E   |     |  

2024-04-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ගාලු වරාය මැරීනා සංවර්ධන ව්‍යාපෘතිය සහ නිල් ධජ වෙරළ තීරයන් ස්ථාපිත කිරීම කඩිනම් කිරීම සදහා සියලු ආයතන එක් වී නියමිත කාල රාමුවක් තුළ වැඩකරන්න - පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස්

  • ගාලු වරාය මැරීනා සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සති දෙකකට වරක් කාරක සභාවට දැනුම් දෙන ලෙසටත් උපදෙස්  
  • නිල් ධජ ව්‍යාපෘතිය පිළිබඳව අදාළ සියලු පාර්ශ්ව දැනුවත් කිරීම සදහා වැඩමුළුවක් පාර්ලිමේන්තුවේදි පවත්වන ලෙසටත් දැනුම් දෙයි

 

ගාලු වරාය මැරීනා සංවර්ධන ව්‍යාපෘතිය සහ නිල් ධජ වෙරළ තීරයන් ස්ථාපිත කිරීම කඩිනම් කිරීම සදහා සියලු ආයතන එක්වී  නියමිත කාල රාමුවක් තුළ කටයුතු කරන ලෙස  පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතා අදාළ නිලධාරීන්ට පසුගියදා දැනුම් දුන්නේය.

රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැතිකම සහ එකඟත්වයක් නැතිවීම නිසා රටට හිතකර බොහෝ ව්‍යාපෘති ප්‍රමාද වන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

වසර 16 ක් පමාවී ඇති ගාලු වරාය මැරීනා සංවර්ධන ව්‍යාපෘතිය සහ 2018 වසරේ ආරම්භ කරන ලද නිල් ධජ වෙරළ තීරයන් ස්ථාපිත කිරීම පිළිබඳව  පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වූ අවස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේ බව පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, වරාය අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ගාල්ල නගර සභාව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන අදාළ සියලු ආයතන නියෝජනය කරමින් මේ සදහා නිලධාරිහු සහභාගී වූහ.

සංචාරක ආකර්ෂණය වැඩි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය සදහා ණය මුදල් අනුමත වී ඇත්තේ 2006 වසරේදී බවත් එම   ව්‍යාපෘතියෙන් මූල්‍ය වාසියක් නොවන බැවින් ක්‍රියාත්මක නොවූ අතර පසුව ව්‍යාපෘතියේ පවතින ආර්ථිකමය වාසි මත දෙවන ව්‍යාපෘති යෝජනාවට අනුව අමතරව හඳුනාගත් හෙක්ටයාර 40ක භූමි ප්‍රමාණයක් ගොඩකර ඒ සදහා නැවතත් උරුම බලපෑම් වාර්තාවක්, පරිසර හා පුරාවිද්‍යා ඇගයීම් වාර්තාවක් ලබා ගෙන සුදුසු ආයෝජකයෙකු වෙත ලබා දී සංවර්ධනය කිරීමට නියමිත බව වරාය අධිකාරියේ නිලධාරීහු මෙහිදී කාරක සභාවට කරුණු දැක්වූහ..  

මුහුදුබත් වූ නැව් 4ක් මේ භූමියේ ඇති බවත් පුරාවිද්‍යාත්මක වශයෙන් සිදුවන බලපෑම පිළිබඳ විශ්ලේෂණයක් මගින් (AIA) එම නැව් කොටස් ගොඩට ගෙන ප්‍රදර්ශනය කිරීම වැනි විකල්ප ක්‍රමවලට යා හැකි බව ද පුරාවිද්‍යා නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. මෙම භූමිය යුනෙස්කෝ ලෝක උරුමයක් බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බව ද ඔවුහු පැවසූහ.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතුළු මෙම ව්‍යාපෘතිය සදහා පවතින නීතිමය බාධාවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු වූ අතර රටට හිතකර මෙවැනි ව්‍යාපෘති බාධක ජයගෙන සියලු ආයතන සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කරක සභාව විසින් අවධාරණය කරන ලදී. එසේම සියලු ආයතන හා පාර්ශ්ව හමුවී ගැටලු විසදා ගැනීම සදහා මෙම ආංශික අධීක්ෂණ කාරක සභා වේදිකාවක් ලෙස යොදා ගන්නා ලෙස ද කාරක සභා සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

මේ අනුව  සති දෙකකට වතාවක් මේ සම්බන්ධ ප්‍රගතිය කාරක සභාවට වාර්තා කරන ලෙසට වරාය අධිකාරියට දැනුම් දුන් අතර  අප්‍රේල් 26 වැනිදා වන විට අදාළ මූලික ප්‍රගතිය දැනුම් දෙන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්ත‍මේන්තුවට දැනුම් දුන්නේය.

සංචාරක ආකර්ෂණය වැඩිකිරීම සහ සමුද්‍රීය පරිසරය රැක ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක නිල් ධජ සහතිකය සහිත වෙරළ  ව්‍යාපෘතිය (Blue Flag Beaches) පිළිබඳව ද  මෙහිදී අවධානය යොමු විය. මෙරට සංචාරක ආකර්ෂණය සහිත වෙරළ තීරයන් 28ක් මේ සදහා තෝරාගෙන ඇති බව ද මෙම සහතිකය සදහා නිර්නායක 33 ක් සපුරාගත යුතු බව ද මෙහිදී අනාවරණය විය. ලංකාවට පසුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ ඉන්දියාවේ වෙරළ 8කට දැනටමත් මෙම සහතිකය ලැබී ඇති බවත්, තමා පරිසර රාජ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය වසර ගණනක් ප්‍රමාද වී තවමත් ක්‍රියාත්මක නොවී ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට මූලික වශයෙන් උණවටුන, බෙන්තොට, පාසිකුඩා සහ ආරුගම්බේ යන  වෙරළ තීරයයන් නිල සහතිකය ලබා ගත හැකි වෙරළ තීරයයන් ලෙස හදුනා ගෙන අදාළ කටයුතු සිදු කරමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පැවසූහ. ඒ අනුව අදාළ සියලු ආයතන සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු වේගවත් කිරීමේ අවශ්‍යතාව  මාන්නප්පෙරුම මහතා විසින් අවධාරණය කරන ලදී.

මේ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මේ සදහා අදාළ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලෙස ද කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී.

 

1 3

 



සම්බන්ධිත පුවත්

2025-07-28

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවේ

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක්  පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ  නම  උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  අනුමත කර ඇත. එමෙන්ම  බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන්  යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.තවද  අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා  ජිනසේන  මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  අනුමත කර ඇත.ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන  කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 


2025-07-28

ඖෂධ හිඟය පියවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්    සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා  පාර්ලිමේන්තුවේදී   රැස්වූ අතර  එහිදී  ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහදී කාරක සභාවට දැනුම් දුන්හ.කෙසේ වෙතත්, 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින්  2026 වසරේදී  දී කිසිදු හිඟයක් ඇති නොවන බව එම නිලධාරීහු   කාරක සභාවට  සහතික කර පැවසුහ. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද  ඔවුහු වැඩිදුරටත්  අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී  කාරක සභාව  විසින්  ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි  නිලධාරීන්ගෙන්  විමසා සිටි අතර එයට   ප්‍රතිචාර දක්වමින්  අමාත්‍යාංශ නිලධාරීහු  දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළහ.තවද මෙදින කාරක සභාවේදී , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී. මෙම වාර්තා සමාලෝචනය කරන අවස්ථාවේදී, මෙම ආයතනවලට අදාළව තවමත්  නිරාකරණය නොවූ  විගණන විමසුම් පිළිබඳව  කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව විගණන නිරීක්ෂණ සඳහා කාලෝචිත හා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත  කිරීමට බව කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුන, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා සහ ජගත් මනුවර්ණ යන මහත්ම  මහත්මීහු  මෙන්ම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු  පිඑඉසක්  සහභාගි වූහ. 


2025-07-28

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරේ

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි. කමිටුවේ සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුණි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් පත් කෙරිණි. මේ පත් කිරීම් සිදුවූයේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙරට සංස්කෘතික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයන් නගාසිටුවීමට, එම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කලා කරුවන් සහ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි පියවරයන් සහ කලා රස වින්දනය පිළිබඳ පොදු මහජනතාව සහ දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අවශ්‍යතාව ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පිළිබඳව මූලික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කළ යුතු බව මෙහිදී සාමාජික මන්ත්‍රීවරයන් යොජනා කළහ. මෙම රැස්වීමට  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ. 


2025-07-28

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම  පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ කරුණු  සාකච්ඡා වුයේ එම කාරක සභාව එහි සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25 වනදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ  අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු  අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීහු   පිරිසක් සහභාගී වූහ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු  කාරක සභාවට  දීර්ඝ  ලෙස  කරුණු පැහැදිලි කළ අතර මේ සඳහා අතීතයේ ගත් පියවරයන් ද ඔවුහු  ඉදිරිපත් කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අතීතයේ කටයුතු කළ අදාළ අංශවල  විශේෂඥයින්  සම්බන්ධ කර ගනිමින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම වඩාත් පුළුල්ව  පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්  පැවසුවේය.එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී විෂයමාලා නිසිපරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභා සාමාජිකයින් අවධාරණය කළ අතර, එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු ද ඔවුහු පෙන්වා දුන්හමේ අතර, සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අදාළ අනුමතිය හිමිවිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks