E   |     |  

2024-11-21

පුවත් කාණ්ඩ : පුවත් 

පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩ භාර ගනී

පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ගරු බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලවලදී අද පස්වරුවේ වැඩ භාර ගැනීම සිදුවිය.

ධීවර අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකරන්, සභානායක ලේකම් ජනකාන්ත සිල්වා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් ජනක ජයසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




සම්බන්ධිත පුවත්

2024-11-22

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරයන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව නොවැම්බර් 25, 26 සහ 27

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024 නොවැම්බර් මස 25, 26 සහ 27 යන දිනයන්හි දී පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී  පැවැත්වීමට කටයුතු යොදා ඇත. නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස මෙම වැඩමුළුව මෙවරද සංවිධානය කර තිබේ.ලබන 25 වැනි සදුදා පෙ.ව. 9.30 ට පැවැත්වෙන මෙම වැඩමුළුවේ සමාරම්භය සඳහා අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ගරු ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය ගරු බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ. මෙම තෙදින වැඩමුළුවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම ට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර, මන්ත්‍රීවරයන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.තවද දුෂණ විරෝධී පනත මගින් ස්ථාපිත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් පිළිබඳව මෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ කාර්යභාරය පිළිබඳව ද දැනුවත් කිරීමට නියමිතයි.එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්යාංශ ප්‍රධානීන් විසින් ඒ ඒ අංශ මගින්  පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ගේ දායකත්ව හා කාර්යයන් පිළිබඳවද මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට නියමිතයි. 


2024-11-21

දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරය‍ා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා තේරී පත් වෙයි

•    නියෝජ්‍ය කථානායක ධුරය ජාතික ජන බලවේගයේ වෛද්‍ය රිස්වි සාලි මහතාට...•    නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය ජාතික ජන බලවේගයේ හේමාලි වීරසේකර මහත්මියට... දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධුරයට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය අශෝක රන්වල මහතා ඒකමතිකව තේරී පත්විය. අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රන්වල මහතාගේ නම යෝජනා කරන ලද අතර අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලදී.අනතුරුව කථානායකවරයාගේ නම යෝජනා ස්ථිර කළ අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් සාම්ප්‍රදායිකව නව කථානායකවරයා සිය අසුන වෙත කැඳවාගෙන යෑම සිදුවිය. මෙහිදී කථානායකවරයා විසින් තමා පත්කිරීම පිළිබඳව කෙටි ස්තූතිය පිරිනැමීමක් සිදු කළ අතර අනතුරුව කථානායකවරයා විසින් මහලේකම්වරිය ඉදිරියේ සිය ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දෙන ලදී. අනතුරුව අනෙකුත් සියලු මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම සිදුවිය.ඉන්පසු නව කථානායකවරයාගේ තේරී පත්වීම පිළිබඳ අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, සමගි ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක ගරු රවුෆ් හකීම් යන මහත්ම මහත්මීහු සුභාශිංෂණ එක් කළහ.   කථානායක ධුරයට තමා පත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ කථානායකවරයා පවසා සිටියේ රටේ උත්තරීතරම ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය, ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට කැපවන බවයි.  එසේම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා පිළිවෙත් අනුව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අපෙක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය. එසේම රටේ ජනතාව අපේක්ෂා කරන නව දේශපාලන සංස්කෘතියක් සහිතව පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩාත් ඵලදායිව ක්‍රියාත්මක කිරීමට උපරිම කැපවන බවත් කථානායකවරයා සඳහන් කළේය. තවද පාර්ලිමේන්තු කාරක සභා යාන්ත්‍රණය වඩාත් විධිමත්  කිරිීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවත් පැවසූ කථානායකවරයා පාර්ලිමේන්තු කටයුතුවලදී ආදර්ශවත් ලෙස සහ  විනයානුකූලව දායකත්වය ලබා දෙන ලෙසත් වැඩිදුරටත් සියලු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.ආචාර්ය ගරු අශෝක රන්වල මහතා ජාතික ජන බල‍වේගය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුමේන්තුවට තේරී පත් විය.  ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ඒ මහතා වර්තමානයේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකු වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ බියගමදී උපත ලද රන්වල මහතා මූලික අධ්‍යාපනය බියගම යටිහේන ප්‍රාථමික විදුහලෙන් සහ උසස් අධ්‍යාපනය ගම්/හෙනේගම මධ්‍ය මහා විදුහලෙන් ලබා තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධිධාරියෙක් වන නව කථානායකවරයා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ජෛව රසායනය පිළිබඳ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර තිබේ. බියගම ප්‍රාදේශීය සභාවේ සහ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත.මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි මහතා තේරී පත්වූ අතර ඒ මහතාගේ නම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අමාත්‍ය ගරු සරෝජා පෝල්රාජ් යන මහත්ම මහත්මීහූ යෝජනා ස්ථිර කළහ.ගරු වෛද්‍ය මොහාමඩ් රිස්වි සාලි මහතා ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකු වන අතර ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික සංසදයේ ද සාමාජිකයෙකි. දශක තුනකට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇති ඒ මහතා 2024 මහ මැතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්විය.තවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා  ගරු හේමාලි වීරසේකර මහත්මිය ඒකමතිකව තේරී පත් වූවාය. අමාත්‍ය ගරු  සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඇගේ නම යෝජනා කරන ලද අතර ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ස්ථිර කරන ලදී. හේමාලි වීරසේකර මහත්මිය ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරියකි. කොළඹ යසෝධරා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති ඇය වෘත්තියෙන් වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරිනියක ලෙස සේවය කොට තිබේ. ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික සහ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා විධායක සභික ලෙස කටයුතු කර ඇති වීරසේකර මහත්මිය මහර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරියක් ද වේ.


2024-11-20

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් නොවැම්බර් 19 සහ 20 දෙදින පැවති පාර්ලිමේන්තු තොරතුරු කවුළුව සාර්ථකව අවසන් වේ

•    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ලබා ගැනීම මාර්ගගත ක්‍රමයට... දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස 2024.11.19 සහ 20 දෙදින පැවති  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාර්ථකව අවසන් විය.මෙම අවස්ථාවට පළමුවරට පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රීවරයන් ඇතුළුව මන්ත්‍රීවරයන් 200 කට වැඩි පිරිසක් සහභාගී වූහ.එහිදී සියලුම මන්ත්‍රීවරයන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබා ගැනීම ඇතුළු කටයුතු සිදුවිය.මේ අතර දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම ද මෙවර සලසා දී තිබිණි. 


2024-11-20

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා සියල්ල සූදානම්

•    දසවැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පෙ.ව. 10.00 ට...•    ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම හෙට පෙ.ව. 11.30 ට දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් හෙට (නොවැ. 21) විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (2024.11.20) පැවැත්විණි.හෙට පෙ.වග 9.55 ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පෙ.ව. 10.00 ට රැස්වීමට නියමිත අතර සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබයි.පළමුව කථානායකවරයා තෝරා ගැනීම සිදුවෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6 හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ‍තෝරා පත් කරගැනීම සිදුකරනු ලැබේ. පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමිවීම විශේෂත්වයකි.මෙම මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33 ව්‍යවස්ථාවල විධිවිධාන ප්‍රකාරව පෙ.ව. 11.30 ට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ජය මංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පැවසීය.මේ අනුව පෙ.ව. 11.00 පමණ වන විට සියලු ආරාධිතයන් අසුන් ගැනීමට නියමිත අතර පෙ.ව. 11.10 ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරයා පිළිගැනීමට නියමිතය. අනතුරුව පෙ.ව. 11.15 ට ගරු අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදුවන අතර ගරු ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවන්නේ ඉන් අනතුරුවයි.ඒ අනුව පෙ.ව. 11.20 ට කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට නියමිතය.ඉන් අනතුරුව වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටු කරගත් ගරු කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබයි.අනතුරුව පැළදුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා  පෙ.ව. 11.25 ට ගණපූර්ණ සීනුව නාද වන තෙක් එහි රැදී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා සහ මහලේකම්වරු යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදු වේ.සභාගර්භයට පිවිසෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවේ. අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු සභාව කල් තැබීමට නියමිතය.දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව ද වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව මෙම උත්සවයට විද්‍යුත් ක්‍රමයට ආරාධනා පත්‍ර (E - Invitations) යොමුකොට ඇති බවද වේත්‍රධාරීවරයා පැවසීය.  






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks