E   |     |  

2021-11-29

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

වසර 10ක් ප්‍රමාද වූ කල්පිටිය දූපත් සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට වහාම වැඩපිළිවෙලක් ආරම්භ කරන්න - ‘කෝප්’ කමිටුව සංචාරක සංවර්ධන අධිකාරියට දැනුම්දෙයි

කල්පිටිය ප්‍රදේශයේ ඇති සංචාරක සංවර්ධනය අධිකාරිය යටතේ පවතින දූපත් 12 ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සංචාරක සංවර්ධනය අධිකාරියට පසුගියදා දැනුම් දුන්නේය.
 
අක්කර 2055 ක් වූ එම දූපත් 12 න් 5 ක් සදහා  ආයෝජකයෙක් 2011 වසරේදී ඉදිරිපත් වුවද ඔහුගේ ජල බංගලා ව්‍යාපෘතියට (Water Bungalows) අනුමැතිය ලබා ගැනීමට නිසි ආයතනයක් හඳුනා ගැනීමට නොහැකි වීම නිසා  මෙය ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය විය. මාලදිවයිනේ දැනටමත් මෙම වර්ගයේ හෝටල් ඇති  මෙම ආයෝජකයාට අනුමැතිය ලබා දීමට නොහැකිව වසර 10 ක් තුළ මෙලෙස ව්‍යාපෘතියක් ප්‍රමාද වීම සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම රටේ සංවර්ධනයට බාධාවක් බැවින් මේ සදහා වහාම මැදිහත් විය යුතු බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඉතා සුන්දර මෙම දූපත් සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා අවධාරණය කළේය. මේ සදහා කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී ඇති බැවින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් සභාව, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ  දෙපාර්තමේන්තුව වැනි අදාළ සියලු පාර්ශව සමග මෙහෙයුම් කමිටුවක් පත් කොට ශක්තිමත් නෛතික රාමුවක් තුළ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාට සහ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු  මහත්මියට කෝප් සභාපතිවරයා දැනුම් දුන්නේය.   

සංචාරක සංවර්ධන අධිකාරියේ 2018 සහ 2019 වර්ෂයන් සදහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සඳහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගියදා (26) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

තවද වසර කිහිපයකට පෙර කතරගම සංචාරක නිකේතනයේ අලුත්වැඩියාව සදහා වැය කළ රු. මිලියන 29 න් මිලියන 11 ක් නොකළ වැඩ සදහා ගෙවා ඇති බවට තිබූ විගණන නිරීක්ෂණය පිළිබඳව කමිටුව අවධානය යොමු කළේය. නැවත පත්කළ විශේෂඥ කමිටුවක් මගින් මෙම මිලියන 11 ක අගය රු මිලියන 4.8 කට තක්සේරු කර ඇති බවද මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත් මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා පත් කළ කමිටුවක් මගින් අදාළ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට නීතිපති මගින් දඩුවම් ලබා දෙන ලෙස නිර්දේශ වී ඇතත් මේ වන විටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවිය. ඒ වෙනුවට සිද්ධියට සම්බන්ධ නිලධාරියාට‍ අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත් කර ඇති බවද මෙහිදී විගණකාධිපතිවරයා අනාවරණය කළ අතර මේ පිළිබඳව කමිටුව සිය දැඩි අප්‍රසාදය පළ කළේය. මෙය පවතින කළමනාකාරීත්වය විවේචනය කිරීමක් නොව රාජ්‍ය ආයතන දිගු කලක් තිස්සේ පැවතෙන මෙම ක්‍රමවේදය වෙනස් කොට විගණන නිරීක්ෂණ වලට සහ  නිර්දේශවලට නිසි පියවර ගැනීම වගකීමක් බවත්   කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම කල්පිටිය තොරයිඅඩි ජැටිය සහ වන්නිමුන්දලම කලපුව අසල පාර ඉදි කිරීම වෙනුවෙන් කලුගල් සහ බොරලු පස් සදහා වැඩිපුර මිලියන 10 ක් ගෙවීම පිළිබඳව ද  කමිටුව කරුණු විමසා  සිටියේය. මෙහිදී අධිකාරිය පැවසුවේ මේ පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයාගෙන් විමසූ බවත් එහිදී අදාළ ලියකියවිලි ඔවුන් සතුව නොමැති බැවින් ඉදිරි කටයුතු සිදු කිරීමට නොහැකි බව දන්වා ඇති බවත්ය.  මේ පිළිබඳව සොයා බැලීමට 2016 වසරේදී කෝප් කමිටුව විසින් නිර්දේශයක් ලබා දී තිබුණද මේ පිළිබඳව සොයා බැලීමට ආරම්භ කොට ඇත්තේ 2018 වසරේදී බව විගණාධිපතිවරයා අනාවරණය කළේය. මේ පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කළ කෝප් සභාපතිවරයා පැවසුවේ රටේ මූල්‍ය පාලනය පිළිබඳව ඉහළම ආයතනය වන පාර්ලිමේන්තුව මගින් ලබා දෙන නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන බැදී සිටින බැවින් වහාම මේ පිළිබඳව විමර්ශනයක් කොට කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසයි.       
                                                                                                                                                                    
2018 - 2019 වසර වල සංචාරක කටයුතු සංවර්ධනය සදහා රු බිලියන 1.2 ක් වියදම් කළද සංචාරයකයන් පැමිණ ඇත්තේ මිලියන 1.9 ක් බවත් මේ නිසා වඩාත් කාර්යක්ෂක්ෂම යාන්ත්‍රණයක් යටතේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් දැනට වෙන්ව පවතින ආයතන ක්‍රියාත්මක විය යුතු බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දුන්නාය. මේ අනුව සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ වන විට වෙන් වෙන්ව ක්‍රියාත්මක වන   ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ  ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන ඒකාබද්ධ කොට තනි ආයතනයක් ගොඩනගන බවත්  ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය වෙනම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්  සභාපතිවරිය වැඩිදුරටත් පැවසීය.

මේ සදහා මේ වන විට කැබිනට් අනුමැතිය  හිමිවී  ඇති බැවින් ලබන මාර්තු-අප්‍රේල් වන විට නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය. වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් සදහා අමාත්‍යාංශ සහ එම ආයතනවල අවශ්‍යතාව එය නම්  එම කටයුතු කඩිනම් කරන ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

මාලදිවයින මේ වන විට සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවට එම තත්ත්වයට යාමේ ඇති බාධාව පිළිබඳ කමිටුවේ අවධානය යොමුවිය. මෙහිදී කිමාලි ප්‍රනාන්දු  මහත්මිය පැවසුවේ මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේදී ඉහළම මිල ගණන්වල සුඛෝපභෝගි හෝටල් පමණක් ක්‍රියාත්මක වීම, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක මහජන සම්බන්ධතා හරහා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම, ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයන් 15 දෙනෙකුගේ කුඩා කණ්ඩායමක් යටතේ මෙහෙයවීම, ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර ආයෝජකයන් ගෙන්වීම හරහා ඔවුන් විශාල ප්‍රවර්ධනයක් සිදුකිරීම යනාදි කරුණු මීට බලපා ඇති බවයි. එසේම කොවිඩ් වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ආයතනය විශාල කාර්යභාරයක් සිදුකළ බව සභාපතිවරිය මෙහිදී පැවසීය. කොවිඩ් තත්ත්වය තුළ හෝටල්කරුවන් පුහුණු කරවීම, මේ වන විට සංචාරක ලියාපදිංචිය මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය හරහා සම්පූර්ණයෙන්ම සිදු කිරීම යනාදිය තම ආයතනය ලැබු විශාල ප්‍රගතියක් බවද ඇය පැවසීය.  

සංචාරක සංවර්ධන අධිකාරිය සතුව බොහෝ ‍ප්‍රදේශවල ඇති ඉඩම් ඇතුළු දේපළ වඩාත් ඵලදායි ලෙස සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීමේ අවශ්‍යතාවයද කෝප් කමිටුවේදී අවධාරණය කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, නලින් බණ්ඩාර, එස්.එම් මරික්කාර්, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුද සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1

2

4

 



සම්බන්ධිත පුවත්

2025-04-23

ආබාධිත ප්‍රජාවගේ ප්‍රවාහන අවශ්‍යතා පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක අනු කාරක සභාවේ අවධානය

ආබාධිත ප්‍රජාවගේ ප්‍රවාහන අවශ්‍යතා පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ප්‍රවාහන ක්‍ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කීරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්‍ෂේත්‍රය යොමු කරවීම සඳහා වන දෙවැනි අනු කාරක සභා රැස්වීමේදී සාකච්ඡා විය. ඒ එම අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 10 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙම රැස්වීම සඳහා ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති,අනුකමිටු සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද එක්ව සිටියේය. තවද, විවිධ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් සංවිධාන සහ ආයතන ප්‍රධානීන් ඇතුළු නියෝජිතයින් පිරිසක්ද ද සහභාගී වී සිටියහ.ඒ අනුව ආබාධිත ප්‍රජාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමේදී මතුවන ගැටලු සහ එම ගැටලු නිරාකරණය කිරීම සඳහා වූ යෝජනාවන් ද අනු කාරක සභාවේදී දීර්ඝලෙස සාකච්ඡා කෙරිණි.ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමේදී ආබාධ සහිත ප්‍රජාවට ඒවාට නිසි ලෙස ප්‍රවේශ වීමේ පහසුකම් නොමැතිකම එම ප්‍රජාවට පවතින ප්‍රමුඛතම ගැටලුවක් බව මෙහිදී හඳුනාගැනිණි. බස්රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම හේතුවෙන් එම ආබාධ සහිත පිරිස් කුලී පදනම මත ලබාගත් වාහන වලින් තම ප්‍රවාහන පහසු කම ලබා ගන්නා බවත් ඒ වෙනුවෙන් අති විශාල මුදලක් ඔවුනට වැය කිරීමට සිදුවන බව පැමිණි සිටි පිරිස කාරක සභාවට අවධාරණය කරන ලදී.2006 අංක 1 දරන ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ප්‍රවේශ නියෝගය පිළිබඳ නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් එම ප්‍රජාවන්ට නිසි පහසුකම ලබාදියයුතු බව දක්වා තිබුණද එම නියෝග අදාළ ආයතන හෝ පුද්ගලයින් පිළිනොපදින බවද ඔවූහු පෙන්වා දුන්හ. ඒ අනුව එම නීති ප්‍රයෝගිකව ක්‍රියත්මක වීම තුළ ආබාධ සහිත ප්‍රජාවට ලැබෙන සහනය පිළිබදව ද ඔවුහු කාරක සභාවේ අවධානයට යොමු කළහ.බස්රථවල ඇතැම් කොන්දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ආබාධ සහිත පිරිස් බොහෝ අපහසුතාවන්ට ලක්වන බව මෙම සංවිධනවල නියෝජිත පිරිස කාරක සභාවට පෙන්වා දුන්හ. මෙවැනි ගැටලු නිරාකරණය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම මෙන්ම ආබාධ සහිත පිරිස් පිළිබඳ දක්වන ආකල්ප යහපත් මට්ටමටකට ගෙන ඒමේ අවශ්‍යතාවයද එම නියෝජිත පිරිස අවධාරණය කළහ.බස්රථවල සහ දුම්රියවල ආසන, නීතියක් මඟින්ම ආබාධිත පුද්ගලයින් සඳහා වෙන්කිරීම, කොන්ද්සි විරහිතව ආබාධිත පුද්ගලයින් බස්රථ සඳහා නංවා ගැනීමේ අවශ්‍යතාවය, දුම්රිය ස්ථානවල ආබාධ සහිත පිරිස් වෙනුවෙන් සන්නිවේදන පහසුව උදෙසා සකස් වියයුතු දේ පිළිබඳව මෙන්ම ඔවුන්ට බලපා ඇති තවත් බොහෝ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණි. එමෙන්ම ශ්‍රවනාබාධිත ප්‍රජාව සඳහා රියදුරු බලපත්‍ර ලබාදීම මේ වන විට නතර කර ඇති බවත් එය නැවත එම පිරිස වෙත ලබාගැනීමට අවශ්‍ය මැදිහත් වීම් සිදුකරන ලෙසත් එම නියෝජිත පිරිස කාරක සභාවෙන් ඉල්ලා සිටියහ.ඒ අනුව මෙම ආබාධ සහිත පිරිසගේ ගැටලු හා යෝජනා ලිඛිතව මෙම කාරක සභාව වෙත සති දෙකක් තුළ යොමු කරන ලෙසත් එලෙස ලැබෙන ගැටලු හා යෝජනා සළකා බලා අවසන් වාර්තාවක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන බවත් ගරු සභාපතිතුමිය පැවසුවාය. 


2025-04-23

පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කිරීමට ගතහැකි පියවර පිළිබඳව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය අනුකාරක සභාව සාකච්ඡා කරයි

මාස දෙකක් තුළ ප්‍රවාහන අමාත්‍යාංශයේ යෝජනා ලබා දෙන ලෙසටත් දැනුම් දෙයිපොදු ප්‍රවාහන රථවල යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් අවධානයපොදු ප්‍රවාහන රියදුරන්ගේ වෘත්තීයභාවය වැඩි කිරීම සඳහා වූ යෝජනා මාසයක් තුළ ලබා දෙන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් බස්රථ මගීන්ගේ ආරක්ෂාව ඇතුළු පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පවතින නෛතික රාමුව ශක්තිමත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පිහිටුවන ලද “ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම” සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු අනු කාරක සභාවේදී සාකච්ඡා විය.එම අනුකාරක සභාවේ සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් 2025.03.09 වැනි දින එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.මේ අනුව අනු කාරක සභා රැස්වීම සඳහා ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීන් සම්බන්ධ වූ අතර පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අදාළ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් සතු අදහස් අනු කාරක සභාව වෙත ලබා ගැනීම සිදු විය.පොදු ප්‍රවාහන බස් රථ සඳහා යෝග්‍යතා සහතික ලබා ගැනීමේ ක්‍රියාපාටිය විධිමත් කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. මෝටර් වාහන පනතේ 29 වගන්තිය අනුව බස්රථ, ලොරි රථ සහ ගිලන්රථ සඳහා මෙම යෝග්‍යතා සහතික නිකුත් කරන බවත් එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව පළාත් සභාවල ලියාපදිංචි ගරාජ මගින් සිදුවන බවත් නිලධාරීහු පැවසූහ. එම යෝග්‍යතා සහතික නිකුත් කරන ගරාජවල ප්‍රමිතිය, විශ්වසනීයත්වය ඇතුළු ගැටලු පවතින බැවින් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව අනුකාරක සභා සභාපතිවරිය මෙහිදී අවධාරණය කළාය.මෝටර් වාහන පනතේ 19 වගන්තිය යටතේ පවතින “තැනීම් නියෝග” ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය. මේ අනුව නව බස්රථ ගෙන්වීමේදී මෙන්ම පවතින බස්රථ වල මගී ආරක්ෂාව සඳහා අසුන් අතර නියමිත පරතරය, අනවශ්‍ය උපාංග ඉවත් කිරීම, ආසන පටි පැළදීම ඇතුළු කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.මේ අනුව අදාළ දත්ත සහ තොරතුරු මත පදනම්ව පොදු ප්‍රවාහනයේදී මගී ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු පියවරයන්ට අදාළ යෝජනා සහිත වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යාංශ‍ය මගින් සකස් කොට මාස දෙකක් තුළ ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දෙන ලෙස අනුකාරක සභා සභාපතිනිය නිලධාරීන්ට දැනුම් දුන්නාය.එසේම පොදු ප්‍රවාහන රථවල රියදුරන්ගේ වෘත්තීය භාවය වැඩි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමුවිය. ඒ අනුව රියදුරු වෘත්තීය ප්‍රමිතිගත කිරීම සඳහා වූ යෝජනා මාසයක් තුළ මෙම අනුකාරක සභාවට ලබා දෙන ලෙසත් අනුකාරක සභාපතිනිය විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දෙන ලදී.  එසේම පසුගිය තෙමසක කාලය තුළ සිදුව ඇති මාර්ග අනතුරු පිළිබඳ දත්ත කාරක සභාවට කඩිනමින් යොමු කරන ලෙස ද ‍කාරක සභාව විසින් දැනුම් දෙන ලදී. දත්ත මත පදනම්ව ඉදිරි නි‍ර්දේශ සකස් කිරීමේ වැදගත්කම අනු කාරක සභා සභාපතිනිය අවධාරණය කළාය.එසේම බස්රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. මෝටර් වාහන පනත යටතේ ඊට අදාළව රෙගුලාසි සකස් කර මේවන විට අවසාන අදියරේ පවතින බව මෙහිදී නිලධාරීහු පැවසූහ. මෙම රෙගුලාසි කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් රියදුරුගේ ශරීරයේ පවතින මත්ද්‍රව්‍ය අනාවරණය කර ගැනීම ඇතුළු තාක්ෂණික යාන්ත්‍රණය විධිමත්ව සකස්විය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.මෙම අනු කාරක සභාව මගින් මූලික වශයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධව කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ක්‍රියාත්මක කළ හැකි නීති සහ රෙගුලාසිවල වෙනස්කම් සොයා බැලීම සිදු කරනු ලබන අතර ඉන් පසු අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට නියමිතය.පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද මෙම අනු කාරක සභා රැස්වීමට සහභාගී විය.


2025-04-10

පාර්ලිමේන්තු කාරක සභා වලින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ මාසයක් තුළ ක්‍රියාත්මක කරන්න - පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී ලබාදුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නැහැ. පාර්ලිමේන්තු කාරක සභාවලින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව තීරණය කරන ලදී.මෙම තීරණය ගනු ලැබුවේ එම කාරක සභාව ඊයේ (අප්‍රේල් 09) එහි සභාපති ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව කාරක සභාව මගින් ප්‍රමුඛතාවය ලබාදී සමාලෝචනය කළ යුතු, ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී ලබාදුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණය විය. තවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (CoPE), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (CoPA), රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF), යන කාරක සභා වලින් ලබා දුන්, ක්‍රියාත්මක නොවුණු නිර්දේශද ක්‍රියාත්මක කිරීමට මාසයක කාලයක් ලබාදීමට කාරක සභාව විසින් තීරණය කරන ලදී . ඒ අනුව, මෙම ක්‍රියාත්මක නොවුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපි යොමු කිරීමටත්, මසක් තුළ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකිනම් ඊට හේතු කාරණා, ලිඛිතව කාරක සභාව වෙත ලබාගැනීමට ද තීරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ඔෂානි උමංගා යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.


2025-04-10

විද්‍යාපීඨවල පුහුණුව ලබමින් සිටින ගුරුසිසුන් සඳහා ආබාධ සහිත දරුවන් හැසිරවීම පිළිබඳව මාස හයක පුහුණුවක් ලබාදීමට කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී යෝජනාවක්

ඔටිසම් රෝගී දරුවන්ගේ වර්ධනයක් - ලංකාවේ ළමුන් 9000කට අධික පිරිසක් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා - නිලධාරීහු කාරක සභාවට දන්වතිමුල් ළමාවිය සංවර්ධන අවධියේදීම ඔටිසම් රෝගී දරුවන් හඳුනාගැනීමේ යාන්ත්‍රණය සක්‍රීය කරන්න - කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් විද්‍යාපීඨවල පුහුණුව ලබමින් සිටින ගුරුසිසුන් සඳහා ආබාධ සහිත දරුවන් හැසිරවීම පිළිබඳව මාස හයක පුහුණුවක් ලබාදීමට යෝජනා වී ඇතිබව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට දැන්වූහ. ඒ ඔස්සේ ආබාධ සහිත දරුවන්, සාමාන්‍ය දරුවන් හා සමානව සලකා කටයුතු කිරීමට ගුරුවරුන්ට අවශ්‍ය දැනුම හා ආකල්ප ලබාදීමට අපේක්ෂා කරන බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 8 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මේ අවස්ථාව සඳහා කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාද එක්ව සිටියේය.මෙහිදී අදහස් දක්වමින් නිලධාරීහු ශ්‍රී ලංකාවේ ඔටිසම් රෝගී දරුවන්ගේ වර්ධනයක් සිදුව ඇති බව පෙන්වා දුන්හ. ඒ අනුව ගණනය කිරීම් අනුව ළමුන් 9000කට අධික පිරිසක් මේ වනවිට හඳුනාගෙන ඇති බව වැඩි දුරටත් අදහස් දක්වමින් නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව නිසි හඳුනාගැනීමක් සිදු නොවීම හේතුවෙන් දරුවන් මෙ‍ෙලස ආබාධ තත්ත්වයන්ගෙන් පෙලෙන බව කාරක සභා සභාපතිනිය අවධාරණය කළාය.මුල් ළමාවිය සංවර්ධන අවධියේදීම ඔටිසම් රෝගී දරුවන් හඳුනාගත යුතු බවත් එලෙස හඳුනාගතහොත් පමණක් එම දරුවන් යහපත් සෞඛ්‍ය මට්ටමේ දරුවන් බවට පත් කළ හැකි බවත් සභාපතිවරිය මෙහිදී පැවසුවාය. ඒ අනුව දරුවෙකු බිහිවී, පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ අධීක්ෂණ කාලසීමාවේ සිට මුල් ළමාවිය සංවර්ධන කාලසීමාව තුළ එම දරුවා පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කිරීමේ යාන්ත්‍රණය සක්‍රීය මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව කාරක සභා සභාපතිනිය අවධාරණය කළාය.ඔටිසම් රෝගී දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රදේශවල ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථාන 3ක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කරන බව සභාපතිනිය පැවසුවාය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටද මෙහිදී යෝජනා විය. ඒ ඔස්සේ එම දරුවන්ට නිසි සංවර්ධන අවධිවලට යොමු කිරීමට ද අපේක්ෂිතයි.මේ අතර අවධානම් සහ ආර්ථික අපහසුතාවලින් පෙලෙන ළමා නිවාස හා ආයතන වල සිටින දරුවන් ජීව විද්‍යාත්මකව පවුලෙන් වෙන් නොකොට පවුල තුළම රැකවරණය ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. දරුවෙකු පරිවාස භාරට පත්වන්නේ අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් කාරක සභාවට දැන්වුහ. ඒ අනුව එලෙස දරුවෙකු ආයතන ගත නොකොට පවුල තුළම රැකවරණය ලබමින් සිටීමේ වැදගත්කම පිළිබඳව විනිසුරුවරුන් දැනුවත් කීරීමටද අවශ්‍ය කටයුතු සිදු කරන බව නිලධාරීහු පැවසුහ.තවද දිවයින පුරා විවිධාකාරව ක්‍රියාත්මක වෙන පෙර පාසල්, එකම ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව කාරක සභා සභාපතිනිය පැවසුවාය. මේ අතර පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් අධ්‍යාපන අමාත්‍යාංශයත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයත් ඒකාබද්ධව සකස් කරමින් පවතින බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. එමෙන්ම මේ වනවිට කෙටුම්පත් කර ඇති පෙර පාසල් විෂය මාලා රාමුවද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ වැදගත්කමද නිලධාරීහු අවධාරණය කළේය.මෙහිදී වතුකරයේ දරුවන් නීති විරෝධී මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතය සඳහා යොමුවීමේ ප්‍රවණතාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. තවද බාබුල් සහ පන් පාරාග් වැනි ශරීරයට අහිතකර ද්‍රව්‍ය වලට එම දරුවන් යොමු වීමේ ගැටලුව පිළිබඳවද සාකච්ඡා කෙරිණි . එහිදී අනාවරණය වුයේ බාබුල් සහ පන් පාරාග් වැනි ශරීරයට අහිතකර ද්‍රව්‍ය පරිභෝගික සේවා අධිකාරිය, තහනම් ආනයනික ද්‍රව්‍ය ලැයිස්තුවට එක් නොකොට ඇති බවයි. ඒ අනුව කාරක සභාවෙන් පරිභෝගික සේවා අධිකාරියට මෙම ද්‍රව්‍ය තහනම් ආනයනික ද්‍රව්‍ය ලැයිස්තුවට එක් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා ඉල්ලීමක් යොමු කිරීමටද තීරණය විය.එමෙන්ම ප්‍රසූත නිවාඩු ලබාදීමේදී තෙවන දරු උපතේදී අදාළ නිවාඩු ලබාදීම ක්‍රියාත්මක නොවන අවස්ථා වාර්තාවී ඇති බව සභාපතිනිය පැවසුවාය. එහිදී අදහස් දක්වමින් නිලධාරීහු ප්‍රසූත නිවාඩු ලබාදීමේදී පළමු සහ දෙවන දරු උපත් වලදී ලබාදෙන වරප්‍රසාදයම තෙවන සහ සියලුම සජීවී දරු උපත් වලදී ලබා දිය යුතු බවට නීති සංශෝධනය වී තිබෙන බවත් එය නිසියාකාරව සමාජ ගත නොවී ඇති බවත් කාරක සභාවට දැන්වූවාය.තවද යාපනය දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන සඳහා දමිළ භාෂාවෙන් කටයුතු කළ හැකි කාන්තා නිලධාරීන් අනියුක්ත කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය දැනට යාපනයේ කාන්තා නිලධාරීන් 56 දෙනෙක් සේවය කරන බව පැවසුවයා. එම කාන්තා නිලධාරිනියන්ගෙන් 21 දෙනෙකු ළමා හා කාන්තා කාර්යාංශ වල රාජකාරි කටයුතු සිදුකරමින් සිටින බවත් ඉන් දමිල භාෂාවෙන් කටයුතු කළ හැකි කාන්තා නිලධාරිනියන් 8 දෙනෙකු පමණක් සිටින බව ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවැසුවාය.මෙහිදී ළමා හා කන්තා කටයුතු සම්බන්ධ විෂය ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සම්බන්කධීරණ කමිටුවල න්‍යාය පත්‍රය තුළ සාකච්ඡා නොවීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර එම විෂය අදාළ කමිටු තුළ සාකච්ඡාවන්ට ලක් කිරීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විමසා බැලිනි. ඒ අනුව වර්තමානය වන විට ළමා හා කාන්තා කටයුතු සම්බන්ධ විෂය එම කමිටුවල න්‍යාය පත්‍රය තුළ සාකච්ඡා කරන බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පවත්වන ළමා හිමිකම් ප්‍රවර්ධන කමිටුව සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ සහ කාන්තා සහ ළමා කටයුතු සම්බන්ධව ප්‍රදේශයේ සිටින සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් සහ අනෙකුත් මන්ත්‍රීවරයන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks