E   |     |  

2024-11-25

පුවත් කාණ්ඩ : පුවත් 

ජනතා අභිලාශයන් වඩාත් තීව්‍රව ඇති මොහොතක එම අපේක්ෂා ඉටු කිරීමට පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ පරිචය ඉතා වැදගත් - කථානායක ගරු ආචාර්ය අශෝක රන්වල දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරයන්ට පවසයි

  • සිදුවූ පරිවර්තනය හරහා මහජනතාව තුළ තිබෙන දේශපාලන පරිනතභාවය තේරුම් ගෙන කටයුතු කිරීමට මහජන නියෝජිතයන්ට සුවිසාල වගකීමක් පැවරී තිබෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
  • විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කරමින්, මහජන නියෝජිතයන් හරහා පාර්ලිමේන්තුව පුරවැසියාට වඩාත් සමීප කිරීමට කටයුතු කළ යුතුයි  -  විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස
  • මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයන් 162ක්ම නවක මන්ත්‍රීවරයන් වීම සුවිශේෂී ලක්ෂණයක් - කුෂානි රෝහණදීර, පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්

 

ජනතා අභිලාශයන් වඩාත් තීව්‍රව ඇති මොහොතක එම අපේක්ෂා ඉටු කිරීමට පාර්ලිමේන්තු   ක්‍රමවේදයන් පිළිබඳ පරිචය ඉතා වැදගත් බව කථානායක ගරු ආචාර්ය අශෝක රන්වල මහතා අද පාර්ලිමේන්තුවේදී අභිනව මන්ත්‍රීවරුන්ට පැවසීය. දසවැනි පාර්ලිමේන්තුවට අභිනවයෙවන් තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් සංවිධානය කර තිබෙන දැනුවත් කිරීමේ වැඩමුළුවේ අද (නොවැ. 25) පැවති සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් එතුමා මෙම අදහස් පළකළේය.

පාර්ලිමේන්තුව තුළ විවිධ පක්ෂ සහ දේශපාලන නියෝජිතයන් සිදුකරන සංවාද තුළින් ජනතාවට සේවය කිරීමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යනාදිය පිළිබඳව මනා අවබෝධය සහ දැනුම අත්‍යවශ්‍ය බැවින් මෙවැනි වැඩමුළුවක් සංවිධානය කිරීම ඉතා වැදගත් බවත් සඳහන් කළ කථානායකවරයා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය ඇතුලු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පළ කළේය.

මෙම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ ජනතාව ඉතාම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දී ඇති මොහොතක ජනතා අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීම සියලු මන්ත්‍රීවරයන්ගේ ප්‍රධාන අපේක්ෂාව විය යුතු බවයි. පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ තිබූ මතය වෙනස් කරමින්  යන ගමනේ දී මන්ත්‍රීවරයාට විශාල වගකීමක් පැවරෙන බව ද ඇය පෙන්වා දුන්නාය.

පසුගිය කාලවකවානුව තුළ සිදු වූ දේශපාලන, සමාජ පරිවර්තනයෙන් මහජනතාව තුළ තිබෙන දේශපාලන පරිනතභාවය පිළිබිඹු වන බවත්, එම පණිවිඩය තේරුම් ගත් පිරිසක් ලෙස මහජන නියෝජිතයන්ට සුවිසාල වගකීමක් නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ට පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. ඒ සඳහා කැපවීමෙන් වැඩ කරන ලෙසත් මෙම වැඩමුළුව ඒ සඳහා රුකුලක් බවත් ඇය පෙන්වා දුන්නාය. මෙවර පාර්ලිමේන්තුව, මෙරට ඉතිහාසයේ සුවිශේෂි පාර්ලිමේන්තුවක් බවත් වැඩිම කාන්තා නියෝජනයකින් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 22කින් සමන්විත පාර්ලිමේන්තුවක් වීම වඩාත් සාධනීය ඉදිරි පියවරක් බවත් සඳහන් කළාය.

විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කරමින්, මහජන නියෝජිතයන් හරහා කෙරෙන කාර්යභාරය පුරවැසියාට වඩාත් සමීප කිරීමට කටයුතු කළ යුතු බවට ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කරනු ලැබීය. මන්ත්‍රීවරයන් ලෙස පාර්ලිමේන්තු ක්‍රමවේදය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්ත විය යුතු බවද එතුමා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයන් 162 ක්ම  නවක මන්ත්‍රීවරයන් වීම දසවැනි පාර්ලිමේන්තුවේ  සුවිශේෂී ලක්ෂණයක් බව පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. සුවිශේෂී දැනුමක් ඇති, අත්දැකීම් බහුල නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ඔස්සේ පවත්වනු ලබන මෙම වැඩමුළුවෙන් සියලුම මන්ත්‍රීවරයන් උපරිම ප්‍රයෝජන ගනු ලබනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවට මහ ‌ලේකම්තුමිය තවදුරටත් පැවසුවාය.

මෙහිදී පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ පරිචයන් පිළිබඳව ගරු මන්ත්‍රීවරයන්ට පැහැදිළි කිරීමක් සිදු කළ අතර කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව දැනුවත් කිරීම සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, සභානායක අමාත්‍ය ගරු බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස සංවිධානය කර තිබෙන මෙම වැඩමුළුවේ පළමු දිනය වූ අද දිනයේදී මන්ත්‍රීවරයන් 168 දෙනෙක් සහභාගී වූ අතර හෙට (26) සහ අනිද්දා  (27) දෙදින ද වැඩමුළුව පැවැත්වේ.




සම්බන්ධිත පුවත්

2024-11-22

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරයන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව නොවැම්බර් 25, 26 සහ 27

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024 නොවැම්බර් මස 25, 26 සහ 27 යන දිනයන්හි දී පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී  පැවැත්වීමට කටයුතු යොදා ඇත. නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස මෙම වැඩමුළුව මෙවරද සංවිධානය කර තිබේ.ලබන 25 වැනි සදුදා පෙ.ව. 9.30 ට පැවැත්වෙන මෙම වැඩමුළුවේ සමාරම්භය සඳහා අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ගරු ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය ගරු බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ. මෙම තෙදින වැඩමුළුවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම ට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර, මන්ත්‍රීවරයන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.තවද දුෂණ විරෝධී පනත මගින් ස්ථාපිත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් පිළිබඳව මෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ කාර්යභාරය පිළිබඳව ද දැනුවත් කිරීමට නියමිතයි.එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්යාංශ ප්‍රධානීන් විසින් ඒ ඒ අංශ මගින්  පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ගේ දායකත්ව හා කාර්යයන් පිළිබඳවද මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට නියමිතයි. 


2024-11-22

දසවැනි පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවේ ඡායාරූප


2024-11-21

දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරය‍ා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා තේරී පත් වෙයි

•    නියෝජ්‍ය කථානායක ධුරය ජාතික ජන බලවේගයේ වෛද්‍ය රිස්වි සාලි මහතාට...•    නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය ජාතික ජන බලවේගයේ හේමාලි වීරසේකර මහත්මියට... දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධුරයට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය අශෝක රන්වල මහතා ඒකමතිකව තේරී පත්විය. අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රන්වල මහතාගේ නම යෝජනා කරන ලද අතර අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලදී.අනතුරුව කථානායකවරයාගේ නම යෝජනා ස්ථිර කළ අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් සාම්ප්‍රදායිකව නව කථානායකවරයා සිය අසුන වෙත කැඳවාගෙන යෑම සිදුවිය. මෙහිදී කථානායකවරයා විසින් තමා පත්කිරීම පිළිබඳව කෙටි ස්තූතිය පිරිනැමීමක් සිදු කළ අතර අනතුරුව කථානායකවරයා විසින් මහලේකම්වරිය ඉදිරියේ සිය ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දෙන ලදී. අනතුරුව අනෙකුත් සියලු මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම සිදුවිය.ඉන්පසු නව කථානායකවරයාගේ තේරී පත්වීම පිළිබඳ අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, සමගි ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක ගරු රවුෆ් හකීම් යන මහත්ම මහත්මීහු සුභාශිංෂණ එක් කළහ.   කථානායක ධුරයට තමා පත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ කථානායකවරයා පවසා සිටියේ රටේ උත්තරීතරම ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය, ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට කැපවන බවයි.  එසේම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා පිළිවෙත් අනුව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අපෙක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය. එසේම රටේ ජනතාව අපේක්ෂා කරන නව දේශපාලන සංස්කෘතියක් සහිතව පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩාත් ඵලදායිව ක්‍රියාත්මක කිරීමට උපරිම කැපවන බවත් කථානායකවරයා සඳහන් කළේය. තවද පාර්ලිමේන්තු කාරක සභා යාන්ත්‍රණය වඩාත් විධිමත්  කිරිීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවත් පැවසූ කථානායකවරයා පාර්ලිමේන්තු කටයුතුවලදී ආදර්ශවත් ලෙස සහ  විනයානුකූලව දායකත්වය ලබා දෙන ලෙසත් වැඩිදුරටත් සියලු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.ආචාර්ය ගරු අශෝක රන්වල මහතා ජාතික ජන බල‍වේගය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුමේන්තුවට තේරී පත් විය.  ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ඒ මහතා වර්තමානයේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකු වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ බියගමදී උපත ලද රන්වල මහතා මූලික අධ්‍යාපනය බියගම යටිහේන ප්‍රාථමික විදුහලෙන් සහ උසස් අධ්‍යාපනය ගම්/හෙනේගම මධ්‍ය මහා විදුහලෙන් ලබා තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධිධාරියෙක් වන නව කථානායකවරයා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ජෛව රසායනය පිළිබඳ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර තිබේ. බියගම ප්‍රාදේශීය සභාවේ සහ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත.මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි මහතා තේරී පත්වූ අතර ඒ මහතාගේ නම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අමාත්‍ය ගරු සරෝජා පෝල්රාජ් යන මහත්ම මහත්මීහූ යෝජනා ස්ථිර කළහ.ගරු වෛද්‍ය මොහාමඩ් රිස්වි සාලි මහතා ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකු වන අතර ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික සංසදයේ ද සාමාජිකයෙකි. දශක තුනකට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇති ඒ මහතා 2024 මහ මැතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්විය.තවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා  ගරු හේමාලි වීරසේකර මහත්මිය ඒකමතිකව තේරී පත් වූවාය. අමාත්‍ය ගරු  සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඇගේ නම යෝජනා කරන ලද අතර ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ස්ථිර කරන ලදී. හේමාලි වීරසේකර මහත්මිය ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරියකි. කොළඹ යසෝධරා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති ඇය වෘත්තියෙන් වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරිනියක ලෙස සේවය කොට තිබේ. ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික සහ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා විධායක සභික ලෙස කටයුතු කර ඇති වීරසේකර මහත්මිය මහර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරියක් ද වේ.


2024-11-21

පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩ භාර ගනී

පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ගරු බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලවලදී අද පස්වරුවේ වැඩ භාර ගැනීම සිදුවිය.ධීවර අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකරන්, සභානායක ලේකම් ජනකාන්ත සිල්වා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් ජනක ජයසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks