E   |     |  

2024-01-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මාතර නගරයේ පානීය ජලය සහ ගංවතුර ගැටළුව සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ අවධානය

  • අදාළ සියළු ආයතන එක්ව නිල්වලා ගංවතුර ගැන සැලසුම් සහගත අධ්‍යයනයක් සිදු කර එළඹෙන අප්‍රේල් මාසයට පෙර මින් ඉදිරියට ගංවතුර තත්ත්වයන් ඇති වීම වැලැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් උපදෙස්
  • පසුගිය වසරේ සිදුවූ වගා හානිය ගැන වාර්තාවක් ද ඉල්ලයි.
  • ගංවතුර හේතුවෙන් කන්න නවයක වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දෙන ලෙසට නිර්දේශ
  • වැලි බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කර, ඇලවේලිවල පවතින අවහිරතා ඉවත් කර ඒවා පිළිසකර කරන ලෙසට උපදෙස්
  • අනාගත ජල අවශ්‍යතා සළකා බලා පැවැති පැරණි ජලාශ 5 නැවත පණ ගැන්වීමේ හැකියාව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසත් උපදෙස්

 

සීඝ්‍රයෙන් නාගරිකරණය වන, උපාය මාර්ගික නගරයක් ලෙස වර්ධනය වන මාතර නගරයේ පානීය ජලය සහ ගංවතුර ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කොට මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය, ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා අනෙකුත් අදාළ ආයතන එක්ව ලෝක බැංකු ව්‍යාපෘතියෙහි දිගුවක් ලෙස සැලසුම් සහගත අධ්‍යයනයක් සිදු කොට වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (ජන. 24) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ සාකච්ඡාව සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්‍යාංශය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, දකුණු පලාත් ජල සම්පාදන මණ්ඩලය, යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික් ලේකම්වරයා, අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශේෂඥයන් කැඳවා තිබුණි.

2023 වසරේ ඇති වූ නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය නිල්වලා නිම්නයේ ස්වභාවික තත්ත්වයක් ද, නොඑසේ නම්  ඇති කරන ලද ලවණ බාධකය නිසා සිදුවූ තත්ත්වයක් ද යන්න මෙහිදී සභාපතිවරයා විසින් විමසන ලදී. එහිදී අනාවරණය වූ කරුණු අනුව ජනතාවගේ ජල පහසුව පිණිස ඇති කරන ලද ලවණ බාධකය ද, මෙම ගංවතුර තත්ත්වය සඳහා සෘජුව බලපෑ සාධකයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ගංවතුර හේතුවෙන් පසුගිය වසරේ සිදු වූ වගා හානිය සම්බන්ධයෙන් මාසයක් ඇතුලත ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙස සභාපතිවරයා මාතර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

ලවණ බාධකයට අමතරව අයහපත් කාළගුණ තත්ත්වය මත ඇති වූ දැඩි වර්ෂාපතනය, නිල්වලා ද්‍රෝණියේ රොන් මඩ තැන්පත් වීම, පැරණි ලවන බාධකය ඉවත් නොකිරීම හරහා බාධක දෙකක් ඇති වීම හා වැලි බාධක ඉවත් නොකිරීමද මෙම ගංවතුර තත්ත්වය සඳහා බලපා තිබෙන බව මෙහිදී අනාවරණය විය. ඇල මාර්ගවල රොන් මඩ ඉවත් කිරීම සහ නඩත්තු කිරීම සඳහා මුදල් සහ උපකරණ හිඟය හේතුවෙන් එම නඩත්තු කටයුතු නිසි ලෙස සිදු වී නොමැති බව ද හෙළි විය. එමෙන්ම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී සකසන ලද විකල්ප තාවකාලික මාර්ග තවමත් ඉවත් කර නොමැති අතර, එය ද ගංවතුර තත්ත්වය සඳහා බලපා ඇති බව මෙහිදී අනාවරණය විය.

ජනතාවට දැඩි ලෙස බලපා ඇති මෙම සමාජ ප්‍රශ්නය ගැන ජනතාව නගන චෝදනා සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී කාරක සභා සභාපතිවරයා ප්‍රශ්න කළ අතර, එහිදී හෙළිදරව් වූයේ මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුවත්ව සිටින බවත්, වැලි බාධකය ලවන බාධකයටත් වඩා මෙම ගංවතුර තත්ත්වයට බලපා ඇති බවත් ය. එමෙන්ම නිල්වලා ආරක්ෂිත ප්‍රදේශයේ වැසි ජලය ගඟට මුදාහරින පොම්පාගාර සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොවීමේ ගැටළුවක් පැවති බවත් මෙහිදී  අනාවරණය විය.එම පොම්පාගාර මාරු කිරීමක් 1989 වැනි කාලයක සිට මේ දක්වා සිදු කර නොමැති අතර, 2010 දී පමණ නඩත්තු කිරීමක් පමණක් සිදු කර ඇති බවද අනාවරණය විය. පැවති තත්ත්වය සම්බන්ධයෙන් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයන්ගේ නිර්දේශ සහ මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන මණ්ඩලය ක්‍රියා කර නොමැති බව ද මෙහිදී හෙළි විය.

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්‍යාංශය සහ අදාළ ආයතන එක්ව වැලි බාධකය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත්, අධිවේගී මාර්ගය සහ වෙනත් සංවර්ධන කටයුතු නිසා ඇති වූ අවහිරතා ඉවත්  කිරීමට හා නිල්වලා ගංගාවේ කැනීම් සිදු කිරීමට වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර අප්‍රේල් මාසයට පෙර වාර්තාවක් ලබා දෙන ලෙසත්, අනාගත ජල අවශ්‍යතා සළකා බලා, පැවැති පැරණි ජලාශ 5 නැවත පණ ගැන්වීමේ හැකියාව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසත්, කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න හා ශෂීන්ද්‍ර රාජපක්ෂ හා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, බුද්ධික පතිරණ, කරුණදාස කොඩිතුවක්කු හා වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ද එක්ව සිටියහ.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2024-09-20

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 18) රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව, කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී. රත්නායක මහතාගේ පත් කිරීම කිරීම, උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  සලකා බලා  අනුමත කර ඇත.කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වෛද්‍ය ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ,  ගරු උදය ගම්මන්පිල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 


2024-09-09

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සැප්තැම්බර් 04 වැනිදා එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු වඩිවේල් සුරේෂ් මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය  විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අඩු බර, මිටිභාවය, කෘෂභාවය, සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම - වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. ග්‍රෑම් 2500 ක් හෝ ඊට අඩු උපත් බරක් සහිතව උපදින දරුවන් අඩු උපත් බරක් ඇති දරුවන් ලෙස සැලකෙන අතර 2022 දී සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයට අනුව, ජාතික වශයෙන් නියෝජනය වන නියැදියක් මගින් අඩු උපත් බර ව්‍යාප්තිය 15.9%ක අගයක පැවති බව මෙම වාර්තාවෙන් පෙන්වාදී ඇති අතර 2023 ජූනි පෝෂණ මස තක්සේරුවෙන් හඳුනාගෙන ඇත්තේ 2022 වසරට සාපේක්ෂව ළදරුවන් සහ අවුරුදු දෙක දක්වා වන ළමුන් අතර අඩු බර සහ මිටිභාවය වැඩි වී ඇති බවයි. වඩාත්ම තැති ගන්වන සුළු ඉහළම අඩු බර අනුපාතය වූ 24.6% නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ඒ අනුව සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මධ්‍යස්ථ හෝ දැඩි ලෙස අඩු බර සහිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති බව මෙම වාර්තාවේ සඳහන් වන්නේ. 2023 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ කෘෂභාවයට ලක් වූ දරුවන්ගේ අනුපාතය 10% ක් ලෙස මෙම වාර්තාවේ දැක්වෙන අතර අවුරුදු 5 ට අඩු සියලුම දරුවන්ගෙන් 1.2% ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති අතර සංඛ්‍යාත්මකව ළමුන් 16,000 කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳ ඇත. 2023 පෝෂණ මාසයේ වාර්තාව මගින් වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටි බව 10.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පෙර වසරට වඩා 9.2% ක වැඩිවීමක් බව අනාවරණය වී ඇත. සම වයසේ දරුවන් හා සැසඳීමේ දී දක්නට ලැබෙන මිටිවීම හෝ උස අඩු වීම, නිදන්තගත මන්දපෝෂණය හේතුවන් කාලයක් පුරා සිදුවන බව හඳුනාගෙන ඇතැයි වාර්තාව මගින් අනාවරණය කර තිබේ. මේ අතර 2022 දී සිදු කරන සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 5-18 අතර ළමුන්ගේ ජාතික වශයෙන් නියෝජනීය නියැදියක දී වයසත් සමග මිටි භාවය, අධික බර සහ තරබාරුකම වැඩි වන බව අනාවරණය වී ඇත. ගෘහස්ථ මට්ටමින් ආහාර සුරක්ෂිතතාව නිසි පරිදි නොපැවතීම ද මන්දපෝෂණ තත්ත්වය ඇතිවීමට බලපා ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. 2022 වර්ෂයේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් සමස්ත ජනගහනයෙන් 98% ක් ආහාර මිල ඉහළ යාම නිසා පීඩාවට පත් වී ඇති අතර ඒ හේතුවෙන් එම වර්ෂයේ අවසාන මාස හය තුළදී අධ්‍යයනය කරන ලද කුටුම්බ වලින් 74% ක ප්‍රමාණයකට ආහාර හෝ දෛනික අත්‍යවශ්‍ය ද්‍රවය මිලදී ගැනීමට හැකියාව නොතිබූ බවයි වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. ආහාර අනාරක්ෂිත කුටුම්බ ප්‍රමාණය 2023 මාර්තු මාසයේ පැවති 17% ක ප්‍රමාණයට සාපේක්ෂව 2023 වර්ෂයේ තුන්වන කාර්තුවේදී 24% ක් දක්වා ඉහළ ගොස් ඇත. සමස්ත පවුල් වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩු කර හෝ ඔවුන්ගේ පරිභෝජනය සීමා කර ඇති අතර හතරෙන් එකක් අසල්වැසියන්ගෙන් ලැබෙන අහාර මත ජීවත් වෙන බවද මෙහි දක්වා තිබේ. ළමුන්ගේ පෝෂණය වැඩි දියුණු කිරීම සඳහා නිගමන හා නිර්දේශ මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත. එහිදී දරුවන් නිදන්ගත මන්දපෝෂණයට පත්වීමට පෙර එම ළමුන් කෙරෙහි ක්ෂණික අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත. තවද මාතෘ හා ළමා සෞඛ්‍ය (MCH) වැඩසටහන් සඳහා ගුණාත්මක මාතෘ හා ළමා පෝෂණ (MCN) සේවාවන් සැපයීම සඳහා ප්‍රමාණවත් පරිදි නිපුණතාවය සහිත ක්ෂේත්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පැවතීමේ අවශ්‍යතාවයද වාර්තාව මගින් අවධාරණය කර තිබේ. පාසල් ළමුන් සඳහා විටමින් A අතිරේකය සැපයීම නවතා දමා ඇති බැවින් මෙය නැවත ගැටලුවක් බවට පත්වීමට ප්‍රථම විටමින් A අතිරේකය නැවත ලබාදීම පිළිබඳව සලකා බැලිය යුතු බව ද මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇත. වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින පවුල්වල ආහාර සුරක්ෂිතතා තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයද පෙන්වා දී ඇත. මන්දපෝෂණය විසඳීම සඳහා වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් සහ හේතු සාධක හඳුනාගැනීම සඳහා ළමුන් තුළ මන්දපෝෂණයේ කේන්ද්‍රීය ස්ථාන හඳුනා ගැනීම සහ අවදානම් සිතියම ගත කිරීම සඳහා දැනට පවතින සෞඛ්‍ය කළමනාකරණ තොරතුරු පද්ධති භාවිතා කිරීමටද මෙම වාර්තාවෙන් නිදේශ ලබා දී ඇත. ගැබිනි මවුවරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට බාධාවකින් තොරව පෝෂණ අතිරේක සැපයීම, සෞඛ්‍ය සම්පන්න හා අඩු වියදම් ආහාර වේලක් සඳහා දැරිය හැකි මිලකට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා එම ද්‍රව්‍ය වල මිල පාලනය කිරීම, ගුණාත්මක ආහාර සැපයීම සඳහා පෙර පාසල් ආහාර වැඩසටහන, පාසල් ආහාර වැඩසටහන සහ පාසල් ආපනශාලා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම හා ඒවා අධීක්ෂණය කිරීම ඇතුළු කෙටි, මධ්‍ය හා දිගු කාලීන නිර්දේශ රැසක් මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත.  


2024-09-06

2024 යල කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වැන්නෙහි අස්වනු සමීක්ෂණ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිරීක්ෂණ චාරිකාවක

පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වනු සමීක්ෂණය කිරීමේ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය අගෝස්තු 28 වැනිදා ගම්පහ (මිනුවන්ගොඩ) ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. පරිසර හිතකාමී පොහොර මෙරට කෘෂිකර්මාන්තයට සාර්ථකව හඳුන්වාදීම කාරක සභාවේ ප්‍රධාන අරමුණ වූ අතර එම පොහොර නිෂ්පාදන ප්‍රධාන වී වගා කරන ප්‍රදේශයේ පරීක්ෂාවට ලක් කළ යුතු බවට මෙම කාරක සභාවේදී තීරණය විය. 2023/2024 මහ කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිත කරමින් වැලිකන්ද සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල වී යාය ආදර්ශන වල සාර්ථක ප්‍රතිපළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම කාරක සභාවේ සභාපති ගරු ඩී. වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ 2024 යල කන්නයේදී පළාත් 7ක සහ බී, සී  සහ එච් යන මහවැලි කලාපවල පරිසර හිතකාමී පොහොර භාවිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. ඒ අනුව මෙම නිරීක්ෂණ චාරිකාව සිදු විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නිලධාරීන් සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ සහ පුහුණු ආයතනය, කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා සහභාගී විය. ඉහත වැඩසටහන යටතේ බස්නාහිර පළාතට අදාළ වැඩසටහන බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි අධීක්ෂණය යටතේ පවත්වන ලද අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් අස්වනු සමීක්ෂණය සිදු කරන ලදී. වැඩසටහනේ සමස්ත සම්බන්ධීකරණය ජාතික මූලික අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලදී.  


2024-08-22

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ වාර්තාව කථානායකවරයාට පිළිගන්වයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් 2024.08.08 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාට පිළිගන්වන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් යුතුව කාන්තාව හා මාධ්‍ය සාමූහිකය (Women and Media Collective) ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් මෙම වාර්තාව සකස්කරන ලදී. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනි ගරු රෝහිණි කුමාරි විජේරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීහූ ද මෙම අවස්ථාවට එක්වූහ. මෙහිදී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මෙම වැටුප් අසමානතා වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය සහ නව ප්‍රතිපත්ති සකස් කිරීම වැදගත්වන බවයි. එසේම මෙම අයිතීන් තහවුරු වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රතිපාදන ඇතුළත්විය යුතු බවට මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සංසදයේ සභාපතිවරිය පෙන්වා දුන්නේ මෙම ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා සමාජයේ පුද්ගලයින් තුළ ආකල්පමය වෙනසක්ද සිදුවිය යුතු බවයි. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙම කාර්ය සාර්ථක කර ගැනීමට දායකත්වය දැක්වූ සැමට ස්තූතිය පුද කර සිටියාය. කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම මෙම පර්යේෂණ වාර්තාව පිළිබඳව අදහස් පළ කරමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොලේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය මූලිකවම වැටුප් නොලබන සත්කාර සේවා සමඟ සමීපව බැඳී ඇති බවයි. ඉහළ වැටුප් ලබන කර්මාන්තවල කාන්තා නියෝජනය අඩු වන අතර අඩු වැටුප් සහිත සේවා භූමිකාවන් වෙත කාන්තාවන් සංකේන්ද්‍රණය වී ඇති බවත් කාන්තාවන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අර්ධකාලීන රැකියා සහ වැටුප් රහිත ගෘහාශ්‍රිත සත්කාර සේවා වල නියැලෙන බවත් එම පර්යේෂකයින් අවධාරණය කරන ලදී. මේ අවස්ථාව සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය (Women and Media Collective), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.  






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks