පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2022-07-07
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
සියාම් ගෑස් සමාගමෙන් ඇ.ඩො. 96 ක මිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කොට ඇ. ඩො. 129 බැගින් ගෑස් මෙ.ටො. ලක්ෂයක් ඕමාන සමාගමකින් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදුකරන ලෙස කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගියදා (05) නිර්දේශ කළේය.
මීට පෙර පැවති කෝප් කමිටුවේ ලබා දුන් නියෝග ක්‍රියාවට නැංවීම සහ වත්මන් කාර්ය සාධනය පිළිබද සාකච්ඡා කිරීම සදහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවූ අවස්ථාවේදී මෙම නිර්දේශය ලබා දෙන ලදී.
පසුගිය පෙබරවාරි මස වන විට ගෑස් මිලදී ගැනීම සදහා තිබූ වාර ටෙන්ඩරය අවසන් වූ බැවින් ගෑස් මෙ.ටො. 2,80,000 ක් සදහා ටෙන්ඩර් කැදවන ලද බවත් ඒ අනුව ගෑස්සැපයුම්කරුවන් තිදෙනෙක් ලංසු ඉදිරිපත් කොට ඇති බවත් මෙහිදී හෙළිවිය. මෙහිදී සියාම් ගෑස් සමාගම ඇ.ඩො. 96 බැවින් අවම මිල ඉදිරිපත් කොට ඇති අතර ඒ අනුව ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එහෙත් ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංසු කැදවීමේදී දන්වා සිටි කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් (Standby Letter of Credit / SBLC) ලිට්‍රෝ ආයතනයට ඉදිරිපත් කිරීමට මෙරට බැංකුවලට නොහැකි වීම නිසා එම සියාම් සමාගම හරහා ගෑස් ලබා ගැනීමට නොහැකි වූ බවද මෙහිදී ලිට්‍රෝ නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ සම්බන්ධයෙන් අදාළ සමාගම සමග සාකච්ඡා පැවත්වුවද ටෙන්ඩර් කැදවීමේදී ඉදිරිපත් කළ කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් නොමැතිව ගෑස් සැපයීමට සමාගම අකමැත්ත පළ කළ බව ලිට්‍රෝ සමාගමේ නිලධාරීහු මෙහිදී පැවසුහ.
මෙම ප්‍රමාදය නිසා සියාම් සමාගමෙන්ම තාවකාලික විසදුමක් වශයෙන් සති දෙකකට අවශ්‍ය දළ ගෑස් ප්‍රමාණය වන මෙ.ටො. 15,000ක් හදිසි මිලදී ගැනීම් ලෙස ලබා ගැනීමට සාකච්ඡා කළද ඔවුන්ට සැපයිය හැකි වන්නේ මෙ.ටො. 6600ක් පමණක් බව දන්වා සිටීම නිසා එයද අසාර්ථක වූ බව මෙහිදී හෙළිවිය. එහෙත් වාර ටෙන්ඩරය සදහා ඇ.ඩො. 129 කට මිලගණන් එවා තිබූ ඔමාන සමාගම මසකට ගෑස් මෙ.ටො. 25000 බැගින් මෙ.ටො. ලක්ෂයක් මාස 4ක් ලබා දීමට එකගත්වය පළ කළ බවද ලිටෝ සමගම පැවසීය.
ඒ අනුව ඉහත කරුණු කැබිනට් මණ්ඩලයට දැන්වීමෙන් අනතුරුව සියාම් ගෑස් සමාගමට ලබා දී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අවලංගු කොට ඕමාන සමාගමෙන් ගෑස් මෙ.ටො. ලක්ෂයක් මිලදී ගැනීමේ වාර ටෙන්ඩරය සදහා කැබිනට් අනුමතිය ලැබුණු බවත් මෙහිදී අනාවරණය විය. ඒ සඳහා ලෝක බැංකුවේ ඇ.ඩො. මිලියන 70 ක ණය ආධාරයක් සහ ලිටෝ සමාගමේ ඇ.ඩො මිලියන 20 ක් යොදා ඇ.ඩො. මිලියන 90 ක් වැය කරන බවත් ලිටෝ සභාපති මුදිත පීරිස් මහතා මෙහිදී පැවසීය.
ගෑස් අවශ්‍යතාව අත්‍යවශ්‍ය හදිසි තත්ත්වයක් වුවද අවම ලංසුකරු වන සියම් සමාගම වෙනුවට වැඩි මිලට ඕමාන සමාගමෙන් මිලදී ගැනීම ඉදිරියේදී නරක පූර්වාදර්ශයක් සැපයිය හැකි බැවින් මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකොට ලෝක බැංකු ඇ.ඩො. මිලියන 70 ක මුදල ඵලදායි ලෙස යොදා ගත්තේද යන්න සොයා බලා වාර්තා කරන ලෙස මෙහිදී කෝප් සභාපතිවරයා විගණකාධිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇ.ඩො. මිලියන 160 ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම පිළබදවද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී ලිට්‍රෝ සභාපතිවරයා පවසා සිටියේ ඉන්දීය රජයේ කොන්දේසි අනුව එරට නිෂ්පාදනයක් නොවන ගෑස් මිලදී ගැනීම ගැටලුවක්ව ඇති බවයි. මේ පිළිබදව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ පිළිබදව කඩිනමින් සොයා බලා සති දෙකක් තුළ වාර්තා කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.
ලිට්‍රෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනට පත් කර ඇති සාමාජිකයන් ගණන 4 දෙනෙකු පමණක් වීම පිළිබදවත් මෙහිදී අවධානය යොමුවිය. නෛතික තත්ත්වය අනුව සාමාජිකයන් 5 දෙනෙකු සිටිය යුතු බවත් අනාවරණය විය. තවද අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම සිදු කරන්නේ මුදල් අමාත්‍යාංශය බැවින් මව් සමාගමේ නියෝජිතයන්ගෙන් සමන්විත වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව මෙහිදී පෙන්වා දුන් අතර ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.
සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී යන තනතුරු දෙකම එකම පුද්ගලයෙකු දැරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. සමාගමේ සභාපති තනතුර වෙනස් වුවද ස්ථිර ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් පැවතීම ආයතනයේ යහ පැවැත්ම සදහා අතවශ්‍ය බැවින් ඒ සදහා කඩිනමින් කටයුතු කිරීමේ වැදගත්කම කමිටුව අවධාරණය කරන ලදී. මෙහිදී ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවේ මෙම අර්බුදකාරී තත්ත්වය සමනය වූ වහාම ඒ සදහා කටයුතු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ වන විටත් තීරණයක් ගෙන ඇති බවයි. ඒ සදහා කඩිනමින් අවශ්‍ය පියවර ගෙන වාර්තා කරන ලෙස කමිටුව නිර්දේශ කළේය.
ලිට්‍රෝ සමාමේ මවු සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ලිට්‍රෝ සමාගමට මූල්‍ය සහය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. එහිදී රක්ෂණ සංස්ථාවේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේ සමාගම සතු රුපියල් බිලියන 5ට ආසන්න මුදලක් රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීම නිසා පසුගිය කාලයේ ගෑස් මිලදී ගැනීමේ හැකියාව ලැබුණු බවයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සමන් ප්‍රනාන්දු, රක්ෂණ සංස්ථාවේ සභාපති ලිට්‍රෝ හිටපු සභාපති විජිත හේරත්, ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් යන මහත්වරු ඇතුළු නිලධාරීහුද මෙම අවස්ථාවට පැමිණ සිටි අතර ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති තෙසාර ජයවර්ධන මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේද මෙම අවස්ථාවට සම්බන්ධ විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අළුත්ගමගේ, අනුර කුමාර දිසානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ජගත් පුෂ්පකුමාර, ඉන්දික අනුරුද්ධ, එස්. එම්. මරික්කාර්, ජයන්ත සමරවීර, ආචාර්ය නාලක ගොඩහේවා, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ මධුර විතානගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025-10-29
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා (ඔක්. 24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.කෘෂිකර්ම හා පශු සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම හමුවේදී තේ, කෝපි සහ දුම්කොළ වගා ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි සාකච්ඡා කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ අමාත්‍යාංශ මට්ටමින් මූලික සාකච්ඡාවක් දැනටමත් පවත්වා ඇති බවත්, මෙම හමුව මගින් මෙම දූත පිරිස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මෙම ක්ෂේත්‍ර සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කිරීම අරමුණු කළ බවත්ය. එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට විවිධ අවධීන්හිදී චීනයෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගය අගය කළ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය. තවද මෙවැනි සම්බන්ධතා දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණයට හා පුළුල් කිරීමටත් දායක වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.තේ, කෝපි සහ දුම්කොළ කර්මාන්ත සංවර්ධනය පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී අදහස් හුවමාරු කරගත් අතර, නවීන තාක්ෂණික යෙදුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. අඩුවීගෙන යන ශ්‍රම බලකාය හේතුවෙන් පැන නගින අභියෝග ජය ගැනීමටත්, තේ වගාවේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමටත් නව තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා විය. එසේම පසෙහි සාරවත් බව වැඩි දියුණු කිරීමට සහ බෝග අස්වැන්න වැඩි කිරීමට හතරවන පරම්පරාවේ පොහොර (fourth-generation fertilizers) භාවිත කරීම යෝග්‍ය බව චීන දූත පිරිස යෝජනා කළේය.කෝපි වගාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය පසුගිය දශකය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව මෙහිදී සඳහන් වූ අතර කෝපි වගාවන් සඳහා ඉඩම් වෙන් කිරීම පුළුල් කිරීමේ අවශ්‍යතාවයද සාකච්ඡා කරන ලදී. දැනට හෙක්ටයාර් 5,000 කට අධික ප්‍රමාණයක කෝපි වගා කරන බවත්, ඉදිරි වසර දෙක තුළ එය හෙක්ටයාර් 10,000 දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.එසේම ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර, දුම්කොළ අමුද්‍රව්‍ය වෙනුවට වෙළඳපොළට සැකසූ අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශ විය හැකි බවද මෙහිදී මන්ත්‍රීවරු සඳහන් කළහ. එසේම ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය තවමත් කුඩා ප්‍රමාණයේ කර්මාන්තයක් ලෙස පවතින බවත්, කර්මාන්ත ශාලා කේන්ද්‍ර කරගත් මහා පරිමාණ කර්මාන්තයක් ලෙස එය සංවර්ධනය කිරීමේ වැදගත්කමත් චීන නියෝජිත පිරිස පෙන්වා දුන්නේය.මෙම රැස්වීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, චීන නියෝජිත පිරිස සහ පාර්ලිමේන්තු සහ අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වූහ.
2025-10-29
සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් ‘කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය’ තෝරාගෙන - ශක්‍යතා අධ්‍යන වාර්තාවක් ලබාගෙනත් නෑ - කෝපා කමිටුව ප්‍රශ්න කරයි. වයඹ පළාත් සභාව සහ කුරුණෑගල මහනගර සභාව එකාබද්ධව සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා ලංසු කැඳවා කොන්ත්‍රාත්කරුවෙකු සමඟ ගිවිසුම් ගත වුවද, ඒ සම්බන්ධයෙන් පවත්නා අධීක්ෂණ කටයුත්තක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නැවතී ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණ විය. මෙවැනි ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ප්‍රථම, ශක්‍යතා අධ්‍යන වාර්තාවක් ලබාගත යුතු වුවත් එය ලබාගෙන නොමැති බවත් මෙහිදී හෙළි විය. තවද, විශේෂිත ස්වරූපයේ ඉදිකිරීමක් නොවන සයමහල් සමාන්‍ය කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෝරාගෙන තිබීම ගැටලු සහගත බව ද කෝපා කමිටුව විසින් අවධාරණය කරන ලදී.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ වයඹ පළාත් සභාවේ 2023, 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2025.10.23 වන දින රැස්වී අදාළ නිලධාරින් කැඳවූ අවස්ථාවේදීය.ඒ අනුව, මෙම ඉදිකිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට නැවත කැඳවීමක් කරනු ලබන බවත්, මාසයක් ඇතුළත මේ ගොඩනැගිල්ලේ ව්‍යාපෘතියට අදාළ නිර්දේශ, ප්‍රසම්පාදන, තාක්ෂණික, කමිටු අදාළ සියලු වාර්තා සහ ලේඛන විගණකාධිපති වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.තවද, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා හාල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති වෙත ලබා දී තිබෙන ණය මුදල් සහ ප්‍රමාද ගාස්තු අය කර ගැනීම සම්බන්ධයෙන්ද විමසා සිටි අතර, මෙම මුදල් අය කරගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින වකවානු සමඟ දෙමසක් ඇතුළත කෝපා කමිටුවට ලබා දෙන ලෙසට නිර්දේශ කෙරිණි.පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට රජයේ ඉඩම් පිළිබඳව විධිමත් ලේඛනයක් සකස් කරන ලෙසට නිර්දේශ කර තිබුනද අදාළ ලේඛන මගින් රජයේ ඉඩම් සියල්ල හඳුනාගැනීම, දීර්ඝකාලීන බදු ලබාදීමට ඇති ඉඩම් සඳහා අනුමතිය ලබාදී ඇති හා නොමැති, හිඟ බදු වාරික ලැබීම යනාදී විස්තර ලබා ගත හැකි පරිදි ලේඛන පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන් කෝපා කමිටුව කරණු විමසා සිටියේය. නිලධාරීන් ලෙස මැලි නොවී රජයට අයවිය යුතු මුදල් අය කරගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා කෝපා කමිටුව අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් කමිටුව විසින් මෙහිදී අවධාරණය කරන ලදී. ඒ අනුව, මේ වර්ෂය අවසන් වන විට එකතු කිරීමට නියමිත මුලු මුදල සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසට නිර්දේශ කරනු ලැබීය. තවද, අධීක්ෂණ කටයුතු හේතුවෙන් රු. මිලියන 85 පමණ වන අය කර ගත නොහැකි බදු මුදලක් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කමිටුවට යොමු කරන ලෙසත් කෝපා කමිටුව විසින් මෙහිදී නිර්දේශ කරන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරවින්ද සෙනරත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී.කේ. ජයසුන්දර, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ සාගරිකා අතාවුද, සුනිල් රත්නසිරි, සහභාගී විය.
2025-10-27
"අස්වැසුම" සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළහ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ.මේ පිළිබඳ අදහස් පළවුයේ "අස්වැසුම වැඩසටහන" පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් ගරු මන්ත්‍රීවරුන්, ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා (ඔක්. 22) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධව පැවැත්වූ රැස්වීමේදීය.ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ සහ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීම සඳහා ලෝක බැංකුවේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සෙස්කා ලමන්නා (Francesca Lamanna) මහත්මිය හා ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ ශ්‍රීනිවාස් වරදන් (Srinivas Varadan) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.මෙහිදී කරුණු දක්වමින් ලෝක බැංකු නියෝජිත පිරිස සමාජ ආරක්ෂණය සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම ඔස්සේ සැබෑ ලෙසම දිළිඳු සහ අවදානම් මට්ටමේ සිටින පිරිස් හා පවුල් හඳුනාගත හැකි බව පැවැසුහ. සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියකට පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් කළ පමණින් ඔවුන් අස්වැසුම හෝ අදාළ වෙනත් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලත් පිරිසක් නොවන බවත්, එම ඇතුළත් කර ඇති දත්ත පරික්ෂා කර බලා අදාළ ප්‍රතිලාභ අවශ්‍ය පිරිස් නිවැරදිව හඳුනාගැනීම සිදු කළ හැකි බව එම නියෝජිත පිරිස අදහස් දක්වමින් අවධාරණය කළහ. එමෙන්ම මෙම සමාජ ආරක්ෂණ පද්ධතිය රටකට ඵලදායී ආයෝජනයක් බවත් ඒ හේතුවෙන් එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයද ඔවුහු තවදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් "අස්වැසුම" ප්‍රතිලාභ ලබාදීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව අදහස් දැක්වූහ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් ග්‍රාමීය කමිටුවක් මගින් තෝරා ගැනීමටත්, තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නම් අදාළ ග්‍රාමය තුළ ප්‍රදර්ශනය කිරීම තුළින් මෙහි පවතින විනිවිද භාවය තහවුරු කල හැකි බව ගරු මන්ත්‍රීවරයන් අදහස් දක්වමින් පැවසුහ. මෙහිදී අදහස් දක්වමින් " අස්වැසුම " ක්‍රියාත්මක කරන නිලධාරීහු ,ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන්වරුන්ට මෙම වැඩසටහන පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නොලැබීම මත යම් බාධාවන් මතුව තිබු බවත් වර්තමානය වන විට ඔවුන්ගේ භූමිකව පිළිබඳව නිසි ලෙස දැනුවත් කරමින් වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය සහාය ඔවුන්ගෙන් ලබාගන්නා බවත් පැවසුහ. මේ අවස්ථාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ලෝක බැංකුවේ උපදේශක ශාලිකා සුබසිංහ මහත්මිය ඇතුළු මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
2025-10-24
2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (ඔක්. 23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීහු 2026 වර්ෂට අදාළව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති ආකාරය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව කරුණු කාරක සභාවට දැනුම් දුන්හ. අදාළ කරුණු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාව විසින් මෙම අනුමතිය ලබා දෙන ලදී. 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



