පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-06-19
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බැවින් ඒ සදහා කඩිනමින් පියවර ගතයුතු බව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදී සාකච්ඡා විය.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (ජුනි 13) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමු විය.
වර්තමානයේ දක්නට ලැබෙන සේවා යෝජකයා සහ සේවා දායකයා අතර පැවතී සාම්ප්‍රදායික ශ්‍රම සේවා සැපයීමෙන් බැහැරව, ශ්‍රම ළෙඳපොළේ නිදහසේ කටයුතු කරන ශ්‍රමිකයින් (Freelancer) පිරිසකගෙන් බහුලව විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ආශ්‍රිතව කටයුතු කරමින් සිටින ආර්ථිකයක් හෙවත් ගිග් ආර්ථික තත්ත්වය (Gig economy) පිළිබද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.
අන්තර්ජාල ඔස්සේ ව්‍යාපාර සිදු කරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව අන්තර්ජාලය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන දේශීය සමාගම් සහ ජාත්‍යන්තර සමාගම් සඳහා සම ව්‍යාපාරික පරිසරයක් ඇතිකිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
වාණිජ බැංකු ප්‍රධානීන්, අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික කටයුතුවල නිරත දේශීය හා විදේශීය සමාගම් නියෝජිතයන්, ක්‍රෙඩිට් කාඩ් සමාගම් නියෝජිතයන්, මහ බැංකු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම කමිටු රැස්වීමට සහභාගී වූහ.
ගිග් ආර්ථිකය (Gig Economy) වත්මන් තාක්‍ෂණික සංවර්ධනයට සමගාමීව ශීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ව්‍යාපාරික කටයුතු දිරිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. මෙම ව්‍යාපාර නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් මෙන්ම ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීම යෝග්‍ය බව ද යෝජනා විය. එසේම අන්තර්ජාල ව්‍යාපාරවලට සම්බන්ධ සමාගම් වැඩි වශයෙන් රට තුළට ආකර්ශනය කර ගැනීමට පරිසරයක් නිර්මාණය කිරීම අවශ්‍ය බවද මෙහිදී සාකච්ඡා විය.
ආර්ථික ඩිජිටල්කරණය තුළින් පැන නගින බදු අභියෝග විසදීම සදහා වන කුළුණු ද්විත්වයේ විසදුම පිළිබඳ ප්‍රකාශයට අනුව (G20 /OECD) සාමාජික රටවල් 140 න් ගෝලීය ආයතනික බදු ගිවිසුමට අත්සන් කර නොමැතිව ඇත්තේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, කෙන්යාව සහ නයිජීරියාව යන රටවල් හතර පමණක් බව මෙහිදී අනාවරණය විය.
ඒ සමගම මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම සඳහා වාර්ෂිකව බිලියන 3.2ක් වැය වන බවත් ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව සකස් කළ සැලැස්ම පිළිබඳ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු සංජීව එදිරිමාන්න හා ගරු ලලිත් වර්ණකුමාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ සඳහා මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උසස් නිලධාරීන් සහභාගී වූ අතර සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් ජෙනරාල්, මහ බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HNB බැංකුව, NDB බැංකුව, ලංකා බැංකුව නියෝජනය කරමින් සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහභාගි වූහ.
එසේම මෙරට ඔන්ලයින් සේවා සපයන ආයතන නියෝජනය කරමින් Lanka Pay, Pick me, Uber, Master, Visa, Daraz යන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන් සහභාගි වූ අතර ඔවුන්ගේ අදහස් ද කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී. මෙම කමිටුව පැමිණි සමාගම් රෙජිස්ටාර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ යම් නීතියක් මඟින් දක්වා නොමැති විට ලියාපදිංචි කරන ලෙස බල කිරීමට හෝ අනිවාර්ය කිරීමට නොහැකි බවත් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තොරතුරු ගොනු කර තබා ගැනීමේ ආයතනයක් ලෙස ක්‍රියා කරන බවත් ය. එසේම තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචිය සිදු කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වන අතර තවත් ව්‍යාපාර කොටසකට පළාත් පාලන ආයතන මගින් බලපත්‍ර දෙනු ලැබේ.
ආයෝජන හා ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සැපයීම කාරණා දෙකක් බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙහිදී ප්‍රකාශ කරන ලදී. මෙරට ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සපයන දේශීය සමාගම් රජයට බදු ගෙවන අතර එම ව්‍යාපාරයේම නියුතු ඇතැම් විදේශීය ආයතන රජයට නිසි අයුරින් බදු නොගෙවන බව ද අනාවරණය විය.
2025-07-28
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර මේ සඳහා අතීතයේ ගත් පියවරයන් ද ඔවුහු ඉදිරිපත් කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අතීතයේ කටයුතු කළ අදාළ අංශවල විශේෂඥයින් සම්බන්ධ කර ගනිමින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම වඩාත් පුළුල්ව පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී විෂයමාලා නිසිපරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභා සාමාජිකයින් අවධාරණය කළ අතර, එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු ද ඔවුහු පෙන්වා දුන්හමේ අතර, සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අදාළ අනුමතිය හිමිවිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2025-07-28
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි. කමිටුවේ සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුණි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් පත් කෙරිණි. මේ පත් කිරීම් සිදුවූයේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙරට සංස්කෘතික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයන් නගාසිටුවීමට, එම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කලා කරුවන් සහ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි පියවරයන් සහ කලා රස වින්දනය පිළිබඳ පොදු මහජනතාව සහ දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අවශ්‍යතාව ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පිළිබඳව මූලික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කළ යුතු බව මෙහිදී සාමාජික මන්ත්‍රීවරයන් යොජනා කළහ. මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ.
2025-07-28
නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත. එමෙන්ම බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන් යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.තවද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025-07-28
අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහදී කාරක සභාවට දැනුම් දුන්හ.කෙසේ වෙතත්, 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින් 2026 වසරේදී දී කිසිදු හිඟයක් ඇති නොවන බව එම නිලධාරීහු කාරක සභාවට සහතික කර පැවසුහ. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී කාරක සභාව විසින් ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශ නිලධාරීහු දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළහ.තවද මෙදින කාරක සභාවේදී , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී. මෙම වාර්තා සමාලෝචනය කරන අවස්ථාවේදී, මෙම ආයතනවලට අදාළව තවමත් නිරාකරණය නොවූ විගණන විමසුම් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව විගණන නිරීක්ෂණ සඳහා කාලෝචිත හා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට බව කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුන, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා සහ ජගත් මනුවර්ණ යන මහත්ම මහත්මීහු මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු පිඑඉසක් සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks