E   |     |  

2024-02-27

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

වාලච්චේන කඩදාසි කම්හල වැසීයාමට ඉඩ නොදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලිය යුතුයි - ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පෙන්වා දෙයි

  • සාමාන්‍යයෙන් දියුණු රටක සමස්ත භූමියෙන්  කර්මාන්ත සදහා වෙන්ව ඇති ප්‍රමාණය සියයට 3ක අගයක් වුවද මෙරට එම අගය සියයට 0.04 ක් පමණක් බවත් අනාවරණය වෙයි
  • දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතිය සමග ඉඩම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරන ලෙස නිර්දේශ ගණනාවක් ලබා දුන්නද මේ වන තෙක් එය ඉටුකර නොතිබීම පිළිබඳව  අප්‍රසාදය 

 

වාලච්චේන කඩදාසි කම්හල වැසී යාමේ තත්ත්වයකට ඉඩ නොතබා  රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අදාළ අමාත්‍යවරුන්ට සහ ගරු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන  බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා පැවසීය.

ජාතික කඩදාසි සමාගමේ 2013, 2014 සහ 2015 වසරවලට අදාළ වාර්ෂික වාර්තා පසුගියදා (පෙබ. 20) ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සැලකිල්ලට ගත් අවස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේබව පැවසීය.

වාලච්චේන කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර 1956 වසරේ ගෙන්වන ලද ඒවා  බැවින් මෙහි අලුත්වැඩියාවන් සදහා ඇ.ඩොලර් මිලියන 1.2ක් අවශ්‍ය බවත් භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන නොලැබුණු බැවින් මෙය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද එම භූමිය සංචාරක ව්‍යාපාරය සදහා වෙන් කරන ලද බැවින් ඒ සදහා අනුමතිය නොලැබුණ බවද කර්මාන්ත අමාත්‍යාංශයේ ලෙකම් තිලකා  ජයසුන්දර මහත්මිය මෙහිදී පැවසුවාය.

ඇ.ඩොලර් මිලියන 1.2ක් වියදම් කොට කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර අලුත්වැඩියාව සිදු කරන්නේ නම් දිනකට ටොන් 5 බැගින් නිෂ්පාදනය සිදුකොට මාසයකට රු. මිලියන 22ක ලාභයක් ලැබිය හැකි බවද මෙහිදී අනාවරණය විය. අක්කර 340 ක වපසරිය පැතිරී ඇති මෙම සම්පූර්ණ භූමිය සංචාරක කලාපයක් සදහා නොගෙන ඉන් කොටසක් පමණක් ඒ සදහා සලකා බැලීමේ හැකියාව ඇති බවද මෙහිදී සාකච්ඡා විය. වාලච්චේන කඩදාසි කම්හල වැසෙන තත්ත්වයට පත්වුවහොත් විකිණීම වෙනුවට රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම වැදගත් බැවින් ඒ සදහා කාරක සභාවේ නිර්දේශය මුදල් සහ කර්මාන්ත අමාත්‍යාංශවලටත් ගරු ජනාධිපතිවරයාටත් යොමු කරන බව  කාරක සභා සභාපතිවරයා පැවසීය.

එසේම සංචාරක කර්මාන්තය මතම යැපිම වෙනුවට  රටේ කර්මාන්ත දියුණු කරමින් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් නිෂ්පාදන අංශයේ දායකත්වය 15%ක් පමණක් බවත් දියුණු රටක මෙම අගය 30%ක අගයක් බවත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරිය පෙන්වා දුන්නාය. මෙරට සමස්ත භූමියෙන් කර්මාන්ත සදහා වෙන්ව ඇති භූමි ප්‍රමාණය සියයට 0.04ක් බවත් එය සාමාන්‍යයෙන් දියුණු රටක සියයට 3ක අගයක් ගන්නා බවත් ඇය පැවසුවාය.

එසේම සම්භාණ්ඩ කර්මාන්තය සදහා විශේෂිත කලාපයක් නොමැති වීමේ ගැටලුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍ර ද්විත්වයේම දියුණුව සැලකිල්ලට ගෙන සැලසුම් සකස් කළයුතු බව පෙන්වා දුන්නේය.

එසේම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාව සැලකිල්ලට ගනිමින්, මෙරට බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද මෙහිදී කාරක සභා සභාපතිවරයා අවධානය යොමු කළේය. විශාල ආදායම් සහිත පුද්ගලයන් බදු දැලෙන් රිංගා යාමත් අඩු ආදායම් සහිත ජනතාවගෙන් බදු එකතු කිරීමත් අනුමත කළ නොහැකි බව කාරක සභාව පෙන්වා දුන් අතර බදු ප්‍රතිපත්තිය පිළිබඳ මීට වඩා පුලුල් අධ්‍යයනයක් සිදු කොට අදාළ යාන්ත්‍රණය විධිමත් කරන ලෙසද උපදෙස් දෙන ලදී.  දේශීය ආදායම් පනත සංශෝධන විය යුතු බවත් ඒ සදහා මුදල් අමාත්‍යාංශය ඇතුළු නිලධාරීන් මූලිකත්වය ගත යුතු බවත් කාරක සභා විසින් අවධාරණය කරන ලදී.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතිය සමග ඉඩම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරන ලෙස නිර්දේශ ගණනාවක් ලබා දුන්නද මේවන තෙක් එය ඉටුකර නොතිබීම පිළිබඳව  කාරක සභා සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කළේය.  එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තාවකාලික වැට් අංකය ලබා දීම නිසා රජයට විශාල බදුමුදලක් අහිමි වන බව ද ඒ මහතා පැවසීය.

මීට අමතරව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාව, HDFC බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව, වෙළද අමාත්‍යාංශයේ 2022 කාර්ය සාධන වාර්තාව, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ 2021 වසර සදහා වාර්ෂික වාර්තාව, සමූපාකාර සේවක කොමිසමේ 2022 කාර්ය සාධන වාර්තාව, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාව සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ 2021 වසර සදහා වාර්ෂික වාර්තාව සළකා බැලීමද මෙහිදී සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ඉරාන් වික්‍රමරත්න සහ ගරු මධුර විතානගේ යන මහත්වරුද අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක්ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

10 11



සම්බන්ධිත පුවත්

2025-09-15

මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම පිළිබඳ ‘කෝප්’ කමිටුවේ අවධානය

මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් ගත යුතු නිර්දේශ නිකුත් කිරීම සිදු විය.  මෙම නිර්දේශ නිකුත් කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 10 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මාගම්පුර වරාය කළමනාකරණ සමාගම 2013 ජූලි 05 වන දින සංස්ථාපනය කර තිබූ බවත් එම සමාගම විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් බලපත්‍රයක් මගින් හම්බන්තොට වරායේ ඉන්ධන සැපයුම්කරුවෙකු ලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් 2014 වර්ෂයේදී පෞද්ගලික බැංකුවකින් වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයක් (Corporate Guarantee) මගින් ඩොලර් මිලියන 24ක ණයක් ලබාගෙන තිබූ බවත් මෙහිදී අනාවරණය විය. නමුත් මෙම මුදලෙන් ඩොලර් මිලියන 18.82ක් (රු. මිලියන 6836) ක් 2023 දෙසැම්බර් වන විටත් පියවා නොතිබූ බවත් මෙම ණය මුදල අයකරගැනීම සඳහා අදාළ බැංකුව විසින් 2019 වර්ෂයේදී පරිපාලිත සමාගමට සහ අධිකාරියට විරුද්ධව නඩු දෙකක් පවරා ඇති බවත් මෙහිදී අනාවරණය විය. පැමිණි නිලධාරීන් මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මේ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂන කොම්ෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් ඊට අදාළ පරීක්ෂණය සිදු වෙමින් පවතින බවත්ය. එසේම 2022 ජුනි මස සිට ඈවරකරුවෙකු පත් කර මාගම්පුර වරාය කළමනාකරණ සමාගම ඈවර කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවත්ය. මේ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝව කාරක සභාව විසින් සාකච්ඡා කරන ලද අතර එහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිය වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවයි. එසේම සමාගම ඈවර කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වා දුන් කාරක සභාව ණය ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට නිර්දේශ කරන ලදි. එසේම මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර ඊට අදාළ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ අභ්‍යන්තර විගණන අංශය නිවැරදිව අධීක්ෂණයට ලක් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි. මේ අනුව මෙම සියලු කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද නිර්දේශ කරන ලදි.මීට අමතරව අධිකාරියේ සංයුක්ත සැලැස්ම පිළිබඳවද මෙහිදී කමිටුවේ අවධානය යොමු විය.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන දයාසිරි ජයසේකර, ඩී.වී.චානක, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, දිලිත් ජයවීර, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.


2025-09-12

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (සැප්. 11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍යමය ස්වාධීනත්වයක් පවතින බවත් එම ආයතන මෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවටත් වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මූල්‍ය ස්වාධීනත්වයක් ලබාදීම වැදගත් බවයි. එමගින් පවතින දේශපාලන අධිකාරියෙන් බැහැරව ඕනෑම රජයක් යටතේ වඩාත් ස්වාධීනව කටයුතු කිරීමට එම ආයතන වලට හැකි බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය. මේ නිසා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වන ගරු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කාරක සභාව තීරණය කිරීමද මෙහිදී සිදු විය.එසේම කොමිෂන් සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සහ කමිටු සාමාජිකයින්ගේ පාරිශ්‍රමිකය අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පාරිශ්‍රමිකයට අනුරූප සකස් විය යුතු බවට මෙම කාරක සභාව පෙන්වා දුන් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පවසන ලදි. ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පාරිශ්‍රමිකය සංශෝධනය වන ආකාරයෙන් මෙම නිලධාරීන්ගේ පාරිශ්‍රමිකය ද සංශෝධනය විය යුතු බව කාරක සභාවේ සභාපතිරයා පෙන්වා දුන් අතර ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවද හෙතෙම පැවසීය.   මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, නිමල් පලිහේන, තිළින සමරකෝන් සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.


2025-09-12

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපති ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා තේරී පත්වෙයි

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා)  අභිනව සභාපතිවරයා ලෙස  ගරු පාර්ලිමේන්තු කබීර් හෂීම්  මහතා තේරී පත්විය. ඒ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස  කටයුතු කළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා 2025.08.06 දින ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව අද (සැප්. 12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.සභාපතිධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කරන ලදී.අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා, දේශපාලන මතවාදවලින් තොරව  මධ්‍යස්ථව  කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන්  සිය ධුරයේ කටයුතු  කිරීමට අපේක්ෂා කරන බව  පැවසුවේය.  එමෙන්ම  කාරක සභාවේ හිටපු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා සිදුකළ කාර්ය භාරය විශේෂයෙන් අගය කළ අතර ඔහු කළ කාර්ය භාරය  ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බවද  අභිනව සභාපතිවරයා  ප්‍රකාශ කළේය. තවද  නව සැළසුම්  සකස් කොට කෝපා කමිටුවේ කාර්යභාරය තවදුරටත් විධිමත් කරමින් පවත්වාගෙන යමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සුදානමින් පසුවන බව අභිනව සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය  සුගත් තිලකරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන   (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් ,රෝහිත අබේගුණවර්ධන, ජේ.සී. අලවතුවල, චාමර සම්පත් දසනායක, හෙක්ටර් අප්පුහාමි,  (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, ඔෂානි උමංගා,  රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ,  එම්. ඒ. එම්. තාහිර්, ලාල් ප්‍රේමනාත්, චානක මාදුගොඩ යන මහත්ම මහත්මීන් මෙන්ම අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා  සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා  මහතා ඇතුළු  පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.


2025-09-11

2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම , වියදම සහ ණය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලේ

2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්ත්වයන් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලිණි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු අදායමට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගය සඳහා ශ්‍රී ලංකා රජය ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තාකරමින් වසර මැද ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැන්වුහ. 2025 ජනවාරි සිට ජුනි දක්වා අර්ධ වාර්ෂික ඇස්තමේන්තු ගත අදායම වූ රුපියල් බිලියන 2,241න් එකතු කරන ලද මුළු ආදායම රුපියල් බිලියන 2,318 ක් වූ අතර එය අර්ධ වාර්ෂික ඇස්තමේන්තුව 3% කින් ඉක්මවා ගොස් ඇති බව දත්ත ඉදිරි පත්කරමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ..මේ අතර 2025 පළමු භාගයේදී රජයේ මුළු වියදම රුපියල් බිලියන 3,467ක් වී ඇති අතර එම මුදල 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු වියදමට සාපේක්ෂව රුපියල් බිලයන 367කින් වැඩිවී ඇත.මෙම වැඩිවීමේ ප්‍රධාන සාධයක් ලෙස ණය සේවාකරණය මුලික වී ඇති අතර 2025 පළමු භාගයේදී එය රුපියල් බිලියන 1,984 ක් ව ඇත.රාජ්‍ය අංශයේ වැටුප්, විශ්‍රාම වැටුප්, අස්වැසුම සහ සමෘද්ධි වැනි සමාජ ආරක්ෂණ ශුද්ධ වැඩසටහන් ඇතුළු අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් සඳහා පුනරාවර්තන වියදම් ද ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.තවද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2024 වර්ෂයට සාපේක්ෂව (ජනවාරි - ජුනි) 47% ක වර්ධනයක් වාර්තා කරමින් 2025 ජනවාරි සිට ජුනි අතර කාලය තුළ රුපියල් බිලියන 996 ක අදායමක් වාර්තා කර ඇත.මෝටර් රථ ආනයනයෙන් ලැබුණු ආදායම මෙම වර්ධනයට සැලකිය යුතු ලෙස හේතු වී අතර එමඟින් රුපියල් බිලියන 429 ක් ලැබී තිබුණි. වාහන ආනයනය සඳහා විවෘත කළ පසු මේ දක්වා ශ්‍රී ලංකාවට වාහන 220,026 ආනයනය කර ඇති අතර ඉන් වාහන 154,537ක් ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශන කටයුතු අවසන් කර ඇති බවද මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ.තවද බහාලුම් නිෂ්කාශන කටයුතු සඳහා රේගුවේදී දින 9 - 10 අතර කාලයක් ගත වීම හේතුවෙන් ආනයනකරුවන් මුහුණ දෙන ගැටලුවක් පිළිබඳව ද කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් විමසීය. ඒ අනුව එම ගැටලුවට පිළියම් සකස් කරමින් දින 2 - 3 වැනි කාලසීමාවකදී අදාළ භාණ්ඩවල නිෂ්කාශන සිදුකර අවසන් කිරීමට ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බවද එම දෙපාර්තමේන්තු නිලධාරීහු කාරක සභවට දැනුම් දුන්හ.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ද (IRD) වර්ධනයක් වාර්තා කළ අතර,2025 පළමු භාගයේදී ඇස්තමේන්තු ගත අදායම වූ රුපියල් මිලියන 1,022,691 න් රුපියල් මිලියන 1,040,388කක අදායමක් වාර්තාකර තිබුණි. මෙහිදී එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වයස 18 වැඩි ශ්‍රී ලාංකිකයින් මිලියන 1.3 පමණ පිරිසකට අදාළව TIN අංකය ( Tax Identification number ) නිකුත් කර ඇති බවද පෙන්වා දුන්හ.මෙහිදී සභාපතිවරයා, මෙම දත්ත අනුව මෙම වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කයට ගමන් කළ හැකිද යන්න කරුණු විමසමින් ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් මේ වසරේ ආර්ථික වර්ධනය 3.1% පමණ වනු ඇති බවට උපකල්පනය කළ හැකි බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.එමෙන්ම දුම්වැටි සඳහා භාවිතා වන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයේන් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳවද කාරක සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.වර්ෂ අවසානයේ මෙරට විදේශ සංචිත පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය මගින් කර ඇති පුරෝකතනයන් වල පරස්පරතාව පිළිබඳවද කාරක සභාවේදී සාකච්ජා විය. මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, චම්පික හෙට්ටිආරච්චි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks