බලන්න

E   |     |  

2025 ඔක්තෝබර් මස 10 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : 2025 ඔක්තෝබර් 7 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දයාසිරි ජයසේකර මහතා විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් තීරණය

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

A.    
(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ X, XI, XII, XIII, XIV හා XV කොටස්, සිව්වැනි කාණ්ඩයේ V කොටස සහ හයවැනි කාණ්ඩයේ I, II, III හා IV කොටස්
(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ ─
•    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විශේෂ විගණන වාර්තාව; 
•    සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරින්ගෙන් රජයට අයවිය යුතු හිඟ මුදල් හා විදෙස් පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාව; සහ 
•    2022 හා 2023 වර්ෂවල ඖෂධ අවශ්‍යතාවය, ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම හා නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව (දෙවැනි කොටස)

B.    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXIII කොටස; 
•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVI කොටස;
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLVIII කොටස; සහ
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VIII, XII, XIII, XIV හා XV කොටස්, තෙවැනි කාණ්ඩයේ X, XI, XII හා XIII කොටස් සහ නවවැනි කාණ්ඩයේ VI හා VII කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(ii)    2023 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව.
(iii)    2024 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ආර්.එම්. ගාමිණී රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගම‍ගේ මහතා  -  පෙත්සම් තුනයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. එම්. අස්ලම් මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය - පෙත්සම් දෙකයි 
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. එම්. බස්නායක මහතා                    
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා -  පෙත්සම් තුනයි 
(vii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
රාජ්‍ය විශ්වවිද්‍යාල සහ රජයේ පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලය පිළිබඳ ගැටළු

(ii)    ගරු රවී කරුණානායක මහතා
මැණික් හා ස්වර්ණාභරණ අංශය පිළිබඳ ගැටළු

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නලින් හේවගේ මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 ජූලි 09 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 3 සිට 6 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:- 

•    රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම

රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ප්‍රතිලාභ රත්නපුර දිස්ත්‍රික්කයට පමණක් නොව බදුල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාවට ද ලැබෙන හෙයින්, රටේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ වුව ද විශාල ප්‍රතිලාභ රැසක් ලබා ගැනීම‍ට හැකියාව ඇති මෙම ව්‍යාපෘති අඛණ්ඩව කොටස් වශයෙන් හෝ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු රජය විසින් සිදු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    පිටිගල, උඩුගම, නෙලුව සහ දෙණියාය නගර අයත් පරිසර පද්ධතිය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම

ශ්‍රී ලංකාව නව පුනරුදයකට අවතීර්ණ වී ඇති අවස්ථාවක රටේ සංචාරක ව්‍යාපාරය දේශීය ආදායම ඉහළ නැංවීමට හේතු වන හෙයින්ද, ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තර අතරින් ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයද, වි‍ශේෂිත සත්ත්ව හා ශාක විශේෂවලින් ගහන වූ කන්නෙලිය වනාන්තරය සහ හිනිදුම කන්ද ඇතුළත් කඳුවැටියේ (හේකොක්) ජෛව පද්ධතිය විදේශීය ජනතාවගේ විශේෂ අවධානය දිනාගත් පරිසර පද්ධතියක් වන හෙයින්ද, මෙම පරිසර පද්ධතිය ඇතුළත් පිටිගල, උඩුගම, නෙලුව සහ දෙනියාය නගර අයත් පරිසර පද්ධතිය සංචාරක කලාපයක් ලෙස නම් කර එය සංවර්ධනය කිරීම සඳහා රජය විසින් අවශ්‍ය කටයුතු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    පාසැල් විෂය මාලාවට නීතිය සහ ආචාර ධර්ම ඇතුළත් කිරීම

මෙරට පොදු ජනතාව මුහුණ දෙන එදිනෙදා ගැටලුවලට ප්‍රධාන හේතුවක් ලෙස එදි‍නෙදා ජීවිතයට අවශ්‍ය මූලික නීතිය පිළිබඳ නොදැනුවත්කම හඳුනාගෙන ඇති හෙයින් ද, නීතිය නොදැන සිටීම නීතිය ඉදිරියේදී නිදහසට කරුණක් නොවන හෙයින්ද, පාසැල් විෂය මාලාව සංකීර්ණ වීම වළක්වා ගනිමින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසැල් දරුවන්ගේ පුරවැසි අධ්‍යාපනය විෂය නිර්දේශයට රටේ මූලික නීතිය පිළිබඳ ඉගැන්වීම් ඇතුළත් කිරීමට‍ අවශ්‍ය කටයුතු රජය විසින් සිදු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වැඩස‍ටහනක් සකස් කිරීම

ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය පිහිටුවා මේ වන විට වසර 35ක් පමණ ගතවී  ඇති හෙයින්ද, එම පරීක්ෂණාගාරය මේ වන විට නිසි පරිදි ක්‍රියාත්මක නොවන හෙයින්ද, ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවක‍ට ලක් නොවන හෙයින්, එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා නිසි වැඩස‍ටහනක් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම

රටක ගොවි ජනතාවගේ සුභසාධනය සැලසීම රජයක වගකීම වන හෙයින්, මෙරට ජනයාගෙන් බහුතරයක් වන ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ඇති කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

 

කල් තැබීමේ යෝජනාව

“ස්වාධීන පොලිස් කොමිෂන් සභාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 ඔක්තෝබර් මස 21 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks