E   |     |  

2022-06-21

පුවත් කාණ්ඩ : පුවත් 

පාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) පමණක් රැස්වෙයි

  • විපක්ෂය විසින් හෙට ගෙන ඒමට නියමිතව තිබූ සභාව කල්තැබීමේ යෝජනාව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමට...

 

පාර්ලිමේන්තුව මෙම සතිය තුළ අද (21) සහ හෙට (22) පමණක් රැස්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී  තීරණය විය.

පාර්ලිමේන්තුව ජූනි 21 සිට 24 දක්වා රැස්වීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වුවද පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර විපක්ෂය මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කරන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් හෙට (22) දිනයේ විපක්ෂය විසින් ගෙන ඒමෙන් අනතුරුව විවාදයට ගැනීමට නියමිතව තිබූ රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන සිටින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ගෙන ඒමටත් මෙහිදී තීරණය වී ඇත.

හෙට දිනයේ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව ලබන ජූලි 4 වන සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සඳහා ද  එදින පෙ.ව 10.00 සිට ප.ව 3.30 දක්වා සම්පූර්ණ කාලය වෙන්ව ඇත.

 

1

3

4

5

 



සම්බන්ධිත පුවත්

2025-05-14

“දියවන්නා වෙසක් බොදු බැති ගී සරණිය” ලබන මැයි 16 වැනිදා සවස 6.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන “දියවන්නා වෙසක් බැති ගී සරණිය” 2025.05.16 වැනි සිකුරාදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන එදින  සවස 6.00 සිට 7.30 දක්වා පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මේ අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතව ඇත.ජාතික වෙසක් සතිය නිමිති කරගෙන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමය විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම “දියවන්නා වෙසක් බොදු බැති ගී සරණිය” සඳහා පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු සහ අනුබද්ධ කාර්ය මණ්ඩල නියෝජනය කරන ශීල්පීන්/ ශිල්පිනියන් සංගීතයෙන් හා ගායනයෙන් දායකත්වය ලබා දීමට නියමිතය. 


2025-05-14

සම්බුදු තෙමඟුල වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආලෝකවත් කෙරේ

මෙවර වෙසක් දිනයට සමගාමීව පාර්ලිමේන්තු සංකීර්ණය, දියවන්නා ඔය ඇතුළු කලාපය වෙසක් සැරසිලි හා විදුලි බුබුළුවලින් ආලෝකවත් විය.ගරු කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය ඇතුළු ලේකම් මණ්ඩලයේ මගපෙන්වීම යටතේ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව, ඊට අදාළ දායකත්වය ලබා දී තිබිණි.මේ අතර මෙවර වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමය විසින් ඒකාබද්ධව පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “දියවන්නා වෙසක් බොදු බැති ගී සරණිය” 2025.05.16 වැනි සිකුරාදා ‍ප.ව. 6.00ට ගරු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.


2025-05-12

ගරු කථානායකතුමාගේ වෙසක් දින පණිවුඩය

ලොව පැරණිතම ආගමික දර්ශනයක් වන ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනය හඳුන්වාදුන්, ගෞතම බුදුන්වහන්සේගේ ජීවිතයට අදාළ තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ජාත්‍යන්තර වශයෙන් ද ආගමික සංස්කෘතික දිනයක් ලෙස වැදගත් අද දිනය ශ්‍රී ලාංකිකයින් ලෙස අපට අතිශයින්ම වැදගත් වන්නේ අප රටේ සමාජීය සංස්කෘතික මූල පද්ධතිය බුදු දහමේ සාරධර්ම ඔස්සේ පෝෂණය වී ඇති නිසාවෙනි.ක්‍රි.පු. හයවන සියවසේ දී එවකට දඹදිව් තලයේ පැවති සමාජීය විෂමතා හමුවේ පීඩනයට පත් වූ සමාජ කණ්ඩායම්වලට පංති, කුල, ගෝත්‍ර බේද පසෙකලා සංහිදියාව, අවිහිංසාව වගේම සමානාත්මතාව ඇසුරෙන් තම අධ්‍යාත්මික වගේම සමාජීය විමුක්තිය සොයා යන මාර්ගය උන් වහන්සේගේ ධර්මය තුළ පෙන්වා දුන්නේය.වත්මන් සංකීර්ණ සමාජ දේහයේ පවතින බොහෝ අර්බුද සඳහා සාඵල්‍යදායි විසදුම් සෙවීමේ මාර්ගය මෙම බුදුන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනය තුළින් වැටී ඇති බව මම විශ්වාස කරමි. එසේ වුව ද අද අපගේ සංකීර්ණ ගති පැවතුම් සහිත සමාජීය ජීවිතයෙන් ඇති කරණු ලබන තත්ත්වයන් මත බුදුන් වහන්සේ විසින් දේශනා කළ එම ධාර්මික ආධ්‍යාත්මික මාර්ගය වෙතටත්, එම ශ්‍රේෂ්ඨ දර්ශනය වෙතටත් සමීප වීමේ මාර්ගයන් ඇහිරී ඇත. එම තත්ත්වයන් මත අපගේ බෞද්ධ සැදැහැවතුන්ට පවා බුදු දහමින් පෝෂිත දිවියක් ගත කිරිමට බාධාවන් රැසක් උද්ගත වී තිබේ. ඒ සදහා සුදුසු සමාජිය, දේශපාලනික වගේම යහපත් සංස්කෘතික පරිසරයක් සැදීමේ වගකීමක් ද අප සතුවන බවට අප විශ්වාස කරන්නෙමු.එම නිසා බුදු දහමින් අර්ථ දක්වන වඩා සාධාරණ, විමුක්තිකාමී හා සමානාත්මතාවය රජයන සමාජයක් අප රටේ ද ස්ථාපිත කිරීම සඳහා බෞද්ධ දර්ශනය අන්කවරදාටත් වඩා මේ මොහොතේ අප හමුවේ ප්‍රදීපස්ථම්භයක් සේ මග පෙන්වනු ඇත. ඒ අනුව අප මහා ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ ඒ ආධ්‍යාත්මික විමුක්තිය වගේම මෙලොව සමාජීය විමුක්තිය ද සමාජයක් ලෙස අපට ළඟා කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමින්, අද දින වෙසක් උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මාගේ සුබ පැතුම් එක්කරමි.ඔබ සැමට තෙරුවන් සරණයි....!වෛද්‍ය ජගත් වික්‍රමරත්නකථානායකශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 


2025-05-09

ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත් වෙයි

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත් විය.ඒ, ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම 2025 මැයි 8 වන දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වූ අවස්ථාවේදී ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතා මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.රැස්වීමේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට තේරී පත් විය.මෙහිදී දෙරටේම නියෝජිතයෝ  සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවති ශක්තිමත් සම්බන්ධතාවය සිහිපත්  කළහ. හුවමාරු වැඩසටහන් සහ සාකච්ඡා තුළින් පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ඔවුහු අවධාරණය කළහ.ශ්‍රී ලංකාවේ වඩාත්ම අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ලබා දුන් විශාල සහයෝගයට ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෑත කාලීන ඉන්දීය සංචාරය ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා නව මංපෙත් විවර කළ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස ඔහු පෙන්වා දුන්නේය. මෙරට අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෙම මස අගදී ඉන්දියානු පාර්ලිමේන්තු අධ්‍යයන හා පුහුණු කාර්යාංශය විසින් පැවැත්වීමට නියමිත ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳව ද ඔහු සිය කෘතඥතාව පළ කර සිටියේය.රැස්වීම අමතමින්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සාර්ථක ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කළ අතර, ඉන්දියාවට සමීප අසල්වැසියෙකු ලෙස බහුවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව ඉදිරියටත් සූදානම් බව අවධාරණය කළේය.අභිනව සභාපති වෛද්‍ය ජයතිස්ස මහතා සිය කතාවේදී පෙන්වා දුන්නේ දෙරට පාර්ලිමේන්තු අතර පාලමක් ලෙස මිත්‍රත්ව සංගමයට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනටමත් පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.මෙහිදී ස්තූති කතාව පවත්වමින්, මිත්‍රත්ව සංගමයේ ලේකම් ගරු. වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඉන්දීය මිත්‍රත්වයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර, අඛණ්ඩ සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks