07

E   |     |  

2009-09-09

ඉෆ්තාර් උත්සවය - 2009

රාමලාන් මාසය තුළ දිනපතා උපවාසය නිමාකරමින් සවස ආහාරය ගැනීම හෙවත් වාර්ෂික ඉෆ්තාර් උත්සවය, 2009 සැප්තැම්බර් මස 9 වැනි දින ගරු කථානායකතුමාගේ නිල නිවසේදී පැවැත්විණි.

සවස් යාමයේ ආරම්භ වූ මේ උත්සවයට කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අරාබි රටවල තානාපතිවරු, මුස්ලිම් ආගමික නායකයන් සහ විවිධ රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුළු ආරාධිත පිරිසගේ සහභාගීත්වය දක්නට ලැබුණි.

උත්සවය ආරම්භ වූයේ 'කසීඩා' සහ 'බයාන්' වැනි ආගමික වැඩසටහන් වලිනි. ඉනික්බිති මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනා පුද්ගලික යාච්ඤාවේ (දුආ) නිරත වූහ. ඉස්ලාමීය ඇදහීමට අනුව, උපවාසය නිමා කිරීමට (ඉෆ්තාර්) පෙර සිදු කරනු ලබන ඉල්ලීම් හා පව් සමා කිරීම් සර්ව බලධාරී අල්ලාහ් දෙවියන් පිළිගන්නා බවට විශ්වාස කෙරේ. ඉෆ්තාර් වලින් පසු 'මහ්රිබ්' යාච්ඤාව පවත්වා ඉන්පසුව රාත්‍රි ආහාරය ගැනීම සඳහා කටයුතු සූදානම් කරන ලදී. සුපුරුදු පරිදි මෙවරද මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේ අරාබියානු රාජකීය ව්‍යාපාර සමූහයේ සභාපති සාම විනිසුරු අල්-හාජ් එම්. බී. එම්. හම්සා මහතායි.

රාමලාන් මාසය ඉස්ලාමීය දින දර්ශනයේ නවවැනි මාසය වන අතර ලොවපුරා වෙසෙන මුස්ලිම් ජාතිකයින් විසින් ශුද්ධ වූ මාසයක් සේ සලකනු ලැබේ. මෙම මාසය තුළදී ඔවුහු අලුයම සිට සන්ධ්‍යා කාලය දක්වා නොනවත්වා උපවාසයේ යෙදෙති. ඔවුන් උපවාසය ආරම්භ කරන්නේ අලුයමට පෙර ගන්නා ආහාරයෙන් (සහර්) අනතුරුවය. නිරාහාරව සිටීමට අමතරව මෙම මාසය තුළදී මුස්ලිම්වරු සිදුකරන තවත් පුණ්‍ය ක්‍රියා බොහොමයක් ඇත. 'සකාත්' (අසරණයන්ට සරණ වීම), 'සදකා', 'සකාතුල් ෆිත්ර්' (දන් දීම) සහ දුප්පතුන්ට පිහිටවීම ඒ අතර වේ. උපවාස මාසය අවසානයේ ලොව පුරා මුස්ලිම්වරු ඊදුල් ෆිත්ර් උත්සවය සමරති.

ජාතීන් හා ආගම් අතර සමඟිය හා එකමුතුව වර්ධනය කිරීමේ අරමුණින්, ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා විසින් මෙම ඉෆ්තාර් උත්සවය සංවිධානය කරනු ලබයි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks