පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-11-30
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
විශ්‍රාමික දීමනා, මානුෂික ව සළකා බලා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශ කරන ලදී. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.29 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, විශ්‍රාමිකයන්ගේ සංගම් නියෝජිතයන් ද, මේ රැස්වීම සඳහා කැඳවා තිබිණ.
දැනට සක්‍රීය විශ්‍රාමිකයන් ලක්ෂ 7 කට අධික ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව සිටින බව දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් මෙහිදී අනාවරණය වූ අතර, යම් පිරිසක් පරීක්ෂණ, මියයාම් යනාදී හේතු නිසා සක්‍රීය තත්ත්වයේ නොසිටින බවත් හෙළිවිය.
වසරකට විශ්‍රාමිකයන් 26000 ක් පමණ (සිවිල් 19000, ත්‍රිවිධ හමුදා 7000) සක්‍රීය තත්ත්වයට එකතු වන අතර, 20000 ක් පමණ මියයාම හේතුවෙන් විශ්‍රාමික ලැයිස්තුවෙන් ඉවත් වන බව මෙහිදී අනාවරණය විය. මසක් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහා රු. බිලියන 413 ක් පමණ වෙන් කර ඇති බවත්, අවු. 55 සම්පූර්ණ කොට විශ්‍රාම යන අය සඳහා ඉල්ලා සිටින පරිදි විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයක් පාරිතෝෂික ලෙස ගෙවන අතර, එය වසර 10 ක් ඇතුළත විශ්‍රාම වැටුපෙන් අඩු කර ගන්නා බවත් වාර්තා විය.
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයෙන් සිදුවන කාර්යභාරය වන්නේ අවු. 70 ට වැඩි අඩු ආදායම් ලාභී, මසක ආදායම රු. 6000ට අඩු පුද්ගලයන් වෙත මාසිකව රු. 2000 ක දීමනාවක් ලබා දීම වන අතර, ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය මත දැනට 733204 කට වැඩිහිටි දීමනාව ගෙවන බව ද මෙහිදී එම ආයතනයේ නිලධාරීහු පැවසූහ. වර්ෂයකට සාමාන්‍යයක් ලෙස වැඩිහිටි දීමනාව ගෙවන ලැයිස්තුවට එකතු වන පිරිස කොපමණක් ද, මියයාම නිසා ඉවත් වන පිරිස කොපමණක් ද, හා පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටි සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳ සංඛ්‍යාලේඛණ කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
2016.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන් සඳහා සිදු කරන ලද වැටුප් වැඩි වීම 2020.01.01 දක්වා අදියර 5ක් යටතේ ක්‍රියාත්මක වූ බවත්, 2020.01.01 දිනෙන් පසු විශ්‍රාම ලැබූ අයට එම වැටුප් වැඩි වීම අනුව ගලපන ලද සම්පූර්ණ විශ්‍රාම වැටුප ලැබීම හේතුවෙන් 2017 ට පෙර විශ්‍රාම ලැබූ අය හා 2020න් පසු විශ්‍රාම ලැබූ අය අතර විශාල විශ්‍රාම වැටුප් විෂමතාවයක් ඇති වී ඇති බවත් මෙහිදී සාකච්ඡා විය. 2020.01.01 දිනට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වර්ධකය අත්හිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයද ඊට හේතු වු බවත් ඊට අමතරව ගුරු විදුහල්පතිවරුන් සඳහා 2021 දී සිදු වූ වැටුප් වැඩි වීම හේතුවෙන් 2017/01/01 ට පෙර විශ්‍රාම ලැබු පිරිසට දැඩි විශ්‍රාම වැටුප් විෂමතාවයක් උද්ගත වී ඇති බවත්, මෙහිදී සඳහන් විය. එමෙන්ම, රාජ්‍ය සේවකයන්ට 2024/01/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රු.10,000ක වැටුප් වැඩි වීමක් ලබා දුන්නද විශ්‍රාමිකයන්ගේ දීමනාව වැඩි කර ඇත්තේ රු.2500/ක් පමණක් බවත්, වැටුප් වැඩිවීම හා සලකා බලන විට විශ්‍රාම වැටුප් වැඩි වී ඇත්තේ 25%ක ප්‍රමාණයකින් බවත් එම වැඩිවීම ජීවන වියදම වැඩි වීම හමුවේ කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් විශ්‍රාමිකයෝ කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ. විශ්‍රාමික දීමනා, මානුෂික ව සළකා බලා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙස සභාපතිවරයා නිර්දේශ කළේය.
අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගිය අයට හිමිවන අතර, එම දිනට පෙර විශ්‍රාම ගිය අයට ද, එම ප්‍රතිලාභ ලැබෙන ආකාරයකින් රක්ෂණ ක්‍රමය පුළුල් කළ යුතු අතර, එමගින් රෝහල්ගත වීම් දීමනා, සැත්කම් දීමනා, මරණ පාරිතෝශික දීමනා යනාදිය අදාළ දිනට පෙර විශ්‍රාම ගිය අය සඳහා ද ලබාදීමේ අවශ්‍යතාව විශ්‍රාමිකයන්ගේ පාර්ශවයෙන් අවධාරණය කෙරිණ. අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ 2016.01.01 දිනට පෙර විශ්‍රාම ලැබූවන් සඳහා ද ලබා දීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.
විශ්‍රාමිකයන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ බලයලත් නියෝජිතයෙකු පත් කරන ලෙසත් සහ විශ්‍රාමික සංගම් නියෝජිතයන් හා එම බලයලත් නිලධාරියා අතර මූලික සාකච්ඡාව දෙසැම්බර් 15 වෙනි දින උදේ 9.00ට පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන ලෙස ද, කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වැඩිහිටි දීමනාව ලබා ගන්නා අය ද, ආබාධිත පුද්ගලයන්ද සමාජීය ප්‍රතිලාභ ලැබිය යුතු අයගේ ලැයිස්තුවට (Social Registry) ඇතුළත් කළ යුතු බවත්, විශ්‍රාම වැටුප් ගෙවීමට සැළකිය යුතු බලපෑමක් සිදුවන බැවින් විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මරණ ඉක්මණින් යාවත්කාලීන කළ හැකි ඩිජිටල් ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ද, මෙහිදී අවධාරණය කෙරිණ.
මෙම කාරක සභා රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන් ද එක්ව සිටියහ.
2025-11-19
සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) හා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුනනේ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන 4ක් එකතු වන බව පෙන්වා දුන්නේය. මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා කාරක සභාවේ අනුමතිය හිමි විය.එසේම ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම සිදු වන අතර මේ මගින් දළ එකතුව මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා පනවා ඇති කැසිනෝ ඇතුළුවීමේ බද්ද එක්සත් ජනපද ඩොලර් 50ක සිට 100 දක්වා ඉහළ නැංවීම සිදු වනු ඇත. මේ අනුව මේ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ අනුමතිය හිමි විය.තවද 2004 අංක 11 දරන මුදල් පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයක් සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි විය. මේ මගින් ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බදු ගෙවීමේ වලංගු කාලසීමාව දීර්ඝ කිරීම සිදු වේ. මීට අමතරව (52 වන අධිකාරිය වූ) සුරාබදු ආඥා පනතේ 25 වන වගන්තිය සමග කියවිය යුතු 32වන වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පවනා ඇති රීති සම්බන්ධයෙන්ද කාරක සභාව සලකා බලන ලද අතර කෙසේ වුවද ඒ සඳහා කරක සභාවේ අනුමතිය හිමි නොවීය. කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ සුදුසු විශ්ලේෂණයක් කාරක සභාවට ලබාදෙන ලෙසත් ඉන් අනතුරුව ඉදිරියේදී මෙය සලකා බලීම සිදු කරනු ලබන බවත්ය.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-11-18
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 12.11.2025 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මෙහිදී අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායක පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.එම නිර්ණායක ඔස්සේ අදාළ ප්‍රතිලාභ ලබාදීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇති ආකාරය පිළිබඳව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22 ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම උදෙසා පමණක් පුද්ගලයින්ට ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති නමුත් විය යුත්තේ සමස්ථ රටේම පුද්ගලයින් ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියකට (Social Registry) ඇතුළත් කරගැනීම බව මෙහිදී කරුණු දක්වමින් කාරක සභාව පෙන්වා දෙන ලදී. එලෙස ලියාපදිංචි වූ පසු නිවැරදිවම ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න හඳුනාගත හැකි බවත් ඒ ඔස්සේ ඔවුන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කාරක සභාව පෙන්වා දෙන ලදී.එමෙන්ම වැඩිහිටියන්ට සහ අබාධිත ප්‍රජාවට අදාළ අස්වැසුම ප්‍රතිලාභ නිවසටම ගොස් ලබාදීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම දැනට අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණද ජාතික හැඳුනුම්පත නොමැතිකම හේතුවෙන් එම ප්‍රතිලාභ ලබාගත නොහැකිව යම් පිරිසක් සිටින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව හැකි ලෙස ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කරගනිමින් කටයුතු කිරීම මගින් අස්වැසුම ප්‍රතිලාභ දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ වැදගත්කමද කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (මහාචාර්ය) රුවන් රණසිංහ, නිශාන්ත ජයවීර යන මහත්වරුන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර, චතුර ගලප්පත්ති, තිළිණ සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2025-11-17
ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.
2025-11-15
සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වෙයිවරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවා 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය.කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා 2021 නොවැම්බර් මස ආයතනයක් සමග රුපියල් මිලියන 40,273 ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අමාත්‍යමණ්ඩල අනුමතිය හිමිවී තිබූ බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 2021 දෙසැම්බර් මස මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර තිබූ අතර 2025 ජනවාරි 03 වැනි දින මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදවීම සිදු වූ අතර එම කාලසීමාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම කටයුතු නිමකිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. මේ හේතුවෙන් දින 548 ක් ප්‍රමාදවීම සිදු වීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම සංවර්ධන කටයුතු ඉතා කඩිනමින් සිදු කිරීමට කටයුතු කොට ඇති බවත් ඉක්මනින් මෙම කටයුතු අවසන් වනු ඇති බවත්ය.එසේම අධිකාරියේ සේවකයින්ගේ ආහාර වියදම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොවී ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නිලධාරීන් පැවසුවේ මේ වන විට වියදම් අඩු කිරීමට කටයුතු කොට ඇති බවත් මිල අවම කර ගැනීම සඳහා තරඟකාරී ඩෙන්ඩර් ක්‍රමය හඳුන්වාදී ඇති බවත්ය.වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් බැහැර කිරීමට සහ අත්පත් කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි. මේ අනුව නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.එසේම සීදූව රද්දොලුව ක්‍රීඩා සමාජයේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ද, එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ ක්‍රීඩකයන් සේවකයන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

