත්තල් ගී මිහිර - 2009

"දියවන්නා නත්තල් ගී මිහිර" වාර්ෂික නත්තල් වැඩසටහන චාම් චාරිත්‍රානුකූල සැමරීම් සහිතව 2009 දෙසැම්බර් 23 දින ගරු කථානායකතුමාගේ නිල නිවසේ දී පවත්වන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා වූ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගරු කථානායකතුමාගේ නිල නිවස ඉදිරිපිට දී ආසිරි පැන් ඉස ආශිර්වාදය දානය කිරීමෙන් දේව මෙහෙය ආරම්භ විය. ඉන්පසු ආරම්භක පෙරහැරෙහි ආගමනය සිදුවිය. දේව මෙහෙය සහාය කාර්ය මණ්ඩලය, පූජකවරු, ගරු කථානායකතුමා සහ අගරදගුරුතුමා පෙරහරින් පැමිණියහ. ගරු බෙනඩික් ජෝශප් පියතුමාණන්ගේ විස්තර කථනයත් සමග දේව මෙහෙය ආරම්භ විය. ජේකොම් ගොන්සාල්වේස් පියතුමා විසින් ලියන ලද සුවිශේෂි ගීතිකාවක් වූ "ආරම්භයෙන් පෙර" ගීත ගායනය සමග අදාළ බයිබල් කියවීම සිදු කරන ලද අතර ගීතිකා ගායනා කිරීම ලෝරන්ස් මාටින්, සුනිල් ශාන්ත වර්ණකුලසූරිය යන මහත්වරු සහ එම කණ්ඩායම විසින් සිදු කරන ලදී.

ගරු සමන් මැක්‍ෂිමස් පියතුමා ජේසු බිළිඳාගේ උපත පිළිබඳ සුවිශේෂය කියවීය. එම අවස්ථාවේදී චාමර සැළීම් සහ මගුල් බෙර හඬ මධ්‍යයේ සජීවී ගවලෙන පෙරහැරක ආකාරයෙන් වේදිකාවට වැඩමවීම සිදුවිය. මෙය සැබවින්ම මෙම ආගමික මෙහෙයේ ඉතාමත් වර්ණවත් අවස්ථාවකි. සජීවී ගවලෙන වේදිකාවට ළඟා වූ වහාම ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් එතුමාගේ නත්තල් පණිවිඩය සහ ආශීර්වාදය දානය කිරීම සිදු කළහ. චාරිත්‍රානුකූලව සිදු කරන පරිදි මෙම වසරේදී ද විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් විසින් රචිත "ශ්‍රී ලංකාවේ කිතුණු දායකත්වය" නමැති විශේෂ නත්තල් කෘතිය පිළිගැන්වීම සිදුවිය.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ආදී ආයතන නි‍යෝජනය කළ කැරොල් කණ්ඩායම් සහ දෙහිවල ශාන්ත මරියා දේවස්ථානයේ බැති ගී කණ්ඩායම, ගුරුබෑවිල දිසාවේ තරුණ සංගමය, සහ බෝලවත්ත බැති ගී ගායනා කණ්ඩායම වැනි අනෙකුත් බැති ගී කණ්ඩායම් විසින් බැති ගී ගායනා ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ දරු දැරියන්ගෙන් සැදුම් ලත් බැති ගී කණ්ඩායම විසින් අඛණ්ඩව දෙවන වරටත් බැති ගී ගායනා ඉදිරිපත් කෙරිණි. කොළඹ "ජෝ නෙත්" ස්ටූඩියෝ හි අධ්‍යක්‍ෂ ගරු ශ්‍රියානන්ද ප්‍රනාන්දු පියතුමා විසින් ඔවුන් පුහුණු කරන ලදී. ඊට අමතරව රැජිණි සෙල්වනායගම් මහත්මියගේ චාමර කලායතනයේ දරු දැරියන් ඉදිරිපත් කළ නර්තන අංගයකින් ද මෙම සැඳෑව අලංකාරවත් විය.

ගරු කථානායකතුමා, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය, අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකාවේ වර්තමාන ඇපොස්තලික තානාපති අති උතුම් මොන්සිඤ්‍‍ඤෝර් ජෝශප් ස්පිටේරිතුමා සහ ආගමික නායකයින් මෙම සන්ධ්‍යාව ශෝභාමත් කළ අතර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද පැමිණ සිටියහ. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks