පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
වත්මන් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව’ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දෙනු ලැබූ අතර එම සංශෝධනයේ සහතිකය සටහන් කරන ලද්දේ 2022 ඔක්තෝබර් 31 වැනිදා ය.
41අ ව්‍යවස්ථාව අනුව (මෙහි මින්මතු “සභාව” ලෙස ද සඳහන් කෙරෙන) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය පහත පරිදි වේ:-
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ (2) ව්‍යවස්ථාව අනුව කථානායකවරයා සභාවේ සභාපතිවරයා විය යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉහත එක් එක් ගණයේ සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලැබිය යුතු ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විස්තර කෙරේ. ඉහත (ඉ) අනු ඡේදයෙහි දක්වන ලද තැනැත්තන් පස් දෙනා නම් කිරීමේදී, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා, හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින්, වෘත්තීය හා සාමාජීය විවිධත්වය ඇතුළුව ශ්‍රී ලාංකීය සමාජයේ බහුත්ත්ව ලක්ෂණය මෙම සභාවේ සංයුතිය තුළින් පිළිබිඹු වන බව සහතික කළ යුතු ය.
ඉහත (ඉ) අනු ඡේදය යටතේ පත් කරනු ලැබීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන තැනැත්තන් විශිෂ්ටත්වයෙන් හා අවංකභාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේ දී කීර්තියට පත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන තැනැත්තන් විය යුතු ය. එම නාමයෝජනා පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබිය යුතු ය.
නිල බලයෙන් පත් වන සාමාජිකයන් නොවන සභාවේ සාමාජිකයින්ගේ ධුර කාලය පත් කරන ලද දින සිට අවුරුදු තුනකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධාන අනුගමනය කරමින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පහත පරිදි පත් කරන ලදී:
ගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ (1) (ඈ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජිත හේරත් මහතා පත් කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ (1) (ඉ) (i) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකඟත්වය ඇතිව ගරු අග්‍රාමාත්‍යතුමා විසින් කරන ලද නිර්දේශ මත ගරු ජනාධිපතිතුමා විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා සභාවේ සාමාජිකයකු ලෙස පත් කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ (1) (ඉ) (ii) ව්‍යවස්ථාව අනුව විරුද්ධ පක්ෂයේ නායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකඟත්වය ඇතිව ගරු විපක්ෂ නායකතුමා විසින් කරන ලද නිර්දේශ මත ගරු ජනාධිපතිතුමා විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සභාවේ සාමාජිකයකු ලෙස පත් කරන ලදී.
ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂී අනුලා විජේසුන්දර, ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයින් තිදෙනා ලෙස පත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(5) ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසින් ඉහත සඳහන් නාමයෝජනා 2023.01.18 වැනි දින අනුමත කරන ලද අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ (1) (ඉ) (iii) ව්‍යවස්ථාව ප්‍රකාරව ගරු කථානායකතුමාගේ නාමයෝජනා කිරීම මත ගරු ජනාධිපතිතුමා විසින් එකී තැනැත්තන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කරන ලදී.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වත්මන් සංයුතිය පහත පරිදි වේ:—
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ (1)(ඊ) ව්‍යවස්ථාව අනුව පත් කරනු ලැබිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පත්වීම තවමත් සිදු කිරීමට නියමිතව ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙන්ම අනෙකුත් නීති මගින්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත කාර්යයන් හා කර්තව්‍යයන් පැවරී ඇත.
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ වන ව්‍යවස්ථාවේ උපලේඛනයෙහි දක්වා ඇති කොමිෂන් සභාවල සභාපතිවරයන් සහ සාමාජිකයින් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත නාමයෝජනා නිර්දේශ කිරීම
41ආ වන ව්‍යවස්ථාවේ උපලේඛනයෙහි දක්වා ඇති කොමිෂන් සභා:
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ වන ව්‍යවස්ථාවේ උපලේඛනයෙහි දක්වා ඇති ධුරයන්ට පත් කිරීම් සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන නාමයෝජනා අනුමත කිරීම / අනුමත නොකිරීම.
41ඇ වන ව්‍යවස්ථාවේ උපලේඛනයෙහි දක්වා ඇති ධුරයන්:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වෙන යම් ලිඛිත නීතියක් මගින් සභාව වෙත පනවනු හෝ පවරනු ලැබිය හැකි වෙනත් කාර්යයන් සහ කර්තව්‍යයන් කිරීමට සහ ඉටුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ(2) ව්‍යවස්ථාව මගින් සභාව වෙත විධිවිධාන සලසා දෙනු ලැබේ.
පහත සඳහන් නීති තුළ දක්වා ඇති කාර්යයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අදාළ නීති මගින් ප්‍රතිපාදන සලසා ඇත:
සභාව විසින් සෑම මාස තුනකට ම වරක් ඊට පෙරාතුව වූ මාස තුන තුළ එහි කටයුතු පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත සහ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුත්තේය.
ස්වකීය කාර්ය හා කර්තව්‍ය කිරීමට හා ඉටු කිරීමට අදාළව රීති සෑදිමට සභාවට බලය ඇත. එකී සියලු රීති ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, එකී පළ කිරීමෙන් මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඉ ව්‍යවස්ථාව ප්‍රකාරව, සෑම මාසයකම අවම වශයෙන් දෙවාරයක් සභාව රැස්විය යුතු අතර, අවශ්‍ය විය හැකි තාක් වාර ගණනක් රැස්විය හැකිය.
සභාවේ සභාපතිවරයා සභාවේ සියලු රැස්වීම්වල මුලාසනය දැරිය යුතු අතර, සභාපතිවරයා පැමිණ නොමැති අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයා ද, අග්‍රාමාත්‍යවරයා පැමිණ පැමිණ නොමැති අවස්ථාවකදී විපක්ෂයේ නායකවරයා ද සභාවේ රැස්වීම්වල මුලාසනය දැරිය යුත්තේය.
සභාවේ ඕනෑම රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයින් පස් දෙනෙකු විය යුතුය. සභාව විසින් කරනු ලැබිය යුතු සෑම නිර්දේශයක්, අනුමත කිරීමක් හෝ ගනු ලබන සෑම තීරණයක් ම ඒකමතිකව තීරණය කිරීමට සභාව විසින් උත්සාහ දරනු ලැබිය යුතු අතර, ඒකමතික තීරණයක් නොමැති අවස්ථාවක දී සභාවේ රැස්වීමට පැමිණ සිටින සභාවේ සාමාජිකයින් පස් දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් සනාථ කළ හොත් මිස, සභාව විසින් කරන ලද යම් නිර්දේශයක්, අනුමත කිරිමක් හෝ ගනු ලැබූ යම් තීරණයක් හෝ බල සහිත නොවිය යුත්තේය. සභාවේ රැස්වීමක දී තීරණයක් ගත යුතුව තිබෙන කරුණක් සම්බන්ධයෙන් බෙදීමක් ඇති අවස්ථාවක දී, සභාවේ සභාපතිවරයාට හෝ මුලසුන දරන සාමාජිකයාට මූලික ඡන්දයක් හිමි නොවන අතර, ඡන්ද සමාන වූ අවස්ථාවක තීරක ඡන්දයක් හිමි වේ.
41ආ ව්‍යවස්ථාව ප්‍රකාරව හෝ 41ඇ ව්‍යවස්ථාව ප්‍රකාරව යම් පත්කිරීමක් සඳහා සුදුසු තැනැත්තන්ගේ නම් නිර්දේශ කිරීමේදී හෝ අනුමත කිරීමේදී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටි ද ඇතුළුව, සභාවේ රැස්වීම් සම්බන්ධ කාර්ය පටිපාටිය සහ එම රැස්වීම් වලදී සභාවේ කටයුතු සිදු කළ යුතු ආකාරය සභාව විසින් තීරණය කරනු ලැබිය යුතු ය.
සභාවේ මහ ලේකම්වරයා සභාව විසින් අවුරුදු තුනක (03) කාලයක් සඳහා පත් කරනු ලැබිය යුතුය.
සභාව විසින් නිශ්චය කරනු ලබන කොන්දේසි සහ නියමයන් ප්‍රකාරව, ස්වකීය කාර්යයන් ඉටු කිරීම සඳහා අවශ්‍ය යැයි සභාව විසින් සලකනු ලබන නිලධාරීන් සභාව විසින් පත් කරනු ලැබිය යුතු ය.
ඩබ්ලිව්. බී. ඩී දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වර්තමාන මහ ලේකම්වරයා වේ.
සාමාජික
සාමාජික
සාමාජික
සාමාජික
සාමාජික
ආචාර්ය ප්‍රතාප් රාමානුජම් මහතා
සාමාජික
වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර මහත්මිය
සාමාජික
ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය
සාමාජික
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks