E   |     |  

2022-12-14

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද? නිල් මානෙල්ද? - පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරේ

•    නිවැරදි ජාතික පුෂ්පය නිශ්චය කරගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර..

 

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා වූයේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්‌ ද යන මැයෙන් වසර ගණනාවක් තිස්සේ නොවිසඳුනු හා මත භේදයට තුඩු දී තිබු ගැටලුව පිළිබඳ දීර්ඝ ඉදිරිපත් කිරීමක් කරන ලදී.

මහාචාර්ය යකන්දාවල ඉදිරිපත් කළ පරිදි මෙරට ජාතික පුෂ්පය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1986 පෙබරවාරි 26 සිට ය. එනම් ජාතික පුෂ්පය නිල් මානෙල් බවට නිල වශයෙන් කැබිනට්‌ පත්‍රිකාවක් මගින් ප්‍රකාශයට පත් කොට තිබේ. නමුත් එහි නිල් මානෙල් මල පිළිබිඹු කිරීමට භාවිත කොට ඇත්තේ දම් පැහැති මානෙල් මලක ඡායාරූපයක් වන අතර එය සැබෑ නිල් මානෙල් මල නොවන බව මහාචාර්යවරයා පැවසීය.

ඒ අනුව, 1986 දී සිදුවූ මෙම වරද මහාචාර්යවරයා ඇතුළු පිරිස විසින් 2010 වසරේදී එවකට සිටි ජනාධිපතිවරයාට, පරිසර අමාත්‍යවරයාට, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරියට දැනුම්දී තිබේ. ඒ අනුව 2015 දී ජාතික පුෂ්පයේ නිවැරදි ඡායාරූපයක් ඇතුළත් කොට තිබේ. නමුත් 2015 දී පරිසර අමාත්‍යාංශය විසින් නිවැරදි මලෙහි ඡායාරූපයක් ප්‍රකාශයට පත් කරන අතරම ලංකාවේ ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් මල ලෙසත් ඉංග්‍රීසි නාමය 'බ්ලූ වෝටර් ලිලී' සහ දමිළ නාමය ලෙස 'නීලෝත්පලම්' වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහිදී පරිසර අමාත්‍යාංශය විසින් පෙන්වා දුන්නේ නිල් මානෙල් නාමය මානෙල් ලෙස වෙනස් වීමට හේතු වූයේ ඒ පිළිබඳ සිංහල භාෂා ප්‍රවීණයෙකු වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාගෙන් විමසීමේදී එතුමන් විසින් දක්වන ලද මතය බවයි. එහිදී එතුමාගේ මතය අනුව මානෙල් යන්නෙහි අර්ථය වන්නේ උතුම් වූ නිල් පුෂ්පය බැවින් ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් ලෙස යෙදීම සුදුසු බවට යෝජනා වී තිබේ.   

මෙහිදි මහාචාර්ය යකන්දාවල මහතා අවධාරණය කරන ලද්දේ ගෝලීයව පිළිගත් ශාක වර්ගීකරණය පිළිබඳ සම්මතයන්ට අනුව, විද්‍යාත්මක නාමය වෙනස් කිරීමට යටත් විය හැකි නමුත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පොදු ජන වහරේ භාවිතා වූ පොදු නම් වෙනස් නොකළ යුතු බවයි.

මෙහිදි මහාචාර්ය දෙපළ දක්වා සිටියේ මානෙල් යනු පොදු නාමයක් වන අතර ශ්‍රී ලංකාව තුළ දම් මානෙල්, සුදු මානෙල්, නිල් මානෙල් ආදී මානෙල් වර්ග රාශියක් පවතින නිසා ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස නිවැරදි විය යුතු බවයි.

1986 දී ජාතික පුෂ්පය තෝරා ගැනීමේ කමිටුව විසින් සලකා බලන ලද නිර්ණායක වන ස්වදේශීය වීම හා ආවේණික වීම, උපයෝගීතාවය, ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම, පෙනුම හා ව්‍යාප්තිය, මෙන්ම අතිරේක නිර්ණායක වන වර්ණය හා ස්වරූපය, ප්‍රතිනිෂ්පාදනය, වෙනත් රටක ජාතික පුෂ්පයක් හෝ වෘක්ෂයක් නොවීම යන සියලු නිර්ණායකයන් සපුරා ඇත්තේ නිල් මානෙල් බවද මහාචාර්යවරයා පැවසීය.

එහිදී, මහාචාර්ය දීප්ති යකන්දාවල සඳහන් කළේ මුද්දර කාර්යාංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ සහිත මුද්දරයක් නිකුත් කර ඇති අතර එහි ඇත්තේ ද සැබෑ මල නොව වැරැදි මලක පිංතූරයක් බවයි. එමෙන්ම පෙළ පොත්වල ඇත්තේ ද වැරදි මලක රූපයක් බවත් පාසල්වල පමණක්‌ නොව ඇතැම් උසස්‌ අධ්‍යාපන ආයතනවල ද උගන්වන්නේ වැරැදි මලක රුව පෙන්වමින් බවත් ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම, පොත්පත්වල පමණක්‌ නොව ආගමික ස්‌ථාන අසල නිල් මානෙල් ලෙස නම් කොට අළෙවි කෙරෙන්නේ ද සැබෑ නිල් මානෙල් නො වන බව මේ පර්යේෂකයන් දෙපළ ගේ අදහසයි.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා අවධාරණය කළේ මේ පිළිබඳ සලකා බලා නිර්දේශ ලබා දීමට ගරු අග්‍රාමාත්‍යතුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවයි. උක්ත කරුණ පිළිබඳ කරුණු දැක්වූ මන්ත්‍රීවරයන් පෙන්වා දුන්නේ මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් හේතුවෙන් කඩිනමින් ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් ලබා ගන්නා ලෙසයි.

මීට අමතරව පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල කටයුතු පිළිබඳවද උපදේශක කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එහිදී, විවිධ ව්‍යාපෘති සඳහා පරිසර අමාත්‍යාංශයෙන් බලපත්‍ර ලබා ගැනීම පිළිබඳව මෙන්ම පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල කාර්යාල නොමැති ප්‍රදේශවල අදාළ කාර්යාල ජංගම සේවාවන් ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීමට මන්ත්‍රීවරයන් රැසක්ද සහභාගී වූ අතර පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

මහාචාර්ය යකන්දාවල මහතා විසින් එවන ලද 2015 කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කරන ලද නිල් මානෙල් මලෙහි ඡායාරූපයක් මේ සමග අමුණා ඇත.

 

blue-water-lilly 1

2 7

9 13



සම්බන්ධිත පුවත්

2025-06-02

2024 දී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වියදම් කරලා - ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වෙයි

Glocal Fair වැඩසටහන සඳහා කැබිනට් අනුමතිය ලැබීමට පෙර ආරම්භ කරලා, කැබිනට් පත්‍රිකාව වැඩසටහන යන අතරතුර අමාත්‍ය මණ්ඩල අනුමතියට ඉදිරිපත් කරලා .2013දී සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ  රටවිරු නිවාස ණය වැඩසටහන, අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව කටයුතු සිදු නොකිරීම නිසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු  මිලියන 100 තවම ලැබී නෑශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය  නියාමන කාර්යයෙන්  බැහැර වෙලා - කෝප් කමිටුව 2024 දී  වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ  නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.  කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය  විසින් 2024 වසරේදී විගමනික සංගම් සාමාජිකයින්  5000 කගේ සහභාගිත්වයෙන්  පළාත් මට්ටමේ  රැස්වීම 3ක් පැවැත්වීම සඳහා වූ විගමනික හරසර  වැඩසටහන සඳහා  රු. මිලියන 63කට අධික  මුදලක් හා  විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන විසින් සපයනු ලබන  සේවාවන්, සේවා ලාභීන් පදිංචි ස්ථානවලදීම ලබා ගත හැකිවන පරිදි දිවයින පුරා පැවැත්වූ Glocal Fair  වැඩසටහන සඳහා  රු  මිලියන 1259 කට අධික  මුදලක්ද වැයවූ බව  කෝප් කමිටුවේදී අනාවරණය විය.මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022, 2023 මූල්‍ය  වර්ෂවල  විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා Glocal Fair  වැඩසටහන කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් අදාළ කැබිනට් පත්‍රිකාව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරු අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම  මෙවැනි  වැඩසටහන්  පැවැත්වීම සඳහා වාර්ෂිකව  අයවැයෙන්  රුපියල් මිලියන 2ක් පමණක් වෙන් කර ඇති බවත්, රු.  මිලියන 1259 ක මුදලක් තරම් විශාල මුදලක් ඒ සඳහා වැයකර ඇති බවත් එවැනි මුදලක් වැයකිරීමේ අරමුණු ඉටුකර ගත හැකිවුයේද යන්න පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.තවද මෙම Glocal Fair වැඩසටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී  ,වෙළඳ කුටියක්  රුපියල්  එක්ලක්ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත්තද පසුව  වෙළඳ  කුටියක් ලක්ෂ 5ක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන්ද කාරක  සභාව විමසා  සිටියේය. කෙසේ වෙතත් ඵලදායී  වැඩසටහන්වලට යෙදවීමට තිබු මුදල් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීම තුළින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.එමෙන්ම 2013 වසරේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ  “රටවිරුවෝ”  නිවාස ණය වැඩසටහන,  වසර 05කට  අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව සිදු කර නොමැති බවත් ඒ හේතුවෙන් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු  මිලියන 100ක මුදල තවම ලැබී නොමැති බවත් කාරක සභාවේදී අනාවරණය විය. කෙසේ වෙතත් එම ලැබිය යුතු මුදල ලබා දීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මේ වනවිට එකඟ වී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. මෙහිදී කාරක සභාව විසින් මෙම නිවාස ණය ලබාදීමේ වැඩසටහන මගින් කොපමණ පිරිසකට අදාළ ණය පහසුකම ලබා දී තිබේද යන්න නිලධාරීන්ගෙන් විමසා  සිටි අතර එවැනි දත්තයක් ඔවුන් සතුව නොපවතින බව ඔවුහු  කාරක සභාවට දැන්වූහ. ඒ අනුව මෙම වැඩසටහන පිළිබඳව කිසිදු පසු විපරමක් සිදුව නොමැති බව පැවසු කාරක සභා සභාපතිවරයා මෙම රටවිරුවෝ  නිවාස ණය වැඩසටහන පිළිබදව ආරම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.කෙසේ වෙතත් මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වී කටයුතු  කර ඇති බව පෙන්වා දුන්හ. වර්තමානය වනවිට බිලියන 18ක්ව පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාවර තැන්පතු වඩාත් ඵලදායී  ලෙස යෙදවීමට සැළසුම්  සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවයද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.තවද අක්‍රීයව පවතින,  2023 දෙසැම්බර් 31 වැනි දිනට බිලියන 5.1 ක ශේෂයක් පවතින කුවේට් වන්දි අරමුදල සඳහා ගනු ලබන ක්‍රියාමර්ග පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව එම මුදල භාවිතා කර ගෘහ සේවය සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට අවශ්‍ය පුහුණුවීම්  ලබාදීමටත් ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමටත් සැළසුම් සකස් කර ඇති බව  නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.එමෙන්ම මෙහිදී  රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයින්  මාර්ගයෙන්  අයතා  ලෙස  රැකියා ඒජන්සි  සිදුකල මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. එහිදී  රැකියාවක් සඳහා ඒජන්සියක් මාර්ගයකින් තොරව  ස්වයං  පිටත්ව යන සෑම ශ්‍රමිකයෙක්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වියයුතු බවත් ඒ සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු  බවත් කාරක සභාවේදී කරුණු පැහැදිලි විය. එමෙන්ම ඒජන්සි මගින් ශ්‍රමිකයින් රැකියා  සඳහා යොමු කිරීමේදී ද එම ශ්‍රමිකයින් සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත් එම මුදලින් 70%ක් නැවත අදාළ ඒජන්සි සඳහා ගෙවන බවත් කාරක සභාවෙදී අවධාරණය කෙරිණි. කෙසේ වෙතත් ස්වයං පිටත්ව යන ශ්‍රමිකයින්, ඒජන්සි මගින් පිටත්වන ශ්‍රමිකයින් ලෙස හුවා දක්වමින් වංචා සහගතව සිදු කර තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කරුණු සෙවීමට අනු කමිටුවක් පත්කිරීමට කාරක සභා සභාපතිවරයා තීරණය කළේය. මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න,මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ,  මයිල්වාගනම් ජෙගදීස්වරන්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා , සුජීව දිසානායක, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ ,ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන,  (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත , ලක්මාලි හේමචන්ද්‍ර  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2025-05-28

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාට

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තේරී පත්විය.ඊයේ (මැයි 27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය. මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වය පළවී තිබිණි.                             ඒ අනුව සභාපති ධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා විසින් ස්ථිර කරන ලදී.අනතුරුව ලබන ජූනි 05 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව ඇති ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන කිහිපයක නිලධාරීහු ඊට සහභාගී වූහ. ගමනාගමන කොමිෂන් සභාව දීර්ඝ කාලයක් මුළුල්ලේ මුහුණ දුන් ප්‍රායෝගික ගැටලුවලට විසදුම් සඳහා ප්‍රතිපාදන ඇතුළත් කරමින් මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බව නිලධාරීහු මෙහිදී පැවසූ අතර ඊට කාරක සභාවේ අනුමතිය හිමිවිය. ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවිය විය යුතු මූලික වෙනස්කම් පිළිබඳව ද මූලික කරුණු  මෙහිදී සාකච්ඡා විය.මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සුරවීර ආරච්චි, ධනුෂ්ක රංගනාත්, අසිත නිරෝෂණ එගොඩ විතාන සහ ශාන්ත පත්ම කුමාර සුබසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.


2025-05-27

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාට

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා තේරී පත්විය.අද (මැයි 27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය.දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත ආංශික අධීක්ෂණ කාරක සභා 7 අතුරින් ආණ්ඩු පාර්ශවය වෙත හිමි සභාපති ධුර 4ට අයත් මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය සඳහා වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ නම ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ මහත්මිය විසින් ස්ථිර කරන ලදී.එසේම මෙම කාරක සභා රැස්වීමේදී, 2025.06.03 වැනි දින දෙවැනිවර කියවීමට නියමිත පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව එයට අනුමතිය හිමි විය.ඒ අනුව, ජුනි මස 03 වැනි අඟහැරුවාදා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) කෙටුම්පතට අදාළව දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් වන ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ලසිත් භාෂණ ගමගේ, නීතිඥ හසාරා ලියනගේ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2025-05-26

නීති සම්පාදන ක්‍රියාවලිය වඩාත් ඵලදායීව සිදු කිරීමටත්, යහපාලන මූලධර්ම ආරක්ෂා කරමින් අවශ්‍ය දැනුම සහ මෙවලම් වලින් පාර්ලිමේන්තු කාරක සභා සන්නද්ධ වීම අත්‍යවශ්‍යයි - ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ආංශික අධීක්ෂණ කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් උදෙසා පැවතී සම්මන්ත්‍රණයේදී පවසයි

නීති සම්පාදන ක්‍රියාවලිය වඩාත් ඵලදායී සිදු කිරීමටත්, යහපාලන මූලධර්ම ආරක්ෂා කරමින් අවශ්‍ය දැනුම සහ මෙවලම් වලින් පාර්ලිමේන්තු කාරක සභා සන්නද්ධ වීම අත්‍යවශ්‍ය බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.ගරු කථානායකවරයා මේ අදහස් පළකලේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබාගැනීම සඳහා පවතින ක්‍රම සහ විධි පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම උදෙසා පසුගිය 22 සහ 23 දිනවලදී පැවත්වෙන දෙදින සම්මන්ත්‍රණයේ පළමු දිනය ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අවස්ථාවේදීය.ජාත්‍යන්තර සාමය සහ නීතියේ ආධිපත්‍යය සඳහා වූ මැක්ස් ප්ලාන්ක් පදනමේ (Max Planck Foundation) සහයෝගයෙන් මෙම සමන්ත්‍රණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සංවිධානයකර තිබුණි.මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙම සම්මන්ත්‍රණ මගින් ලබාගන්නා අත්දැකීම් භාවිතා කර ගරු මන්ත්‍රීවරයන්ට ආංශික අධීක්ෂණ කාරක සභාවල කාර්යයන් වඩාත් සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබෙන බව පැවසුවේය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව සහයෝගය දැක්වීම වෙනුවෙන් ජාත්‍යන්තර සාමය සහ නීතියේ ආධිපත්‍යය සඳහා වූ මැක්ස් ප්ලාන්ක් පදනමට සිය කෘතඥතාව පළකල කථානායකවරය නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ධාරිතා වර්ධනය කිරීමට උපකාරීවී තිබෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.ජෙනෝවා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එන්රිකෝ ඇල්බනේසි [(Professor) Enrico Albanesi], මැක්ස් ප්ලාන්ක් පදනමේ පර්යේෂණ සහකාර ප්‍රවීන් චාකෝ නිනන් (Praveen Chacko Ninan), මැක්ස් ප්ලාන්ක් පදනමේ නීති උපදේශිකා මෙත්මිණි විජේසිංහ යන මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පවැත්විණි.සම්මන්ත්‍රණයේ ආරම්භක දේශනය සිදුකරමින් මැක්ස් ප්ලාන්ක් පදනමේ පර්යේෂණ සහකරු ප්‍රවීන් චාකෝ නිනන් මහතා විසින් ව්‍යවස්ථාදායකමය කටයුතු වෙනුවෙන් පවතින ශිල්පීය ක්‍රම පිළිබඳ කරුණු දක්වමින් පනත් කෙටුම්පත් සමාලෝචනය කර විශ්ලේෂණය කරන ආකාරය පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කළේය. තවද පනත් කෙටුම්පත් තක්සේරු කිරීම සඳහා වන ප්‍රායෝගික ශිල්පීය ක්‍රම සහ ප්‍රමිතීන් පිළිබඳව ද ඒ මහතා මන්ත්‍රීවරයන් දැනුවත් කළේය.එමෙන්ම මහාචාර්ය එන්රිකෝ ඇල්බනේසි මහතා මන්ත්‍රීවරයන් දැනුවත් කරමින් පනත් කෙටුම්පත්, නීතියේ ආධිපත්‍යයට අනුකූල සලකා බලන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළේය. ඒ සඳහා පවතින නීති රීති, විවිධ මාර්ගෝපදේශයන් හා මුලධර්මයන් ගෙනහැර දක්වමින් මන්ත්‍රීවරයන් දැනුවත් කළේය.මෙම වැඩසටහන සඳහා විරුද්ධ පක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු සභානායක කාර්යාලය, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සහ විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks