E   |     |  

2024-07-12

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

2023 වසරට අදාළ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැරීම පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය

  • සුරාබදු කොමසාරිස් ජනරාල් ක්‍රම හා  විධි පිළිබඳ කාරක සභාව මග හැරීම සහ  කාරක සභාවේ නිර්දේශයන් නොසළකා හැරීම පාර්ලිමේන්තුවටත් කමිටුවටත් කරන අගෞරවයක් - ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති
  • ගතයුතු පියවර සම්බන්ධයෙන්  මුදල් අමාත්‍යාංශයෙන් කළ විමසීම් වලට අමාත්‍යාංශ පාර්ශවයෙන් පිළිතුරක් ලැබුනේ නැහැ - සුරාබදු දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු කාරක සභාවට පවසයි

 

2023 වසර සඳහා ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල වන රු. බිලියන 1.1 ක මුදල 2024.06.30 වැනි දිනට හෝ ඊට පෙර අදාළ මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අය කර ගැනීම සඳහා කාරක සභාව විසින් 2024.04.24 වන දින ලබා දුන් නිර්දේශ ප්‍රකාරව ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම පිළිබඳව කාරක සභාව විසින් සිය බලවත් අප්‍රසාදය පල කරන ලදී.

එහිදී සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ක්‍රම හා  විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශයන් සහ පෙර වසරවල සුරා බදු අය කරගැනීම සඳහා වන ගිවිසුම් අතර වන පරස්පරයන් සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර 2024.05.02 වෙනිදා ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශයෙන් විමසා සිටිය ද ඒ සඳහා අමාත්‍යාංශය පාර්ශවයෙන් පිළිතුරක් නොලැබුනු බවයි.

මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව 2024.07.10 දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම රුපියල් මිලියන. 1659 ක්, හිඟුරාන ඩිස්ටිලරීස් රුපියල් මිලියන 102 ක්, සිනර්ජි සමාගම රුපියල් මිලියන 37 ක්, වයඹ ඩිස්ටිලරීස් රුපියල් මිලියන 79 ක් වශයෙන් 2023 වර්ෂයේ සිට 2024.06.15 දිනට අයවිය යුතු මුළු හිඟ බදු හා අයභාර රුපියල් බිලියන 1.8ක් බවද කාරක සභාව හමුවේ අනාවරණය විය. මෙසේ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කාරක සභාව විසින් නිර්දේශය ලබා දී තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය කාරයභාරය පැහැර හැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

තවද, ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම හැර අනෙකුත් සමාගම් සමග සුරාබදු දෙපාර්තමේන්තුව ඇති කරගත් ගෙවීම් ගිවිසුම් මේ වන විට අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව මෙහිදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් අසමත් වී ඇති බවත්, එසේ තිබියදී කොමසාරිස්වරයා විසින් ක්‍රම හා  විධි පිළිබඳ කාරක සභාව මග හරිමින් සිටින බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව කාරක සභාවේ නිර්දේශයන් නොසළකා හරිමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවටත් කමිටුවත් කරන අගෞරවයක් බවත්  සභාපතිවරයා පෙන්වා දුන්නේය.

2023 වසර සඳහා හිඟ සුරාබදු නොගෙවන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන ලෙස යළි මුදල් අමාත්‍යාංශය වෙත ලිඛිතව දන්වා යවන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් කාරක සභාවේ ලේකම්වරිය වෙත මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

සාමාන්‍ය ජනතාව වෙත බදු පනවමින් තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව, හිඟ සුරාබදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයින් කෙරෙහි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ද, කාරක සභාව සිය අප්‍රසාදය පළ කර සිටියේය. එමෙන්ම කාරක සභාව විසින් කාරක සභා රැස්වීම් 4දී මුදල් අමාත්‍යාංශය වෙත ලබා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ විය.

තවද, හදිසි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් මැදිහත් වීමක් ලෙස මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවීම සම්බන්ධයෙන් ද, කාරක සභාවේ සාකච්ඡාවට ගැනිණ. මෙහිදී මහනුවර දුම්රිය ස්ථානය ඇතුළත කාණු පද්ධතිය ප්‍රමාණවත් නොවන බවත්, ඒවායෙහි නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කළ යුතු බවත් කාරක සභාව හමුවේ නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලදී. මේ සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය යොමු කිරීමටත්,  දිස්ත්‍රික් සංවර්ධන සභාවට මෙම යෝජනා ඉදිරිපත් කරන ලෙසත්, ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගන්නා ලෙසත්, කාරක සභාව විසින් මෙහිදී උපදෙස් දුන්නේය.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් මඩ මිශ්‍ර ජලය සැපයීම පිළිබඳ ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධ වැඩිදුරටත් විමර්ශනය කිරීමද මෙහිදී සිදු විය. ගැටලුවට තුඩු දී ඇති අවසර සහිත සහ අනවසර මැණික් ගැරීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමග සම්බන්ධ වී අර්බුදයට තුඩු දී තිබෙන ගැටහැත්ත ඇල ආශ්‍රිත මැණික් ගැරීම සම්බන්ධයෙන් බලපත්‍ර ලබා දී ඇති ලැයිස්තුව ලබා ගන්නා ලෙසත්, මේ ගැටලුව සම්බන්ධයෙන්  නිරීක්ෂණය  කොට ඒ සම්බන්ධ වාර්තාවක් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ද,  කාරක සභා සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් දුන්නේය.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා රැස්වීමේ මෙම සඳහා එහි සාමාජිකයින් වන ගරු ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ගරු දයාසිරි ජයසේකර, ගරු උදයන කිරිඳිගොඩ සහ ගරු වසන්ත යාපා බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.

 

6 3

 



සම්බන්ධිත පුවත්

2024-09-20

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 18) රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව, කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී. රත්නායක මහතාගේ පත් කිරීම කිරීම, උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  සලකා බලා  අනුමත කර ඇත.කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වෛද්‍ය ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ,  ගරු උදය ගම්මන්පිල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 


2024-09-09

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සැප්තැම්බර් 04 වැනිදා එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු වඩිවේල් සුරේෂ් මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය  විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අඩු බර, මිටිභාවය, කෘෂභාවය, සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම - වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. ග්‍රෑම් 2500 ක් හෝ ඊට අඩු උපත් බරක් සහිතව උපදින දරුවන් අඩු උපත් බරක් ඇති දරුවන් ලෙස සැලකෙන අතර 2022 දී සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයට අනුව, ජාතික වශයෙන් නියෝජනය වන නියැදියක් මගින් අඩු උපත් බර ව්‍යාප්තිය 15.9%ක අගයක පැවති බව මෙම වාර්තාවෙන් පෙන්වාදී ඇති අතර 2023 ජූනි පෝෂණ මස තක්සේරුවෙන් හඳුනාගෙන ඇත්තේ 2022 වසරට සාපේක්ෂව ළදරුවන් සහ අවුරුදු දෙක දක්වා වන ළමුන් අතර අඩු බර සහ මිටිභාවය වැඩි වී ඇති බවයි. වඩාත්ම තැති ගන්වන සුළු ඉහළම අඩු බර අනුපාතය වූ 24.6% නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ඒ අනුව සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මධ්‍යස්ථ හෝ දැඩි ලෙස අඩු බර සහිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති බව මෙම වාර්තාවේ සඳහන් වන්නේ. 2023 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ කෘෂභාවයට ලක් වූ දරුවන්ගේ අනුපාතය 10% ක් ලෙස මෙම වාර්තාවේ දැක්වෙන අතර අවුරුදු 5 ට අඩු සියලුම දරුවන්ගෙන් 1.2% ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති අතර සංඛ්‍යාත්මකව ළමුන් 16,000 කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳ ඇත. 2023 පෝෂණ මාසයේ වාර්තාව මගින් වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටි බව 10.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පෙර වසරට වඩා 9.2% ක වැඩිවීමක් බව අනාවරණය වී ඇත. සම වයසේ දරුවන් හා සැසඳීමේ දී දක්නට ලැබෙන මිටිවීම හෝ උස අඩු වීම, නිදන්තගත මන්දපෝෂණය හේතුවන් කාලයක් පුරා සිදුවන බව හඳුනාගෙන ඇතැයි වාර්තාව මගින් අනාවරණය කර තිබේ. මේ අතර 2022 දී සිදු කරන සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 5-18 අතර ළමුන්ගේ ජාතික වශයෙන් නියෝජනීය නියැදියක දී වයසත් සමග මිටි භාවය, අධික බර සහ තරබාරුකම වැඩි වන බව අනාවරණය වී ඇත. ගෘහස්ථ මට්ටමින් ආහාර සුරක්ෂිතතාව නිසි පරිදි නොපැවතීම ද මන්දපෝෂණ තත්ත්වය ඇතිවීමට බලපා ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. 2022 වර්ෂයේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් සමස්ත ජනගහනයෙන් 98% ක් ආහාර මිල ඉහළ යාම නිසා පීඩාවට පත් වී ඇති අතර ඒ හේතුවෙන් එම වර්ෂයේ අවසාන මාස හය තුළදී අධ්‍යයනය කරන ලද කුටුම්බ වලින් 74% ක ප්‍රමාණයකට ආහාර හෝ දෛනික අත්‍යවශ්‍ය ද්‍රවය මිලදී ගැනීමට හැකියාව නොතිබූ බවයි වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. ආහාර අනාරක්ෂිත කුටුම්බ ප්‍රමාණය 2023 මාර්තු මාසයේ පැවති 17% ක ප්‍රමාණයට සාපේක්ෂව 2023 වර්ෂයේ තුන්වන කාර්තුවේදී 24% ක් දක්වා ඉහළ ගොස් ඇත. සමස්ත පවුල් වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩු කර හෝ ඔවුන්ගේ පරිභෝජනය සීමා කර ඇති අතර හතරෙන් එකක් අසල්වැසියන්ගෙන් ලැබෙන අහාර මත ජීවත් වෙන බවද මෙහි දක්වා තිබේ. ළමුන්ගේ පෝෂණය වැඩි දියුණු කිරීම සඳහා නිගමන හා නිර්දේශ මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත. එහිදී දරුවන් නිදන්ගත මන්දපෝෂණයට පත්වීමට පෙර එම ළමුන් කෙරෙහි ක්ෂණික අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත. තවද මාතෘ හා ළමා සෞඛ්‍ය (MCH) වැඩසටහන් සඳහා ගුණාත්මක මාතෘ හා ළමා පෝෂණ (MCN) සේවාවන් සැපයීම සඳහා ප්‍රමාණවත් පරිදි නිපුණතාවය සහිත ක්ෂේත්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පැවතීමේ අවශ්‍යතාවයද වාර්තාව මගින් අවධාරණය කර තිබේ. පාසල් ළමුන් සඳහා විටමින් A අතිරේකය සැපයීම නවතා දමා ඇති බැවින් මෙය නැවත ගැටලුවක් බවට පත්වීමට ප්‍රථම විටමින් A අතිරේකය නැවත ලබාදීම පිළිබඳව සලකා බැලිය යුතු බව ද මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇත. වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින පවුල්වල ආහාර සුරක්ෂිතතා තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයද පෙන්වා දී ඇත. මන්දපෝෂණය විසඳීම සඳහා වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් සහ හේතු සාධක හඳුනාගැනීම සඳහා ළමුන් තුළ මන්දපෝෂණයේ කේන්ද්‍රීය ස්ථාන හඳුනා ගැනීම සහ අවදානම් සිතියම ගත කිරීම සඳහා දැනට පවතින සෞඛ්‍ය කළමනාකරණ තොරතුරු පද්ධති භාවිතා කිරීමටද මෙම වාර්තාවෙන් නිදේශ ලබා දී ඇත. ගැබිනි මවුවරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට බාධාවකින් තොරව පෝෂණ අතිරේක සැපයීම, සෞඛ්‍ය සම්පන්න හා අඩු වියදම් ආහාර වේලක් සඳහා දැරිය හැකි මිලකට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා එම ද්‍රව්‍ය වල මිල පාලනය කිරීම, ගුණාත්මක ආහාර සැපයීම සඳහා පෙර පාසල් ආහාර වැඩසටහන, පාසල් ආහාර වැඩසටහන සහ පාසල් ආපනශාලා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම හා ඒවා අධීක්ෂණය කිරීම ඇතුළු කෙටි, මධ්‍ය හා දිගු කාලීන නිර්දේශ රැසක් මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත.  


2024-09-06

2024 යල කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වැන්නෙහි අස්වනු සමීක්ෂණ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිරීක්ෂණ චාරිකාවක

පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වනු සමීක්ෂණය කිරීමේ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය අගෝස්තු 28 වැනිදා ගම්පහ (මිනුවන්ගොඩ) ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. පරිසර හිතකාමී පොහොර මෙරට කෘෂිකර්මාන්තයට සාර්ථකව හඳුන්වාදීම කාරක සභාවේ ප්‍රධාන අරමුණ වූ අතර එම පොහොර නිෂ්පාදන ප්‍රධාන වී වගා කරන ප්‍රදේශයේ පරීක්ෂාවට ලක් කළ යුතු බවට මෙම කාරක සභාවේදී තීරණය විය. 2023/2024 මහ කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිත කරමින් වැලිකන්ද සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල වී යාය ආදර්ශන වල සාර්ථක ප්‍රතිපළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම කාරක සභාවේ සභාපති ගරු ඩී. වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ 2024 යල කන්නයේදී පළාත් 7ක සහ බී, සී  සහ එච් යන මහවැලි කලාපවල පරිසර හිතකාමී පොහොර භාවිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. ඒ අනුව මෙම නිරීක්ෂණ චාරිකාව සිදු විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නිලධාරීන් සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ සහ පුහුණු ආයතනය, කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා සහභාගී විය. ඉහත වැඩසටහන යටතේ බස්නාහිර පළාතට අදාළ වැඩසටහන බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි අධීක්ෂණය යටතේ පවත්වන ලද අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් අස්වනු සමීක්ෂණය සිදු කරන ලදී. වැඩසටහනේ සමස්ත සම්බන්ධීකරණය ජාතික මූලික අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලදී.  


2024-08-22

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ වාර්තාව කථානායකවරයාට පිළිගන්වයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් 2024.08.08 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාට පිළිගන්වන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් යුතුව කාන්තාව හා මාධ්‍ය සාමූහිකය (Women and Media Collective) ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් මෙම වාර්තාව සකස්කරන ලදී. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනි ගරු රෝහිණි කුමාරි විජේරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීහූ ද මෙම අවස්ථාවට එක්වූහ. මෙහිදී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මෙම වැටුප් අසමානතා වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය සහ නව ප්‍රතිපත්ති සකස් කිරීම වැදගත්වන බවයි. එසේම මෙම අයිතීන් තහවුරු වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රතිපාදන ඇතුළත්විය යුතු බවට මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සංසදයේ සභාපතිවරිය පෙන්වා දුන්නේ මෙම ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා සමාජයේ පුද්ගලයින් තුළ ආකල්පමය වෙනසක්ද සිදුවිය යුතු බවයි. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙම කාර්ය සාර්ථක කර ගැනීමට දායකත්වය දැක්වූ සැමට ස්තූතිය පුද කර සිටියාය. කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම මෙම පර්යේෂණ වාර්තාව පිළිබඳව අදහස් පළ කරමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොලේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය මූලිකවම වැටුප් නොලබන සත්කාර සේවා සමඟ සමීපව බැඳී ඇති බවයි. ඉහළ වැටුප් ලබන කර්මාන්තවල කාන්තා නියෝජනය අඩු වන අතර අඩු වැටුප් සහිත සේවා භූමිකාවන් වෙත කාන්තාවන් සංකේන්ද්‍රණය වී ඇති බවත් කාන්තාවන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අර්ධකාලීන රැකියා සහ වැටුප් රහිත ගෘහාශ්‍රිත සත්කාර සේවා වල නියැලෙන බවත් එම පර්යේෂකයින් අවධාරණය කරන ලදී. මේ අවස්ථාව සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය (Women and Media Collective), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.  






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks