E   |     |  

2023-10-30

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ළමා මන්ද පෝෂණය සම්බන්ධව රාජ්‍ය ආයතන ඉදිරිපත් කරන තිබෙන සංඛ්‍යාමය වාර්තා වලින් රටේ පවත්නා සැබෑ තත්ත්වය අනාවරණය වෙන්නේ නැහැ - පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වඩිවේල් සුරේෂ් මහතා මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පවසයි

  • පෝෂණ අවශ්‍යතා සහිත දරුවන් පිරිස නිවැරදිවම හඳුනාගෙන වාර්තාවක් ලබාදෙන්න - පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්.
  • වතුකරයේ ගර්භණි මවුවරුන්ගේ මානසික පීඩාවන් අලුත උපදින දරුවන්ගේ සෞඛ්‍යයට ඍජුවම බලපානවා - පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවසයි.

 

ශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේනම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වඩිවේල් සුරේෂ් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය අංශය නියෝජනය කරමින් රාජ්‍ය ආයතන ප්‍රධානීහු පිරිසක් සහභාගී වුහ.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා, ළමා මන්ද පෝෂණය සම්බන්ධව රාජ්‍ය ආයතන ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යාමය වාර්තා වලින් සැබෑ ලෙසම දිවයිනේ මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව අනාවරණය නොවන බව පෙන්වා දුන්නේය

ඒ අනුව ළමා මන්ද පෝෂණය සම්බන්ධව පවතින නිවැරදිම දත්ත අයවැයට පෙර කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ ඔස්සේ ළමා මන්ද පෝෂණය තුරන් කිරීම සම්බන්ධයෙන් පොදු යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවකාශය සැළසෙන බවත් කාරක සභාව නිලධාරීන්ට පෙන්වා දෙන ලදී.

එහිදී වැඩි දුරටත් කරුණු පහැදිළි කළ කාරක සභා සාමාජිකයින් ශ්‍රී ලංකාව තුල මන්ද පෝෂණය මෙන්ම අධි පෝෂණ තත්ත්වයන් සම්බන්ධයෙන්ද නිවැරදි දත්ත වල අවශ්‍යතාව පෙන්වා දුන්හ.

දිවයින පුරා ත්‍රිපෝෂ ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණි.  මේ වන විට වයස මාස 06ත් අවුරුදු 3ත් අතර දරුවන් සඳහා ත්‍රිපෝෂ නිකුත් කිරීම සිදු නොවන බවත් අවරුදු 3ත් 5ත් අතර දරුවන් සඳහා පමණක් ත්‍රිපෝෂ ලබාදීම කටයුතු කරන බව කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිලධාරීහු පැවසූහ. මාස 06ත් අවරුදු 3ත් අතර දරුවන් සඳහා ත්‍රිපෝෂ නිකුත් නොකිරීම පිළිබඳව කරුණු දැක්වූ එම සමාගමේ නිලධාරීහු, එම වයස් ඛාණ්ඩය සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී අදාළ නිර්ණායකයන්හි පවතින ගැටලුවක් හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදන සිදු නොකරන බව පැවසූහ. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය එම ගැටලුව නිරාකරණය කර දීමෙන් පසුව එම වයස් ඛාණ්ඩය සඳහාද ත්‍රිපෝෂ නිෂ්පාදනය කළ හැකි බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම බෙදා හරිනු ලබන ත්‍රිපෝෂ දුෂ්කර පළාත්වල අවශ්‍යතා සහිත පිරිසට නිවැරදි ආකාරයෙන් බෙදී යන්නේද යන්න නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. ඒ අනුව නිවැරදිවම පෝෂණ අවශ්‍යතා ඇති දරුවන් හඳුනාගෙන සහ  අවශ්‍යතා පවතින දරුවන්ටම මෙම ත්‍රිපෝෂ බෙදීයාම පිළිබදව අධීක්ෂණය සිදුකළ යුතු බවද  සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම වතුකරය ආශ්‍රිත දරුවන්ගේ හා ගර්භණි මවුවරුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම පිළිබඳවද කාරක සාභාවේදී සාකච්ජා විය. එමෙන්ම  වතුකරයේ යම් යම් ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල (MOH) වැසීයාම හේතුවෙන් වතු කම්කරු ශ්‍රමිකයින් දැඩි දුෂකරතාවන්ට මුහුණ දී තිබෙන බවද සභාපතිවරයා කරුණු දක්වමින් පෙන්වා දුන්නේය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෙකුට වතුකරයේ පවුල් 3000ක් පමණ ආවරණය කිරීමට සිදුව තිබීම හේතුවෙන් ප්‍රයෝගිකව කටයුතු කිරීමේ දුෂ්කරතා පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය. මෙරට වතුකර ශ්‍රමිකයින්ගෙන් 80% පමණ කාන්තාවන් බවත් ඔවුන් උදෑසනම තමන්ගේ රැකියාව සඳහා පිටත් වූ පසු බොහෝ දුරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අදාළ නිවාස වලට පැමිණෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. එනිසා ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් නොලැබී යාමේ ගැටලුව දැඩිව උද්ගත වී ඇති බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව එම ප්‍රයෝගික ගැටලුව සඳහා පිළියම් ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෙකුට උපරිම පවුල් 1500ක් පමණ ආවරණය කිරීමට හැකිවන ලෙස කටයුතු කිරීම තුලින් ඵලදායි සේවයක් ලබා ගත හැකි බව කාරක සභාව හමුවේ කරණු දක්වමින් නිලධාරීහූ පැවසුහ. වතුකරයේ ගර්භණි මාතාවන්ගේ මානසික පීඩාවන් අලුත උපදින දරුවන්ගේ සෞඛ්‍යට ඍජුව බලපෑම් ඇති කරන බව කාරක සභාව නිලධාරීන්ට පෙන්වා දෙන ලදී.

මෙරට ළමා මන්ද පෝෂණය හුදෙක් නිසි පරිදි අහාර නොලැබීම නිසාම මතුව තිබෙන තත්ත්වයක් පමණක්ම නොව වැරදි අහර රටාද ඒ සඳහා බලපා ඇති බව කාරක සභාව හමුවේ කරුණු දක්වමින් නිලධාරීහු පැවසූහ. මේ වනවිට පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන පෝෂණ ආහාර වේලක් සඳහා වෙන් අකර ඇති රුපියල් 60 ක මුදල වැඩි කර ගැනීමට හැකිනම් තවදුරටත් ලබාදෙන පෝෂණ ආහාර වේල වර්ධනය කරගත හැකි බව නිලධාරීහු පැවසූහ. එමෙන්ම මේ වනවිටත් වතුකරය සඳහාම වෙනම පෝෂණ අතිරේකයක් නිෂ්පාදනය කර  තිබෙන බවද ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් නිලධාරීහු පැවසූහ.

රාජ්‍ය නොවන සංවිධාන වලින් විවිධ ප්‍රදේශ වල දරුවන් උදෙසා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර එම වැඩසටහන් රජයේ අධික්ෂණය මත ක්‍රියාත්මක වීමේ වැදගත් කම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය. ළමා මන්ද පෝෂණය වැළක්වීම සඳහා රාජ්‍ය ආයතන රැසකින් විශාල ලෙස මුදල් වැයකරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන් කාරක සභාව එම වැඩසටහන් එක් රාජ්‍ය ආයතනයක් ඔස්සේ අවශ්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් සිදු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා කාරක සභා සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු ජගත් සමරවික්‍රම, ගරු උපුල් ගලප්පත්ති, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුජිත් සංජය පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

 

6 2

 



සම්බන්ධිත පුවත්

2025-11-18

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 12.11.2025 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී  අස්වැසුම  සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය  වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මෙහිදී  අස්වැසුම  සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායක පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.එම නිර්ණායක ඔස්සේ අදාළ ප්‍රතිලාභ ලබාදීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇති ආකාරය පිළිබඳව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22 ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම උදෙසා පමණක් පුද්ගලයින්ට ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති නමුත් විය යුත්තේ සමස්ථ රටේම පුද්ගලයින් ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියකට (Social Registry) ඇතුළත් කරගැනීම බව මෙහිදී කරුණු දක්වමින් කාරක සභාව පෙන්වා දෙන ලදී. එලෙස ලියාපදිංචි වූ පසු නිවැරදිවම ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න හඳුනාගත හැකි බවත් ඒ ඔස්සේ ඔවුන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කාරක සභාව පෙන්වා දෙන ලදී.එමෙන්ම වැඩිහිටියන්ට සහ අබාධිත ප්‍රජාවට අදාළ අස්වැසුම ප්‍රතිලාභ නිවසටම ගොස් ලබාදීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම දැනට අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණද ජාතික හැඳුනුම්පත නොමැතිකම හේතුවෙන් එම ප්‍රතිලාභ ලබාගත නොහැකිව යම්  පිරිසක්  සිටින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව හැකි ලෙස ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කරගනිමින් කටයුතු කිරීම මගින් අස්වැසුම ප්‍රතිලාභ දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ වැදගත්කමද කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (මහාචාර්ය) රුවන් රණසිංහ, නිශාන්ත ජයවීර යන මහත්වරුන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර, චතුර ගලප්පත්ති, තිළිණ සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. 


2025-11-17

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනු කාරක සභාවේදී සාකච්ඡා කරයි

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාල‍ාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.


2025-11-15

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් ‘කෝප්’ කමිටුවේ අවධානය

සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වෙයිවරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.  මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වට (කෝප්) කැඳවා  2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය.කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා 2021 නොවැම්බර් මස ආයතනයක් සමග රුපියල් මිලියන 40,273 ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අමාත්‍යමණ්ඩල අනුමතිය හිමිවී තිබූ බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 2021 දෙසැම්බර් මස මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර තිබූ අතර 2025 ජනවාරි 03 වැනි දින මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදවීම සිදු වූ අතර එම කාලසීම‍ාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම කටයුතු නිමකිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. මේ හේතුවෙන් දින 548 ක් ප්‍රමාදවීම සිදු වීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම සංවර්ධන කටයුතු ඉතා  කඩිනමින් සිදු කිරීමට කටයුතු කොට ඇති බවත් ඉක්මනින් මෙම කටයුතු අවසන් වනු ඇති බවත්ය.එසේම අධිකාරියේ සේවකයින්ගේ ආහාර වියදම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක  නොවී ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නිලධාරීන් පැවසුවේ මේ වන විට වියදම් අඩු කිරීමට කටයුතු කොට ඇති බවත් මිල අවම කර ගැනීම සඳහා තරඟකාරී ඩෙන්ඩර් ක්‍රමය හඳුන්වාදී ඇති බවත්ය.වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් බැහැර කිරීමට සහ අත්පත් කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි. මේ අනුව නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.එසේම සීදූව රද්දොලුව ක්‍රීඩා සමාජයේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ද, එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ ක්‍රීඩකයන් සේවකයන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.  මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ. 


2025-11-15

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා සකස් කළ අදහස් හා යෝජනා ඇතුළත් අතුරු වාර්තාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක්, ඒ සඳහා පත් කළ අනුකාරක සභාවේ සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ කරුණු පිළිබඳව මෙහිදී  සාකච්ඡා විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය. එසේම , රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත්වූ පුද්ගලයන්ට එම මන්ත්‍රීධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කර දීම පිළිබඳව ද මෙහිදී යෝජනා විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිය රජයේ රැකියාව අතහැර පැමිණෙන මන්ත්‍රීවරයෙකු හට, මන්ත්‍රී විශ්‍රාම වැටුප ද හිමි නොවන බැවින්  මේ සම්බන්ධයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව සිය අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන  බවත්  කාරක සභා සභාපතිවරයා  මෙහිදී පැවසීය.රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීම් පටිපාට සහ උසස් කිරීමේ පටිපාටි  වල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් ලකුණු සීමා වෙනස් කිරීම හේතුවෙන් රාජ්‍ය සේවය තුළ ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබෙන බවට මෙහිදී සාකච්ඡා විය. මේ ගැටලුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට කටයුතු කරන බවට අමාත්‍යංශ නිලධාරීන් පැවසීය.මෙම කාරක සභාව සඳහා ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks