07

E   |     |  

2009-09-25

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සරස්වතී පූජාව

නවරාත්‍රී ආගමික උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ වාර්ෂිකව පවත්වනු ලබන සරස්වතී පූජාව හය වැනි වතාවටත් මෙම වසරේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදින. වීර්ය, ධනය හා අධ්‍යාපනය පතා පිළිවෙලින් දුර්ගා, ලක්ෂ්මී හා සරස්වතී යන දේව මෑණිවරුන් තිදෙනා වන්දනා කිරීමේ මෙකී ආගමික උත්සවය, සියලු රටවැසියන්ගේ යහපත පිණිස, නීති සම්පාදනය කරන්නා වූ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුවේ දී පැවැත්වීම ගරු කථානායක වි . ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමාගේ කැමැත්ත වේ. එතුමන්ගේ කැමැත්ත පරිදි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේත්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේත් අනුග්‍රහය ඇතිව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙකී උත්සවය වෙනුවෙන් සැප්තැම්බර් මස 25 වැනි දින සිකුරාදා උදෑසන සිටම පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස මණ්ඩපය නන්දි ධජ, ගොක් කොළ සැරසිලි හා කෙසෙල් ගස්වලින් අලංකාර ගන්වා තිබිණි. ඉතාමත් අලංකාර ලෙස සරසා තිබූ ආසනයක් මත දුර්ගා, ලක්ෂ්මී හා සරස්වතී යන දේව මෑණිවරුන්ගේ පිළිරූ මල්දම්වලින් සරසා තිබුණි. ආගමික උත්සවයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ කලා වැඩසටහන් සඳහා වෙනම ම විශාල වේදිකාවක් ද තනා තිබිණි.

පස්වරු 1.00 ට පන්ජාබි නාගේන්ද්‍රන් හා සුප්පුසාමි බාලමුරුගන් යන අයගෙන් සමන්විත කණ්ඩායමේ වාද්‍ය සංගීත කටයුතු ආරම්භ කෙරිණි. පූර්වයෙන් සැලසුම් කළ පරිදි පස්වරු 1.30 ට කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමාත්, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු ආර්. චන්ද්‍රසේකර් මැතිතුමාත් ගරු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරුන් සම්ප්‍රාප්ත වීම සමඟ විශේෂ පූජා කටයුතු ආරම්භ විය.

කොළඹ, කපිතාවත්ත ශ්‍රී බාල සෙල්ව විනායගර් කෝවිලේ ප්‍රධාන කුරුක්කල් වන එස්. රාධක්‍රිෂ්ණතුමාගේ ප්‍රධානත්වයෙන් සමන්විත කුරුක්කල්වරුන් විසින් පූජා කටයුතු පවත්වන ලදී. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු සේවකයින්, ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සේ වකයින් හා ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.

ආගමික වතාවත්වලින් අනතුරුව කලා වැඩසටහන් ආරම්භ විය. ප්‍රථම කලාංගය වශයෙන් දිව්‍යා සිවනේසන් මෙනෙවියගේ කණ්ඩා‍යමේ මනරම් නර්තනයක් පැවැත්විණි. ඉන් ඉක්බිතිව, එම්. සජිතා චෞද්‍රි මෙනෙවිය අලංකාර නර්තනයක් ඉදිරිපත් කළාය. තෙවැනි කලාංගය වශයෙන් ප්‍රවීණ නර්තන ගුරුවරියක් වන රිෂාන්තිනී සංජීවන් මහත්මියගේ ශිෂ්‍යාවන් පිරිසකගේ කණ්ඩායම් නර්තනයක් පැවැත්විණි. මේ සියලුම නර්තනාංග රැස්ව සිටි සියලු දෙනාගේම ප්‍රසාදයට පාත්‍ර විය.

ඉනික්බිතිව පැවැති ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වන ගීතාංජලී තුරෙයිරාජා මහත්මියගේ ශිෂ්‍යාවන්ගේ මනරම් නර්තනය රැස්ව සිටි පිරිස දැඩිව ආකර්ෂණය කරගත්තේය. ඊළඟ කලාංගය වශයෙන් පැවැති දිනිති දොරනගොඩ මෙනෙවිය ඉදිරිපත් කළ නවතාලයේ "කතක්" නර්තනය බොහෝ දෙනාගේ ඉහළ ප්‍රසාදයට පාත්‍ර විය.

අවසන් වැඩසටහන වශයෙන් පැවැති ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වන දිව්‍යා සිවනේසන් කණ්ඩායමේ මනරම් නර්තනය සමස්ත කලාංගයේම ආකර්ෂණීය අවසානයක් සනිටුහන් ක‍ළේය.

උත්සවයට සහභාගි වී සිටි සියලු දෙනාටම සිසිල් පැන් ලබාදීමට පියවර ගෙන තිබූ අතර, සහභාගි වී සිටි සියලු දෙනාටම හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදුව දෙහිවල විෂ්ණු කෝවිලේ පරිපාලක සභාව විසින් පිළියෙල කරන ලද ප්‍රණීත "ප්‍රසාදම්" ලබාදෙන ලදී.

අපගේ සංස්කෘතික සාරධර්මයන්හි අනන්‍යතාවන් ආරක්ෂා කිරීම සඳහාත්, අපගේ රටට වර්තමානයේ දී අවශ්‍ය වී තිබෙන සාමය හා සමාදානය ප්‍රාර්ථනා කරමින් පවත්වන ලද ආධ්‍යාත්මික මහෝත්සවයක් වශයෙන් සරස්වතී පූජාව සාර්ථකව පැවැත්වුණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks