E   |     |  

2022-06-15

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානයට

දීර්ඝකාලීන වූ උපදේශන ක්‍රියාවලියක් යටතේ රජය මෙන්ම රාජ්‍ය නොවන හා සත්ත්ව සුභසාධන කණ්ඩායම් වලද සහයෝගය ඇතිව යෝජිත සත්ත්ව සුභසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන්  විශේෂ අවධානයක් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පැවති කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානයට යොමු විණි.
 
සතුන් කෙරෙහි කරුණාව, දයාව සහ නිසි සැලකිල්ලක් දැක්වීම සහ සතුන්ගේ ආරක්ෂාව, සුභසාධනය මෙන්ම යහපැවැත්ම සුරක්ෂිත කිරීමත්, සතුන් කෲරත්වයට ලක් වීමෙන් ආරක්ෂා කිරීමත් මෙම පනතෙහි මූලික අරමුණ වන අතර පනත් කෙටුම්පත මඟින් ඉදිරිපත් කර ඇති කාරණා සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරන ලෙස ද  ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා සංශෝධන පවතින්නේ නම් ඒවා ද ඉදිරිපත් කරන ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාරක සභාව හමුවේ ඉල්ලීමක් කළේය.

එපමණක්  නොව, පවතින ආහාර අර්බුදය හමුවේ ගෙවතු වගාව සම්බන්ධයෙන් ජනතාව මේ වන විට වැඩි උනන්දුවක් දක්වන බැවින්, තවදුරටත් ගෙවතු වගාව සඳහා ජනතාව දිරිමත් කිරීමේ වැදගත්කම මෙන්ම රජයේ සියලු කාර්යාලවල ඉඩම් වගාකටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් කාරක සභාවේදී යොමු විණි. මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක අංශය මෙන්ම සිරකරුවන් තුන්දහසක පමණ සංඛ්‍යාවක් යොදවා ගැනීමට සැලසුම් කර ඇති බවත්, මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා සිදුකෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු සෑම ප්‍රදේශයකම භාවිත නොකරන කුඹුරු ඉඩම් මෙන්ම කුඹුරු ඉඩම් ගොඩකර ගොඩනැගිලි ඉදිකිරීම සහ ජලපෝෂක ගැටලු සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව වගා කළ හැකි කුඹුරු ඉඩම් සහ වගා කළ නොහැකි ඉඩම් සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් කමිටුවක් ස්ථාපිත කර නිසි ලේඛනයක් සකස් කිරීම වැදගත් බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද නිලධාරීන් හමුවේ අමාත්‍යවරයා  විසින් පැහැදිලි කරන ලදී.
පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ග්‍රාමීය හා නාගරික වශයෙන් තරුණයන් දිරිමත් කිරීමේ වැදගත්කම පිළිබඳවද සභාවේ අවධානයට යොමු වූ අතර මේ සඳහා නිසි සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිලධාරීන් දැනුවත් කළ අතර දැනට වගා කටයුතු සිදුනොවන ඉඩම්වල වගා කටයුතු සිදුකිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සහාය නිරන්තරයෙන් ලබා දෙන  ලෙසද කාරක සභාව හමුවේ අමාත්‍ය ගරු මහින්ද අමරවීර  මහතා විසින් අවධාරණය කරන ලදී.

ඉදිරියේදී ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පොහොර, වී සහ බඩ ඉරිඟු වගාවන් සඳහා ජූලි මාසයේදී ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ අතර එම පොහොර බෙදා හැරීමේදී සැලසුම් සහගතව මෙන්ම  ප්‍රමුඛතාවයන් හඳුනාගනිමින් බෙදාහැරීමේ කටයුතු සිදුවන බවත් අමාත්‍යවරයා කාරක සභාව හමුවේ  ප්‍රකාශ කළේය.

අස්වනු හානිය සම්බන්ධයෙන්ද සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් සාධනීය වාර්තාවක් සකස් කළ යුතු බව ද අවධානයට යොමු විය. විශේෂයෙන් ගෙවතු වගා කටයුතු වලදී ජනතාවට විවිධ ගැටලු මතුවන නිසා, ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාදීමට කෘෂි සායන දිවයින පුරා ආවරණය වන පරිදි පැවැත්වීමේ වැදගත්කමත්, මේ සඳහා නිලධාරීන් සක්‍රීය ලෙස කටයුතු කළයුතු බවත් සභාවේ අවධානය යොමුවිණි.

දැනට වගා නොකළ ඉඩම් වගා කිරීම දිරිමත් කරන වැඩසටහනක් ලෙස “එක්ව වවමු - රට දිනවමු” වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ගේ අවධානය සඳහා යොමු කිරීමට සූදානම් බවත්, මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බවත් අමාත්‍යාංශයේ ලේකම්වරයා සභාව  හමුවේ පැහැදිලි කළේය.

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති  එම කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  ගරු කේ. කාදර් මස්තාන් මහතා, ගරු තාරක බාලසූරිය මහතා, ගරු සිවඥානම් ශ්‍රීදරන් මහතා, මොහොමඩ් මුසම්මිල් මහතා, ගරු  වීරසුමන වීරසිංහ මහතා, ගරු මධුර විතානගේ මහතා, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා  මෙන්ම රජයේ උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

 

12

3

 



සම්බන්ධිත පුවත්

2025-11-21

මිනිසා හැටියට මිනිසා වෙනුවෙන් සේවය කළ හැකි උසස් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම අප‍ෙග් දේශපාලනයේ අරමුණයි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

මිනිසා හැටියට මිනිසා වෙනුවෙන් සේවය කළ හැකි උසස් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ දේශපාලනයේ අරමුණ වන බව  කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්  මහත්මිය නැගෙනහිර සමාජ සංවර්ධන පදනමේ නියෝජිතයින් හමුවෙමින් පැවසීය.ඇය මේ බව සඳහන් කළේ  ප්‍රාදේශීය දේශපාලනය තුළ නියෝජනයක් නොමැති කාන්තා කණ්ඩායම් දේශපාලනික වශයෙන් අන්තර්කරණය කිරීම සහ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය නොවැ. 17 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදීය.රට තුළ වෙසෙන  විශේෂ ජන කණ්ඩායම් නියෝජනය වන  පරිදි නාමයෝජනා ලබා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් හැකියාව පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු විය.තවද, නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 10 දින දක්වා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක‍්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නියෝජිතයන් සමඟද මෙහිදී සකච්ඡා විය.සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරියන් වන නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සමන්මලී ගුණසිංහ, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ හසාරා ලියනගේ, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ගීතා හේරත්,  සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ.


2025-11-20

ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඉඩම්, නිවැරදිව මිනුම් කර කඩිනමින් සිතියම් ගත කර අවසන් කිරීම කෙරෙහි පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඉඩම්, නිවැරදිව මිනුම් කර කඩිනමින් සිතියම් ගත කර අවසන් කිරීම කෙරෙහි පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ 2021, 2022 සහ 2023 යන වසරවල රජයේ සමාගම්, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා සහ මණ්ඩල කිහිපයක වාර්ෂික වාර්තා සහ වාර්ෂික කාර්ය සාධන වාර්තා සලකා බැලීම සඳහා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන්  පසුගිය 17 වනදා  පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී කරුණු දක්වමින් මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීහු දැනට පුරෝකථනය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ඉඩම් කට්ටි මිලියන 16.5 පවතිනු ඇති බවත් ඉන් ඉඩම් කට්ටි මිලියන 2.5 මිනුම් කර සිතියම් ගත කර ඇති බවත් කාරක සභාවට දැන්වූහ.ඒ අනුව ඉතිරි ඉඩම් කට්ටි හැකි ඉක්මනින් මිනුම් කර සිතියම් ගත කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා ඒ සඳහා අදාළ සියලුම පාර්ශ්ව කාරක සභාවට කැඳවා ගත හැකි ක්‍රියාමාර්ග හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ඉදිරියේදී  සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය.එමෙන්ම 2022 සහ 2023 වසර සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා ද කාරක සභාවේදී සලකා බලන ලදී.තවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නීත්‍යානුකූල ගිවිසුම්වලට එළඹීමෙන් තොරව ඉඩම් බදු දීම නිසා පවතින හිඟ බදු පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. ඒ අනුව ඉදිරියේදී විධිමත් බදු ගිවිසුම්වලට යටත්ව ඉඩම් ලබාදීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා හිඟ බදු අයකර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර, හිඟ බදු පිළිබඳ සියලු කරුණු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබාදුන්නේය.මෙම රැස්වීම සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඥානමුත්තු ශ්‍රීනේෂන්, සුසන්ත කුමාර නවරත්න, සුදත් බලගල්ල සහ නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2025-11-20

පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය කැඳවයි

පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් දෙන ලද  නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව විමසීම සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ සොයාබලා නිර්දේශ ලබාදීම සඳහා පත්කළ කාරක සභාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පසුගියදා කැඳවා තිබිණි. පසුගිය 13 වන දා මෙම කාරක සභාව  එහි සභාපති  ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සළකා බැලිණි. ඒ අනුව මෙම ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ. එසේම ඇතැම් නිර්දේශ මේ වන විට ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් කාරක සභාවට දන්වන ලදී. කෙසේ වෙතත් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලුවලට අදාළව පෙත්සම්කරුගේ ද අදහස් විමසීමට අවශ්‍ය බව මෙහිදී තීරණය වූ අතර ඒ අනුව  ඒ සඳහා නැවත දිනයකදී පෙත්සම්කරුවන් ද කාරක සභාවට කැඳවීමට  තීරණය විය. මෙම රැස්වීම සඳහා  ගරු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් පී. පෙරේරා සහ ඔෂානි උමංගා  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2025-11-19

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) හා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) හා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුනනේ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන 4ක් එකතු වන බව පෙන්වා දුන්නේය. මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා කාරක සභාවේ අනුමතිය හිමි විය.එසේම ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම සිදු වන අතර මේ මගින් දළ එකතුව මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා පනවා ඇති කැසිනෝ ඇතුළුවීමේ බද්ද එක්සත් ජනපද ඩොලර් 50ක සිට 100 දක්වා ඉහළ නැංවීම සිදු වනු ඇත. මේ අනුව මේ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ අනුමතිය හිමි විය.තවද 2004 අංක 11 දරන මුදල් පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයක් සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි විය. මේ මගින් ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බදු ගෙවීමේ වලංගු කාලසීමාව දීර්ඝ කිරීම සිදු වේ. මීට අමතරව (52 වන අධිකාරිය වූ) සුරාබදු ආඥා පනතේ 25 වන වගන්තිය සමග කියවිය යුතු 32වන වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පවනා ඇති රීති සම්බන්ධයෙන්ද කාරක සභාව සලකා බලන ලද අතර කෙසේ වුවද ඒ සඳහා කරක සභාවේ අනුමතිය හිමි නොවීය. කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ සුදුසු විශ්ලේෂණයක් කාරක සභාවට ලබාදෙන ලෙසත් ඉන් අනතුරුව ඉදිරියේදී මෙය සලකා බලීම සිදු කරනු ලබන බවත්ය.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks