බලන්න

E   |     |  

2024-11-22

පුවත් කාණ්ඩ : පුවත් 

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරයන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව නොවැම්බර් 25, 26 සහ 27

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024 නොවැම්බර් මස 25, 26 සහ 27 යන දිනයන්හි දී පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී  පැවැත්වීමට කටයුතු යොදා ඇත. නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස මෙම වැඩමුළුව මෙවරද සංවිධානය කර තිබේ.

ලබන 25 වැනි සදුදා පෙ.ව. 9.30 ට පැවැත්වෙන මෙම වැඩමුළුවේ සමාරම්භය සඳහා අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ගරු ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය ගරු බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.
 
මෙම තෙදින වැඩමුළුවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම ට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර, මන්ත්‍රීවරයන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තවද දුෂණ විරෝධී පනත මගින් ස්ථාපිත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් පිළිබඳව මෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ කාර්යභාරය පිළිබඳව ද දැනුවත් කිරීමට නියමිතයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්යාංශ ප්‍රධානීන් විසින් ඒ ඒ අංශ මගින්  පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ගේ දායකත්ව හා කාර්යයන් පිළිබඳවද මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට නියමිතයි.

 



සම්බන්ධිත පුවත්

2024-11-29

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (ඕ.එම්.පී.) සඳහා සාමාජිකයන් පත්කිරීම සඳහා අයැදුම්පත් කැඳවයි

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන ප්‍රකාරව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී.) සාමාජික ධුරයන්ගේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භකර ඇත.ඒ සඳහා වන අයදුම්පත්‍ර, පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ඕ.එම්.පී. සඳහා සාමාජිකයන් පත්කිරීම නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව පිළියෙළ කළ  යුතුය.ඒ අනුව  සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 දෙසැම්බර් මස 09 දින හෝ එදිනට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ඕ.එම්.පී. සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ  යුතුය.[සබැඳිය] 


2024-11-28

අභිනව කථානායක ගරු ආචාර්ය අසෝක රන්වල මහතාට චීන පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන් සුබපැතුම්

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ගරු ආචාර්ය අසෝක රන්වල මහතා හමුවිය. මෙම හමුවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ගරු ෂාඕ ලෙජි (Zhao Leji) මහතාගේ සුබ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස තේරී පත්වූ ගරු ආචාර්ය අසෝක රන්වල මහතා වෙත පිළිගන්වන ලදී.එසේම දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පැවැති අතර, ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලීන සහයෝගීතාව සිහිපත් කළ නව කථානායකවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජය තුළ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.මෙහිදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා සඳහන් කළේ, දෙරටේ ව්‍යවස්ථාදායක ආයතන අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වීම වැදගත් බවත්, ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නව පාර්ලිමේන්තුවේදී ද ස්ථාපිත කිරීම ඒ සඳහා වැදගත් වන බවයි.                       මීට අමතරව, ආර්ථික සංවර්ධනය, දෙමුහුන් බීජ සංවර්ධනය ඇතුළු කෘෂිකර්මාන්තයට අදාළ කරුණු, ජල කළමනාකරණය, බොරතෙල් පිරිපහදු කිරීම, විදේශ ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන ආදී ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගිතාව පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.


2024-11-27

පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 සිට 6 දක්වා රැස්වෙයි - පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරයි

•    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය දෙසැම්බර් 3 සහ 4•    අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 සිට 6 දක්වා රැස්වීමට 2024.11.25 වැනිදා කථානායක ගරු ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.මේ අනුව ලබන දෙසැම්බර් 3 වැනි අඟහරුවාදා ගරු ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එදින ‍පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. අනතුරුව දෙසැම්බර් 4 වැනිදා පෙ.ව. 9.30 සිට ප.ව. 5.00 දක්වා තවදුරටත් විවාදය පැවැත්වීමටත් එයට අදාළ ඡන්ද විමසීම ප.ව. 5.00 ට පැවැත්වීමටත් පක්ෂ නායකයන්ගේ එකඟත්වය පළ වී ඇත.2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය විය. මේ අනුව ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 දෙදින පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමටත් මෙම පක්ෂ නායක රැස්වීමේදී  තීරණය  වී ඇත.මීට අමතරව ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශවය සදහා විවාද කාලය වෙන් කිරීම, කාරක සභාවල ආණ්ඩු පාර්ශවයේ සහ විරුද්ධ පාර්ශ්වයේ සංයුතිය තීරණය කිරීම, තේරීම් කාරක සභාව ස්ථාපිත කිරීම සහ ඊට අදාළ නාම යෝජනා ලබා ගැනීම, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හා අනෙකුත් කාරක සභා පිහිටුවීම, ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය සහ දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ස්ථාපිත කිරීමට ලැබී ඇති ඉල්ලීම සලකා බැලීම යන කරුණු පිළිබඳව ද  මෙහිදී සාකච්ඡා විය.    නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර, පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ගරු බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස, විරුද්ධ පාර්ශවයේ නායක ගරු සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීහූ ඇතුළු පක්ෂ නාය‍කයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.  


2024-11-25

ජනතා අභිලාශයන් වඩාත් තීව්‍රව ඇති මොහොතක එම අපේක්ෂා ඉටු කිරීමට පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ පරිචය ඉතා වැදගත් - කථානායක ගරු ආචාර්ය අශෝක රන්වල දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරයන්ට පවසයි

සිදුවූ පරිවර්තනය හරහා මහජනතාව තුළ තිබෙන දේශපාලන පරිනතභාවය තේරුම් ගෙන කටයුතු කිරීමට මහජන නියෝජිතයන්ට සුවිසාල වගකීමක් පැවරී තිබෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියවිවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කරමින්, මහජන නියෝජිතයන් හරහා පාර්ලිමේන්තුව පුරවැසියාට වඩාත් සමීප කිරීමට කටයුතු කළ යුතුයි  -  විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාසමෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයන් 162ක්ම නවක මන්ත්‍රීවරයන් වීම සුවිශේෂී ලක්ෂණයක් - කුෂානි රෝහණදීර, පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් ජනතා අභිලාශයන් වඩාත් තීව්‍රව ඇති මොහොතක එම අපේක්ෂා ඉටු කිරීමට පාර්ලිමේන්තු   ක්‍රමවේදයන් පිළිබඳ පරිචය ඉතා වැදගත් බව කථානායක ගරු ආචාර්ය අශෝක රන්වල මහතා අද පාර්ලිමේන්තුවේදී අභිනව මන්ත්‍රීවරුන්ට පැවසීය. දසවැනි පාර්ලිමේන්තුවට අභිනවයෙවන් තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් සංවිධානය කර තිබෙන දැනුවත් කිරීමේ වැඩමුළුවේ අද (නොවැ. 25) පැවති සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් එතුමා මෙම අදහස් පළකළේය.පාර්ලිමේන්තුව තුළ විවිධ පක්ෂ සහ දේශපාලන නියෝජිතයන් සිදුකරන සංවාද තුළින් ජනතාවට සේවය කිරීමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යනාදිය පිළිබඳව මනා අවබෝධය සහ දැනුම අත්‍යවශ්‍ය බැවින් මෙවැනි වැඩමුළුවක් සංවිධානය කිරීම ඉතා වැදගත් බවත් සඳහන් කළ කථානායකවරයා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය ඇතුලු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පළ කළේය.මෙම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ ජනතාව ඉතාම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දී ඇති මොහොතක ජනතා අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීම සියලු මන්ත්‍රීවරයන්ගේ ප්‍රධාන අපේක්ෂාව විය යුතු බවයි. පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ තිබූ මතය වෙනස් කරමින්  යන ගමනේ දී මන්ත්‍රීවරයාට විශාල වගකීමක් පැවරෙන බව ද ඇය පෙන්වා දුන්නාය.පසුගිය කාලවකවානුව තුළ සිදු වූ දේශපාලන, සමාජ පරිවර්තනයෙන් මහජනතාව තුළ තිබෙන දේශපාලන පරිනතභාවය පිළිබිඹු වන බවත්, එම පණිවිඩය තේරුම් ගත් පිරිසක් ලෙස මහජන නියෝජිතයන්ට සුවිසාල වගකීමක් නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ට පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. ඒ සඳහා කැපවීමෙන් වැඩ කරන ලෙසත් මෙම වැඩමුළුව ඒ සඳහා රුකුලක් බවත් ඇය පෙන්වා දුන්නාය. මෙවර පාර්ලිමේන්තුව, මෙරට ඉතිහාසයේ සුවිශේෂි පාර්ලිමේන්තුවක් බවත් වැඩිම කාන්තා නියෝජනයකින් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 22කින් සමන්විත පාර්ලිමේන්තුවක් වීම වඩාත් සාධනීය ඉදිරි පියවරක් බවත් සඳහන් කළාය.විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කරමින්, මහජන නියෝජිතයන් හරහා කෙරෙන කාර්යභාරය පුරවැසියාට වඩාත් සමීප කිරීමට කටයුතු කළ යුතු බවට ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කරනු ලැබීය. මන්ත්‍රීවරයන් ලෙස පාර්ලිමේන්තු ක්‍රමවේදය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්ත විය යුතු බවද එතුමා වැඩිදුරටත් පැවසීය.පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයන් 162 ක්ම  නවක මන්ත්‍රීවරයන් වීම දසවැනි පාර්ලිමේන්තුවේ  සුවිශේෂී ලක්ෂණයක් බව පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. සුවිශේෂී දැනුමක් ඇති, අත්දැකීම් බහුල නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ඔස්සේ පවත්වනු ලබන මෙම වැඩමුළුවෙන් සියලුම මන්ත්‍රීවරයන් උපරිම ප්‍රයෝජන ගනු ලබනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවට මහ ‌ලේකම්තුමිය තවදුරටත් පැවසුවාය.මෙහිදී පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ පරිචයන් පිළිබඳව ගරු මන්ත්‍රීවරයන්ට පැහැදිළි කිරීමක් සිදු කළ අතර කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව දැනුවත් කිරීම සිදුකරන ලදී.මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, සභානායක අමාත්‍ය ගරු බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වූහ.නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස සංවිධානය කර තිබෙන මෙම වැඩමුළුවේ පළමු දිනය වූ අද දිනයේදී මන්ත්‍රීවරයන් 168 දෙනෙක් සහභාගී වූ අතර හෙට (26) සහ අනිද්දා  (27) දෙදින ද වැඩමුළුව පැවැත්වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks