E   |     |  

2023-10-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරිපාලන දුර්වලතා රැසක්! - අක්‍රමිකතා පිළිබදවත් ‘කෝප්’ කමිටුව විමර්ශනය කරයි

  • ජ්‍යේෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක් වැඩබලන තනතුරු බව හෙළි වෙයි - වඩාත් විවෘත සහ විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් තුළ ස්ථිර පත්කිරීම් කඩිනම් කිරීමට නිර්දේශ
  • 2011 වසරේදී රු. මිලියන 10,000 කට ආසන්න  මුදලක් කිසිදු ඇපයකින් තොරව ණය ලෙස ලබාදීලා - සවිස්තරාත්මක වාර්තාවක් කැඳවයි
  • පසුගිය වසර පහක කාලය තුළ පමණක් රුපියල් බිලියන 5 ක අලාභයක්
  • 2019 වසරේ සිට වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නැහැ
  • ණය එකතු කිරීමට අදාළව දිවයින පුරා දත්ත ඒකාබද්ධ කොට පරිගණක පද්ධතියක් සකස් කිරීම කඩිනම් කිරීමටත් නියෝග
  • විශාල සේවක ප්‍රමාණයක් පුහුණු සේවකයන් ලෙස බඳවා ගැනීම පිළිබදවත් ප්‍රශ්න කරයි
  • ණය එකතු කර ගැනීම සහ ණය ලබා දීමේ ක්‍රමවේදය මෙන්ම ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබද සවිස්තර වාර්තාවක් මාස දෙකක් තුළ ලබා දෙන ලෙසට නිර්දේශ
  • මාස තුනකින් නැවත කැදවීමක්

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.10.17  දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කැඳවා තිබිණි.

මෙහිදී 2019 සහ 2020 වර්ෂ සදහා වූ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබදව  විමර්ශනය  කිරීම සිදුවිය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, සාමාන්‍යාධිකාරි (වැඩබලන) කේ.ඒ. ජානක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට කැදවා තිබිණි. මෙහිදී පහත සදහන් කරුණු කෙරෙහි විශේෂ අනධානය යොමු විය.

 

ජ්‍යේෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක්ම වැඩබලන තනතුරු ලෙස පැවතීම

අධිකාරියේ සාමාන්‍යධිකාරී තනතුර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක් වැඩබලන තනතුරු බව අනාවරණය විය. මෙහිදී ලේකම්වරයා පවසා සිටියේ මෙම අධිකාරිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව බඳවා ගැනීම් සිදු කර ඇති බැවින් එය නිවැරදි මාවතට ගැනීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බවයි. තවද උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර කමිටුවක්ද පත්කොට මෙම තනතුරු ස්ථිර කිරීම සදහා නැවත සමාලෝචනය කරමින පවතින බවත් අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

මෙම ආයතනය රුපියල් බිලියන ගණනක් හුවමාරු වන ආයතනයක් බැවින් අධිකාරියේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) තනතුර පවා වැඩබලන තනතුරක් වීම විශාල ගැටළුවක් බැවින් මේ තත්ත්වය ඉක්මනින්ම නිවැරදි කරන ලෙස ද විගණකාධිපතිවරයා දන්වා සිටියේය.

මෙහිදී අධිකාරියේ සභාපතිවරයා පවසා සිටියේ වැඩබලන තනතුරු 16න් සුදුසුකම් ඇත්තේ 5කට ආසන්න පිරිසකට බවයි. මේ අනුව අභ්‍යන්තරිකව සුදුසුකම් සහිත පුද්ගලයන් මෙම තනතුරුවලට පත් කිරීමට කටයුතු කරන ලෙසද බාහිරින් ද සුදුසුකම් සහිත පුද්ගලයන් බඳවා බඳවාගැනීමට කටයුතු කරන ලෙස ද නියෝග කෙරිණි. මේ අනුව මේ සදහා වඩාත් විවෘත සහ විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසත් එම ක්‍රමවේදය සති දෙකක් තුළ කාරක සභාවට දැනුම් දෙන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයාට කමිටුව විසින් නියෝග කරන ලදී. තවද වර්තමානයට ගැළපෙන පරිදි තනතුරු ප්‍රතිසංවිධානය කරන ලෙසද උපදෙස් දුන්නේය.

 

කිසිදු ඇපයකින් තොරව රු. මිලියන 10000කට ආසන්න මුදලක් ණය වශයෙන් ලබා දීම

ආයතනයේ සමුච්චිත අලාභය රුපියල් බිලියන විස්සකට ආසන්න බව මෙහිදී අනාවරණය විය. එසේම පසුගිය වසර පහක කාලය තුළ පමණක් රුපියල් බිලියන 5 ක අලාභයක් ලබා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. තවද රුපියල් බිලියන 10 ක පමණ මුදලක් ණය ලාභීන්ගෙන් එකතු කර ගැනීමට නියමිතව ඇති බවත් හෙළිවිය.

විවිධ ආණ්ඩු සහ අමාත්‍යවරුන්ගේ පාලනය හමුවේ අධිකාරියේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බව මෙහිදී වත්මන් සභාපතිවරයා පෙන්වා දුන්නේය. 2011 වසරේදී ‘උපහාර’ නම් නිවාස ණය යෝජනා ක්‍රමයක් යටතේ  රුපියල් මිලියන 10,000 කට ආසන්න  මුදලක් කිසිදු ඇපයකින් තොරව ණය ලාභීන්ට ලබාදී ඇති බව මෙහිදී හෙළි විය. රාජ්‍ය බැංකු හරහා ලබා දී තිබූ මෙම ණය මඟින් ඇපවී ඇත්තේ අධිකාරියේ ගිණුම් පමණක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය තුළ මෙම මුදල් අය කර ගැනීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවත්, තවත් බිලියන තුනකට අධික ප්‍රමාණයක අයකර ගැනීමට ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මේ අනුව මෙම ණය යෝජනා ක්‍රමය පිළිබඳව සංක්ෂිප්ත වාර්තාවක් කඩිනමින් කමිටුවට ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය. තවද ආයතනයේ වත්කම් ඇපයට තබාගනිමින් මෙවැනි ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා කඩිනමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද පැමිණ සිටි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන්ට නිර්දේශ කරන ලදී.

 

වාර්ෂික වාර්තා ප්‍රමාද වීම

අධිකාරිය 2019 වසරේ සිට වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොතිබීම ගැන දැඩි අප්‍රසාදය පළ විය. මේ අනුව 2019, 2020,  2021 යන වසරවල වාර්ෂික වාර්තා 2023 නොවැම්බර් 17 දිනට පෙර ද 2022 වාර්ෂික වාර්තාව දෙසැම්බර් 31 ට පෙර ද පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.

 

සියලු දිස්ත්‍රික්කවල ණය දත්ත ඒකාබද්ධ කොට පරිගණක පද්ධතියක් සැකසීම

නිවාස සඳහා ලබාදී ඇති ණය එකතු කිරීමට අදාළව දිවයින පුරා දත්ත ඒකාබද්ධ කොට පරිගණක පද්ධතියක් තවමත් සකස් කර නොමැති බව මෙහිදී අනාවරණය විය. මේ අනුව කඩිනමින් ඒකාබද්ධ දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණි. මෙම හේතුවෙන් විශාල වශයෙන් මේ වන විට වංචා සිදු වී ඇති බව ද විගණකාධිපතිවරයා හෙළි කළේය.  නිලධාරීන් පැවසුවේ දැනටමත් සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් දත්ත පද්ධතියක් සැකසීම ආරම්භ කර ඇති බවත් දෙසැම්බර් 31 වන විට සියලු කටයුතු අවසන් කරන බවයි.

 

අතරමග නතර වී ඇති  නිවාස 98000ක ඉදිකිරීම් කටයුතු නැවත ඇරඹීම

පැවති ආර්ථික තත්ත්වය හේතුවෙන් වැඩ ආරම්භ කර ඇති නිවාස 98000ක ඉදිකිරීම් කටයුතු අතරමඟ මේ වන විට නතර වී ඇති බවද අනාවරණය විය.  මෙම නිවාස ඉදිකිරීම් නිම කිරීමට තවත් රුපියල් මිලියන 24000ක් අවශ්‍ය බවද මේ වන විට රුපියල් මිලියන 3750 ක් වෙන් කර ඇති බවද සභාපතිවරයා පැවසීය. මේ අනුව ඉදිරියේදී මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශයට ඉල්ලීම් කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

විශාල සේවක ප්‍රමාණයක් පුහුණු සේවකයන් ලෙස බඳවාගෙන බඳවා ගෙන තිබීම

මෙහිදී අනාවරණය වූයේ 2015- 2019 කාලයේ දී පුහුණු සේවකයන් 5296 බඳවා ගෙන ඇති බවත් ඉන් 2800කට ආසන්න ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන ඇති බවත්ය. ඔවුන් ක්ෂේත්‍ර  රාජකාරි සඳහා යොදවා ඇති බවත් ඔවුන් සඳහා වැටුප් ලෙස රුපියල් මිලියන 2148 ක් ගෙවා ඇති බවත් අනාවරණය විය. නිලධාරීන් පවසා සිටියේ අනවශ්‍ය පුහුණු සේවක පිරිස ඉවත් කිරීමෙන් පසු මේ වන විට පුහුණු සේවකයන් 167 දෙනෙකු පමණක් සේවය කරන බවයි.

 

විශේෂ නිර්දේශ ත්‍රිත්වයක්

මෙහිදී ණය එකතු කර ගැනීමේ ක්‍රමවේදය,  ණය ලබා දීමේ ක්‍රමවේදය සහ ඉඩම් බැහැර කිරීම සම්බන්ධයෙන් වන ක්‍රමවේදය පිළිබද සවිස්තර වාර්තාවක් මාස දෙකක් තුළ ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. එසේම වඩාත් විනිවිද බවකින් යුතුව ඉඩම් පිළිබදව ලේඛනයක් වෙබ් අඩවියේ හෝ වෙනයම් ක්‍රමයකට ප්‍රසිද්ධ කිරීම සිදු කරන ලෙසට ද නියෝග කෙරිණි.

 

එසේම මාස තුනකින් නිවාස සංවර්ධන අධිකාරිය නැවත කැදවීමටත් තීරණය විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු නිමල් ලාන්සා, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු එස්.එම් මරික්කාර්, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එම් රාමේශ්වරන් සහ ගරු මධුර විතානගේ යන මහත්වරු මෙම කාරක සභාවට සහභාගී වූහ.

 

1 9

 



සම්බන්ධිත පුවත්

2024-09-20

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 18) රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව, කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී. රත්නායක මහතාගේ පත් කිරීම කිරීම, උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  සලකා බලා  අනුමත කර ඇත.කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වෛද්‍ය ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ,  ගරු උදය ගම්මන්පිල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 


2024-09-09

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සැප්තැම්බර් 04 වැනිදා එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු වඩිවේල් සුරේෂ් මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය  විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අඩු බර, මිටිභාවය, කෘෂභාවය, සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම - වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. ග්‍රෑම් 2500 ක් හෝ ඊට අඩු උපත් බරක් සහිතව උපදින දරුවන් අඩු උපත් බරක් ඇති දරුවන් ලෙස සැලකෙන අතර 2022 දී සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයට අනුව, ජාතික වශයෙන් නියෝජනය වන නියැදියක් මගින් අඩු උපත් බර ව්‍යාප්තිය 15.9%ක අගයක පැවති බව මෙම වාර්තාවෙන් පෙන්වාදී ඇති අතර 2023 ජූනි පෝෂණ මස තක්සේරුවෙන් හඳුනාගෙන ඇත්තේ 2022 වසරට සාපේක්ෂව ළදරුවන් සහ අවුරුදු දෙක දක්වා වන ළමුන් අතර අඩු බර සහ මිටිභාවය වැඩි වී ඇති බවයි. වඩාත්ම තැති ගන්වන සුළු ඉහළම අඩු බර අනුපාතය වූ 24.6% නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ඒ අනුව සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මධ්‍යස්ථ හෝ දැඩි ලෙස අඩු බර සහිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති බව මෙම වාර්තාවේ සඳහන් වන්නේ. 2023 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ කෘෂභාවයට ලක් වූ දරුවන්ගේ අනුපාතය 10% ක් ලෙස මෙම වාර්තාවේ දැක්වෙන අතර අවුරුදු 5 ට අඩු සියලුම දරුවන්ගෙන් 1.2% ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති අතර සංඛ්‍යාත්මකව ළමුන් 16,000 කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳ ඇත. 2023 පෝෂණ මාසයේ වාර්තාව මගින් වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටි බව 10.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පෙර වසරට වඩා 9.2% ක වැඩිවීමක් බව අනාවරණය වී ඇත. සම වයසේ දරුවන් හා සැසඳීමේ දී දක්නට ලැබෙන මිටිවීම හෝ උස අඩු වීම, නිදන්තගත මන්දපෝෂණය හේතුවන් කාලයක් පුරා සිදුවන බව හඳුනාගෙන ඇතැයි වාර්තාව මගින් අනාවරණය කර තිබේ. මේ අතර 2022 දී සිදු කරන සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 5-18 අතර ළමුන්ගේ ජාතික වශයෙන් නියෝජනීය නියැදියක දී වයසත් සමග මිටි භාවය, අධික බර සහ තරබාරුකම වැඩි වන බව අනාවරණය වී ඇත. ගෘහස්ථ මට්ටමින් ආහාර සුරක්ෂිතතාව නිසි පරිදි නොපැවතීම ද මන්දපෝෂණ තත්ත්වය ඇතිවීමට බලපා ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. 2022 වර්ෂයේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් සමස්ත ජනගහනයෙන් 98% ක් ආහාර මිල ඉහළ යාම නිසා පීඩාවට පත් වී ඇති අතර ඒ හේතුවෙන් එම වර්ෂයේ අවසාන මාස හය තුළදී අධ්‍යයනය කරන ලද කුටුම්බ වලින් 74% ක ප්‍රමාණයකට ආහාර හෝ දෛනික අත්‍යවශ්‍ය ද්‍රවය මිලදී ගැනීමට හැකියාව නොතිබූ බවයි වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. ආහාර අනාරක්ෂිත කුටුම්බ ප්‍රමාණය 2023 මාර්තු මාසයේ පැවති 17% ක ප්‍රමාණයට සාපේක්ෂව 2023 වර්ෂයේ තුන්වන කාර්තුවේදී 24% ක් දක්වා ඉහළ ගොස් ඇත. සමස්ත පවුල් වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩු කර හෝ ඔවුන්ගේ පරිභෝජනය සීමා කර ඇති අතර හතරෙන් එකක් අසල්වැසියන්ගෙන් ලැබෙන අහාර මත ජීවත් වෙන බවද මෙහි දක්වා තිබේ. ළමුන්ගේ පෝෂණය වැඩි දියුණු කිරීම සඳහා නිගමන හා නිර්දේශ මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත. එහිදී දරුවන් නිදන්ගත මන්දපෝෂණයට පත්වීමට පෙර එම ළමුන් කෙරෙහි ක්ෂණික අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත. තවද මාතෘ හා ළමා සෞඛ්‍ය (MCH) වැඩසටහන් සඳහා ගුණාත්මක මාතෘ හා ළමා පෝෂණ (MCN) සේවාවන් සැපයීම සඳහා ප්‍රමාණවත් පරිදි නිපුණතාවය සහිත ක්ෂේත්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පැවතීමේ අවශ්‍යතාවයද වාර්තාව මගින් අවධාරණය කර තිබේ. පාසල් ළමුන් සඳහා විටමින් A අතිරේකය සැපයීම නවතා දමා ඇති බැවින් මෙය නැවත ගැටලුවක් බවට පත්වීමට ප්‍රථම විටමින් A අතිරේකය නැවත ලබාදීම පිළිබඳව සලකා බැලිය යුතු බව ද මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇත. වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින පවුල්වල ආහාර සුරක්ෂිතතා තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයද පෙන්වා දී ඇත. මන්දපෝෂණය විසඳීම සඳහා වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් සහ හේතු සාධක හඳුනාගැනීම සඳහා ළමුන් තුළ මන්දපෝෂණයේ කේන්ද්‍රීය ස්ථාන හඳුනා ගැනීම සහ අවදානම් සිතියම ගත කිරීම සඳහා දැනට පවතින සෞඛ්‍ය කළමනාකරණ තොරතුරු පද්ධති භාවිතා කිරීමටද මෙම වාර්තාවෙන් නිදේශ ලබා දී ඇත. ගැබිනි මවුවරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට බාධාවකින් තොරව පෝෂණ අතිරේක සැපයීම, සෞඛ්‍ය සම්පන්න හා අඩු වියදම් ආහාර වේලක් සඳහා දැරිය හැකි මිලකට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා එම ද්‍රව්‍ය වල මිල පාලනය කිරීම, ගුණාත්මක ආහාර සැපයීම සඳහා පෙර පාසල් ආහාර වැඩසටහන, පාසල් ආහාර වැඩසටහන සහ පාසල් ආපනශාලා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම හා ඒවා අධීක්ෂණය කිරීම ඇතුළු කෙටි, මධ්‍ය හා දිගු කාලීන නිර්දේශ රැසක් මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත.  


2024-09-06

2024 යල කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වැන්නෙහි අස්වනු සමීක්ෂණ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිරීක්ෂණ චාරිකාවක

පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වනු සමීක්ෂණය කිරීමේ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය අගෝස්තු 28 වැනිදා ගම්පහ (මිනුවන්ගොඩ) ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. පරිසර හිතකාමී පොහොර මෙරට කෘෂිකර්මාන්තයට සාර්ථකව හඳුන්වාදීම කාරක සභාවේ ප්‍රධාන අරමුණ වූ අතර එම පොහොර නිෂ්පාදන ප්‍රධාන වී වගා කරන ප්‍රදේශයේ පරීක්ෂාවට ලක් කළ යුතු බවට මෙම කාරක සභාවේදී තීරණය විය. 2023/2024 මහ කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිත කරමින් වැලිකන්ද සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල වී යාය ආදර්ශන වල සාර්ථක ප්‍රතිපළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම කාරක සභාවේ සභාපති ගරු ඩී. වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ 2024 යල කන්නයේදී පළාත් 7ක සහ බී, සී  සහ එච් යන මහවැලි කලාපවල පරිසර හිතකාමී පොහොර භාවිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. ඒ අනුව මෙම නිරීක්ෂණ චාරිකාව සිදු විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නිලධාරීන් සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ සහ පුහුණු ආයතනය, කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා සහභාගී විය. ඉහත වැඩසටහන යටතේ බස්නාහිර පළාතට අදාළ වැඩසටහන බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි අධීක්ෂණය යටතේ පවත්වන ලද අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් අස්වනු සමීක්ෂණය සිදු කරන ලදී. වැඩසටහනේ සමස්ත සම්බන්ධීකරණය ජාතික මූලික අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලදී.  


2024-08-22

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ වාර්තාව කථානායකවරයාට පිළිගන්වයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් 2024.08.08 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාට පිළිගන්වන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් යුතුව කාන්තාව හා මාධ්‍ය සාමූහිකය (Women and Media Collective) ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් මෙම වාර්තාව සකස්කරන ලදී. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනි ගරු රෝහිණි කුමාරි විජේරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීහූ ද මෙම අවස්ථාවට එක්වූහ. මෙහිදී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මෙම වැටුප් අසමානතා වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය සහ නව ප්‍රතිපත්ති සකස් කිරීම වැදගත්වන බවයි. එසේම මෙම අයිතීන් තහවුරු වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රතිපාදන ඇතුළත්විය යුතු බවට මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සංසදයේ සභාපතිවරිය පෙන්වා දුන්නේ මෙම ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා සමාජයේ පුද්ගලයින් තුළ ආකල්පමය වෙනසක්ද සිදුවිය යුතු බවයි. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙම කාර්ය සාර්ථක කර ගැනීමට දායකත්වය දැක්වූ සැමට ස්තූතිය පුද කර සිටියාය. කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම මෙම පර්යේෂණ වාර්තාව පිළිබඳව අදහස් පළ කරමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොලේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය මූලිකවම වැටුප් නොලබන සත්කාර සේවා සමඟ සමීපව බැඳී ඇති බවයි. ඉහළ වැටුප් ලබන කර්මාන්තවල කාන්තා නියෝජනය අඩු වන අතර අඩු වැටුප් සහිත සේවා භූමිකාවන් වෙත කාන්තාවන් සංකේන්ද්‍රණය වී ඇති බවත් කාන්තාවන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අර්ධකාලීන රැකියා සහ වැටුප් රහිත ගෘහාශ්‍රිත සත්කාර සේවා වල නියැලෙන බවත් එම පර්යේෂකයින් අවධාරණය කරන ලදී. මේ අවස්ථාව සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය (Women and Media Collective), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.  






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks