පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-06-14
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
තේ දළු නිෂ්පාදනයට බලපාන මූලික ගැටලු සම්බන්ධයෙන් භාණ්ඩ හා සේවා අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.
මේ පිළිබඳ අවධානය යොමු වූයේ භාණ්ඩ හා සේවා අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බුද්ධික පතිරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජුනි 05) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මේ සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් සහ තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය ඇතුළු රාජ්‍ය නොවන ආයතන සහ සංවිධාන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී රැස්වීමට සහභාගී වූ පාර්ශ්වයන් පෙන්වා දුන්නේ මේ වන විට තේ දළු නිෂ්පාදනය පෙර වසරවල පැවති නිෂ්පාදනයට සාපේක්ෂව අඩු වී ඇති බවයි. එසේම තේ දළු නෙලීමේ ඵළදායීතාව වැඩිකිරීම සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු විය යුතු බව ඔවුහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම පොහොර ගැටලුව මුල් කර ගනිමින් තේ දළු නිෂ්පාදනය අවම වූ බවත් පසුගිය වසර වන විට එය තරමක් යහපත් තත්ත්වයට පත් වී ඇති බවත් මෙහිදී රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ.
මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ තේ දළු නිෂ්පාදය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම ගුණාත්මකභාවය වැඩි කිරීම කෙරෙහිද අවධානය යොමු විය යුතු බවයි.
තවද රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් එසේ වැටුප් වැඩි කරන්නේ නම් ඊට සාපේක්ෂව ඵලදායීතාව වැඩි කළ යුතු බවත්ය. එසේ නොවන්නේ නම් තේ කර්මාන්තය අර්බුදකාරී තත්ත්වයකට පත් විය හැකි බවත් ඔවුහු පෙන්වා දුන්හ.
2025-06-02
Glocal Fair වැඩසටහන සඳහා කැබිනට් අනුමතිය ලැබීමට පෙර ආරම්භ කරලා, කැබිනට් පත්‍රිකාව වැඩසටහන යන අතරතුර අමාත්‍ය මණ්ඩල අනුමතියට ඉදිරිපත් කරලා .2013දී සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ රටවිරු නිවාස ණය වැඩසටහන, අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව කටයුතු සිදු නොකිරීම නිසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු මිලියන 100 තවම ලැබී නෑශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වෙලා - කෝප් කමිටුව 2024 දී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2024 වසරේදී විගමනික සංගම් සාමාජිකයින් 5000 කගේ සහභාගිත්වයෙන් පළාත් මට්ටමේ රැස්වීම 3ක් පැවැත්වීම සඳහා වූ විගමනික හරසර වැඩසටහන සඳහා රු. මිලියන 63කට අධික මුදලක් හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන විසින් සපයනු ලබන සේවාවන්, සේවා ලාභීන් පදිංචි ස්ථානවලදීම ලබා ගත හැකිවන පරිදි දිවයින පුරා පැවැත්වූ Glocal Fair වැඩසටහන සඳහා රු මිලියන 1259 කට අධික මුදලක්ද වැයවූ බව කෝප් කමිටුවේදී අනාවරණය විය.මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022, 2023 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා Glocal Fair වැඩසටහන කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් අදාළ කැබිනට් පත්‍රිකාව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරු අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා වාර්ෂිකව අයවැයෙන් රුපියල් මිලියන 2ක් පමණක් වෙන් කර ඇති බවත්, රු. මිලියන 1259 ක මුදලක් තරම් විශාල මුදලක් ඒ සඳහා වැයකර ඇති බවත් එවැනි මුදලක් වැයකිරීමේ අරමුණු ඉටුකර ගත හැකිවුයේද යන්න පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.තවද මෙම Glocal Fair වැඩසටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී ,වෙළඳ කුටියක් රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත්තද පසුව වෙළඳ කුටියක් ලක්ෂ 5ක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාව විමසා සිටියේය. කෙසේ වෙතත් ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබු මුදල් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීම තුළින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.එමෙන්ම 2013 වසරේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ “රටවිරුවෝ” නිවාස ණය වැඩසටහන, වසර 05කට අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව සිදු කර නොමැති බවත් ඒ හේතුවෙන් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු මිලියන 100ක මුදල තවම ලැබී නොමැති බවත් කාරක සභාවේදී අනාවරණය විය. කෙසේ වෙතත් එම ලැබිය යුතු මුදල ලබා දීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මේ වනවිට එකඟ වී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. මෙහිදී කාරක සභාව විසින් මෙම නිවාස ණය ලබාදීමේ වැඩසටහන මගින් කොපමණ පිරිසකට අදාළ ණය පහසුකම ලබා දී තිබේද යන්න නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එවැනි දත්තයක් ඔවුන් සතුව නොපවතින බව ඔවුහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව මෙම වැඩසටහන පිළිබඳව කිසිදු පසු විපරමක් සිදුව නොමැති බව පැවසු කාරක සභා සභාපතිවරයා මෙම රටවිරුවෝ නිවාස ණය වැඩසටහන පිළිබදව ආරම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.කෙසේ වෙතත් මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වී කටයුතු කර ඇති බව පෙන්වා දුන්හ. වර්තමානය වනවිට බිලියන 18ක්ව පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාවර තැන්පතු වඩාත් ඵලදායී ලෙස යෙදවීමට සැළසුම් සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවයද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.තවද අක්‍රීයව පවතින, 2023 දෙසැම්බර් 31 වැනි දිනට බිලියන 5.1 ක ශේෂයක් පවතින කුවේට් වන්දි අරමුදල සඳහා ගනු ලබන ක්‍රියාමර්ග පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව එම මුදල භාවිතා කර ගෘහ සේවය සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමටත් ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමටත් සැළසුම් සකස් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.එමෙන්ම මෙහිදී රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයින් මාර්ගයෙන් අයතා ලෙස රැකියා ඒජන්සි සිදුකල මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. එහිදී රැකියාවක් සඳහා ඒජන්සියක් මාර්ගයකින් තොරව ස්වයං පිටත්ව යන සෑම ශ්‍රමිකයෙක්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වියයුතු බවත් ඒ සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත් කාරක සභාවේදී කරුණු පැහැදිලි විය. එමෙන්ම ඒජන්සි මගින් ශ්‍රමිකයින් රැකියා සඳහා යොමු කිරීමේදී ද එම ශ්‍රමිකයින් සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත් එම මුදලින් 70%ක් නැවත අදාළ ඒජන්සි සඳහා ගෙවන බවත් කාරක සභාවෙදී අවධාරණය කෙරිණි. කෙසේ වෙතත් ස්වයං පිටත්ව යන ශ්‍රමිකයින්, ඒජන්සි මගින් පිටත්වන ශ්‍රමිකයින් ලෙස හුවා දක්වමින් වංචා සහගතව සිදු කර තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කරුණු සෙවීමට අනු කමිටුවක් පත්කිරීමට කාරක සභා සභාපතිවරයා තීරණය කළේය. මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න,මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, මයිල්වාගනම් ජෙගදීස්වරන්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා , සුජීව දිසානායක, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ ,ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත , ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025-05-28
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තේරී පත්විය.ඊයේ (මැයි 27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය. මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වය පළවී තිබිණි. ඒ අනුව සභාපති ධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා විසින් ස්ථිර කරන ලදී.අනතුරුව ලබන ජූනි 05 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව ඇති ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන කිහිපයක නිලධාරීහු ඊට සහභාගී වූහ. ගමනාගමන කොමිෂන් සභාව දීර්ඝ කාලයක් මුළුල්ලේ මුහුණ දුන් ප්‍රායෝගික ගැටලුවලට විසදුම් සඳහා ප්‍රතිපාදන ඇතුළත් කරමින් මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බව නිලධාරීහු මෙහිදී පැවසූ අතර ඊට කාරක සභාවේ අනුමතිය හිමිවිය. ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවිය විය යුතු මූලික වෙනස්කම් පිළිබඳව ද මූලික කරුණු මෙහිදී සාකච්ඡා විය.මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සුරවීර ආරච්චි, ධනුෂ්ක රංගනාත්, අසිත නිරෝෂණ එගොඩ විතාන සහ ශාන්ත පත්ම කුමාර සුබසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.
2025-05-27
විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා තේරී පත්විය.අද (මැයි 27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය.දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත ආංශික අධීක්ෂණ කාරක සභා 7 අතුරින් ආණ්ඩු පාර්ශවය වෙත හිමි සභාපති ධුර 4ට අයත් මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය සඳහා වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ නම ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ මහත්මිය විසින් ස්ථිර කරන ලදී.එසේම මෙම කාරක සභා රැස්වීමේදී, 2025.06.03 වැනි දින දෙවැනිවර කියවීමට නියමිත පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව එයට අනුමතිය හිමි විය.ඒ අනුව, ජුනි මස 03 වැනි අඟහැරුවාදා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) කෙටුම්පතට අදාළව දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් වන ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ලසිත් භාෂණ ගමගේ, නීතිඥ හසාරා ලියනගේ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2025-05-26
2025 මැයි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු ප්‍රතිශෝධනය කිරීමට ගනු ලැබූ තීරණය නැවත සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් 2025.05.23 වැනිදා එම කාරක සභාවේ සභාපති ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.එම කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් පහත දැක්වෙන අයුරින් 2025.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිශෝධනය කිරීමට තීරණය කරන ලදී.ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරිණි.තවද පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන ගරු මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් වැඩිදුරටත් තීරණය කරන ලදී.මෙම මිල ගණන් ප්‍රතිශෝධනය කිරීම, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සපයනු ලබන ආහාරවල පිරිවැය ආවරණය කිරීම සම්බන්ධව භාණ්ඩාගාරය විසින් කරනු ලබන නිර්දේශ පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරනු ලබන ඉල්ලීම මත වසර තුනකට වරක් ගනු ලබන තීරණයකි. මෙම ගෘහ කාරක සභාව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයන්ගෙන් සංයුක්ත වන කාරක සභාවක් වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks