E   |     |  

2025-01-22

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ නියෝගය ඇතුළු ගැසට් පත්‍ර කිහිපයකට මුදල් කාරක සභාවේ අනුමතිය...

  • එරාවුර්  විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපය තුළ ආයෝජකයෙක් විසින් ආරම්භ කළ විශේෂ ව්‍යාපෘතියක් සඳහා විධිවිධාන සැලසීමට අදාළ නිවේදනයට ද කාරක සභාවේදී අනුමතිය
  • සහල් ආනයනයේදී අය කළ රු. 65ක බදු මුදලින් රු. බිලියන 10.9 ක ආදායමක්...

 

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් කාරක සභාව ඊයේ (ජන. 21) රැස්වූ අවස්ථාවේදී මීට අදාළ අනුමතිය ලබා දීම සිදුවිය.

2018 වසරේදී ලබාදුන් අමාත්‍ය මණ්ඩල අනුමතිය මත සිංගප්පූරුව සමඟ එළැඹි නිදහස් වෙළඳ ගිවිසුම 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නියෝගය නිකුත් කර තිබූ අතර විවිධ හේතුමත මෙය ක්‍රියාත්මක වීම ප්‍රමාද වී ඇති බවත් නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ. මෙම ගිවිසුම යටතේ භාණ්ඩ හා සේවා, ආයෝජන කටයුතු, බුද්ධිමය දේපළ හිමිකම්, විදුලි සංදේශ, ඊ- වානිජ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වී ඇත. මේ අනුව රේගු ආනයන බද්ද (CID) සඳහා අදාළ වන තීරුබදු ලිහිල්කරණය සහ ආනනයනයේදී පනවා ඇති අනෙකුත් බදු වන සෙස් (CESS) බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන (PAL) බද්ද සම්බන්ධිත තීරුබදු ලිහිල්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීම සිදුවේ. කාණ්ඩ කිහිපයක් යටතේ තීරුබදු ලිහිල් කිරීම සිදුවන ආකාරය නිලධාරීහු දීර්ඝ ලෙස කාරක සභාවට පැහැදිළි කළහ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපය තුළ ආයෝජකයෙක් විසින් ආරම්භ කර ඇති විශේෂ ව්‍යාපෘතියක් සඳහා බදුසහන සැලසීමට අදාළ නිවේදනය ද කාරක සභාවේදී නැවත සළකා බැලීමෙන් අනතුරුව අනුමතිය ලබාදීම සිදුවිය. 2022 වසරේ එළැඹි ගිවිසුමකට අනුව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ මෙම නිවේදනය පළකර තිබිණි. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජිතයෙකු විසින් මෙම ව්‍යාපෘතියේ වැදගත්කම ‍කාරක සභාවට පැහැදිළි කළ අතර රෙදිපිළි නිෂ්පාදනයට අදාළ රෙදිපිළි වර්ණ ගැන්වීම, රෙදි විවීම ආදි කාර්යයන් එකම භූමියක සිදුවේ. ඇ.ඩො මිලියන 35ක මෙම ව්‍යාපෘතියෙන් විදේශ විනිමය වියදම් අඩු කිරීම අරමුණු කර ගෙන ඇති අතර දේශීය රැකියා අවස්ථා 490ක් පමණ ඇතිවේ.

ඇගලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ අනෙකුත් රටවලට සමගාමීව තරගකාරී වෙළඳපල අත්පත් කරගැනීමට මෙවැනි ව්‍යාපෘති වැදගත් බව පෙන්වා දුන් කාරක සභාව ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට සමත්  සමානාත්මතාවයෙන් යුතු බදු ප්‍රතිපත්පතියක අවශ්‍යතාවය ද  අවධාරණය කරන ලදී.
 
මේ අතර ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවූ අතර සහල් ආනයන  බලපත්‍ර පාලනය තාවකාලිකව ඉවත් කිරීම සඳහා විධිවිධාන සැලස්වීම පිණිස මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබිණි. 2025 ජනවාරි 10 දක්වා සහල් ආනයනය සඳහා අවස්ථාව හිමිවූ බවත් මෙම කාලය තුළ සහල් ආනයනයේදී අය කළ රු. 65ක බදු මුදලින් රු. බිලියන 10.9 ක ආදායමක් රජයට හිමිවූ බවත් ඔවහු පෙන්වා දුන්හ.  තවද සහල් හිඟය සඳහා හේතුවන කාරණා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ පාර්ශ්ව සහල් නිෂ්පාදනය ‍සහ තොග පවත්වා ගැනීම ඇතුළු  අදාළ නිවැරදි දත්ත පවත්වා ගැනීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.                   

එසේම  මීට පෙර කාරක සභාවේදී සළකා බැලුණු ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි නැවත සලකා බලා අනුමතිය ලබාදීම ද මෙහිදී සිදුවිය. ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන  ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය සඳහා මෙම රෙගුලාසි හදුන්වා දී තිබිණි. එසේම මාස තුනක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කොට  ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන  ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනයට අදාළ රෙගුලාසිවල ගැටලු පවතීනම් නැවත සමාලෝචනය කරන ලෙස ද දැනුම් දුන්නේය.  

මේ රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ චතුරංග අබේසිංහ යන මහත්වරුන්ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්වන රවී කරුණානායක, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.



සම්බන්ධිත පුවත්

2025-06-02

2024 දී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වියදම් කරලා - ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වෙයි

Glocal Fair වැඩසටහන සඳහා කැබිනට් අනුමතිය ලැබීමට පෙර ආරම්භ කරලා, කැබිනට් පත්‍රිකාව වැඩසටහන යන අතරතුර අමාත්‍ය මණ්ඩල අනුමතියට ඉදිරිපත් කරලා .2013දී සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ  රටවිරු නිවාස ණය වැඩසටහන, අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව කටයුතු සිදු නොකිරීම නිසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු  මිලියන 100 තවම ලැබී නෑශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය  නියාමන කාර්යයෙන්  බැහැර වෙලා - කෝප් කමිටුව 2024 දී  වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ  නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.  කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය  විසින් 2024 වසරේදී විගමනික සංගම් සාමාජිකයින්  5000 කගේ සහභාගිත්වයෙන්  පළාත් මට්ටමේ  රැස්වීම 3ක් පැවැත්වීම සඳහා වූ විගමනික හරසර  වැඩසටහන සඳහා  රු. මිලියන 63කට අධික  මුදලක් හා  විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන විසින් සපයනු ලබන  සේවාවන්, සේවා ලාභීන් පදිංචි ස්ථානවලදීම ලබා ගත හැකිවන පරිදි දිවයින පුරා පැවැත්වූ Glocal Fair  වැඩසටහන සඳහා  රු  මිලියන 1259 කට අධික  මුදලක්ද වැයවූ බව  කෝප් කමිටුවේදී අනාවරණය විය.මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022, 2023 මූල්‍ය  වර්ෂවල  විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා Glocal Fair  වැඩසටහන කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් අදාළ කැබිනට් පත්‍රිකාව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරු අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම  මෙවැනි  වැඩසටහන්  පැවැත්වීම සඳහා වාර්ෂිකව  අයවැයෙන්  රුපියල් මිලියන 2ක් පමණක් වෙන් කර ඇති බවත්, රු.  මිලියන 1259 ක මුදලක් තරම් විශාල මුදලක් ඒ සඳහා වැයකර ඇති බවත් එවැනි මුදලක් වැයකිරීමේ අරමුණු ඉටුකර ගත හැකිවුයේද යන්න පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.තවද මෙම Glocal Fair වැඩසටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී  ,වෙළඳ කුටියක්  රුපියල්  එක්ලක්ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත්තද පසුව  වෙළඳ  කුටියක් ලක්ෂ 5ක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන්ද කාරක  සභාව විමසා  සිටියේය. කෙසේ වෙතත් ඵලදායී  වැඩසටහන්වලට යෙදවීමට තිබු මුදල් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීම තුළින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.එමෙන්ම 2013 වසරේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ  “රටවිරුවෝ”  නිවාස ණය වැඩසටහන,  වසර 05කට  අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව සිදු කර නොමැති බවත් ඒ හේතුවෙන් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු  මිලියන 100ක මුදල තවම ලැබී නොමැති බවත් කාරක සභාවේදී අනාවරණය විය. කෙසේ වෙතත් එම ලැබිය යුතු මුදල ලබා දීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මේ වනවිට එකඟ වී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. මෙහිදී කාරක සභාව විසින් මෙම නිවාස ණය ලබාදීමේ වැඩසටහන මගින් කොපමණ පිරිසකට අදාළ ණය පහසුකම ලබා දී තිබේද යන්න නිලධාරීන්ගෙන් විමසා  සිටි අතර එවැනි දත්තයක් ඔවුන් සතුව නොපවතින බව ඔවුහු  කාරක සභාවට දැන්වූහ. ඒ අනුව මෙම වැඩසටහන පිළිබඳව කිසිදු පසු විපරමක් සිදුව නොමැති බව පැවසු කාරක සභා සභාපතිවරයා මෙම රටවිරුවෝ  නිවාස ණය වැඩසටහන පිළිබදව ආරම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.කෙසේ වෙතත් මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වී කටයුතු  කර ඇති බව පෙන්වා දුන්හ. වර්තමානය වනවිට බිලියන 18ක්ව පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාවර තැන්පතු වඩාත් ඵලදායී  ලෙස යෙදවීමට සැළසුම්  සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවයද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.තවද අක්‍රීයව පවතින,  2023 දෙසැම්බර් 31 වැනි දිනට බිලියන 5.1 ක ශේෂයක් පවතින කුවේට් වන්දි අරමුදල සඳහා ගනු ලබන ක්‍රියාමර්ග පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව එම මුදල භාවිතා කර ගෘහ සේවය සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට අවශ්‍ය පුහුණුවීම්  ලබාදීමටත් ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමටත් සැළසුම් සකස් කර ඇති බව  නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.එමෙන්ම මෙහිදී  රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයින්  මාර්ගයෙන්  අයතා  ලෙස  රැකියා ඒජන්සි  සිදුකල මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. එහිදී  රැකියාවක් සඳහා ඒජන්සියක් මාර්ගයකින් තොරව  ස්වයං  පිටත්ව යන සෑම ශ්‍රමිකයෙක්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වියයුතු බවත් ඒ සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු  බවත් කාරක සභාවේදී කරුණු පැහැදිලි විය. එමෙන්ම ඒජන්සි මගින් ශ්‍රමිකයින් රැකියා  සඳහා යොමු කිරීමේදී ද එම ශ්‍රමිකයින් සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත් එම මුදලින් 70%ක් නැවත අදාළ ඒජන්සි සඳහා ගෙවන බවත් කාරක සභාවෙදී අවධාරණය කෙරිණි. කෙසේ වෙතත් ස්වයං පිටත්ව යන ශ්‍රමිකයින්, ඒජන්සි මගින් පිටත්වන ශ්‍රමිකයින් ලෙස හුවා දක්වමින් වංචා සහගතව සිදු කර තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කරුණු සෙවීමට අනු කමිටුවක් පත්කිරීමට කාරක සභා සභාපතිවරයා තීරණය කළේය. මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න,මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ,  මයිල්වාගනම් ජෙගදීස්වරන්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා , සුජීව දිසානායක, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ ,ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන,  (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත , ලක්මාලි හේමචන්ද්‍ර  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2025-05-28

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාට

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තේරී පත්විය.ඊයේ (මැයි 27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය. මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වය පළවී තිබිණි.                             ඒ අනුව සභාපති ධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා විසින් ස්ථිර කරන ලදී.අනතුරුව ලබන ජූනි 05 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව ඇති ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන කිහිපයක නිලධාරීහු ඊට සහභාගී වූහ. ගමනාගමන කොමිෂන් සභාව දීර්ඝ කාලයක් මුළුල්ලේ මුහුණ දුන් ප්‍රායෝගික ගැටලුවලට විසදුම් සඳහා ප්‍රතිපාදන ඇතුළත් කරමින් මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බව නිලධාරීහු මෙහිදී පැවසූ අතර ඊට කාරක සභාවේ අනුමතිය හිමිවිය. ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවිය විය යුතු මූලික වෙනස්කම් පිළිබඳව ද මූලික කරුණු  මෙහිදී සාකච්ඡා විය.මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සුරවීර ආරච්චි, ධනුෂ්ක රංගනාත්, අසිත නිරෝෂණ එගොඩ විතාන සහ ශාන්ත පත්ම කුමාර සුබසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.


2025-05-27

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාට

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා තේරී පත්විය.අද (මැයි 27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය.දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත ආංශික අධීක්ෂණ කාරක සභා 7 අතුරින් ආණ්ඩු පාර්ශවය වෙත හිමි සභාපති ධුර 4ට අයත් මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය සඳහා වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ නම ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ මහත්මිය විසින් ස්ථිර කරන ලදී.එසේම මෙම කාරක සභා රැස්වීමේදී, 2025.06.03 වැනි දින දෙවැනිවර කියවීමට නියමිත පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව එයට අනුමතිය හිමි විය.ඒ අනුව, ජුනි මස 03 වැනි අඟහැරුවාදා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) කෙටුම්පතට අදාළව දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් වන ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ලසිත් භාෂණ ගමගේ, නීතිඥ හසාරා ලියනගේ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2025-05-26

නීති සම්පාදන ක්‍රියාවලිය වඩාත් ඵලදායීව සිදු කිරීමටත්, යහපාලන මූලධර්ම ආරක්ෂා කරමින් අවශ්‍ය දැනුම සහ මෙවලම් වලින් පාර්ලිමේන්තු කාරක සභා සන්නද්ධ වීම අත්‍යවශ්‍යයි - ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ආංශික අධීක්ෂණ කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් උදෙසා පැවතී සම්මන්ත්‍රණයේදී පවසයි

නීති සම්පාදන ක්‍රියාවලිය වඩාත් ඵලදායී සිදු කිරීමටත්, යහපාලන මූලධර්ම ආරක්ෂා කරමින් අවශ්‍ය දැනුම සහ මෙවලම් වලින් පාර්ලිමේන්තු කාරක සභා සන්නද්ධ වීම අත්‍යවශ්‍ය බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.ගරු කථානායකවරයා මේ අදහස් පළකලේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබාගැනීම සඳහා පවතින ක්‍රම සහ විධි පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම උදෙසා පසුගිය 22 සහ 23 දිනවලදී පැවත්වෙන දෙදින සම්මන්ත්‍රණයේ පළමු දිනය ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අවස්ථාවේදීය.ජාත්‍යන්තර සාමය සහ නීතියේ ආධිපත්‍යය සඳහා වූ මැක්ස් ප්ලාන්ක් පදනමේ (Max Planck Foundation) සහයෝගයෙන් මෙම සමන්ත්‍රණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සංවිධානයකර තිබුණි.මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙම සම්මන්ත්‍රණ මගින් ලබාගන්නා අත්දැකීම් භාවිතා කර ගරු මන්ත්‍රීවරයන්ට ආංශික අධීක්ෂණ කාරක සභාවල කාර්යයන් වඩාත් සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබෙන බව පැවසුවේය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව සහයෝගය දැක්වීම වෙනුවෙන් ජාත්‍යන්තර සාමය සහ නීතියේ ආධිපත්‍යය සඳහා වූ මැක්ස් ප්ලාන්ක් පදනමට සිය කෘතඥතාව පළකල කථානායකවරය නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ධාරිතා වර්ධනය කිරීමට උපකාරීවී තිබෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.ජෙනෝවා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එන්රිකෝ ඇල්බනේසි [(Professor) Enrico Albanesi], මැක්ස් ප්ලාන්ක් පදනමේ පර්යේෂණ සහකාර ප්‍රවීන් චාකෝ නිනන් (Praveen Chacko Ninan), මැක්ස් ප්ලාන්ක් පදනමේ නීති උපදේශිකා මෙත්මිණි විජේසිංහ යන මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පවැත්විණි.සම්මන්ත්‍රණයේ ආරම්භක දේශනය සිදුකරමින් මැක්ස් ප්ලාන්ක් පදනමේ පර්යේෂණ සහකරු ප්‍රවීන් චාකෝ නිනන් මහතා විසින් ව්‍යවස්ථාදායකමය කටයුතු වෙනුවෙන් පවතින ශිල්පීය ක්‍රම පිළිබඳ කරුණු දක්වමින් පනත් කෙටුම්පත් සමාලෝචනය කර විශ්ලේෂණය කරන ආකාරය පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කළේය. තවද පනත් කෙටුම්පත් තක්සේරු කිරීම සඳහා වන ප්‍රායෝගික ශිල්පීය ක්‍රම සහ ප්‍රමිතීන් පිළිබඳව ද ඒ මහතා මන්ත්‍රීවරයන් දැනුවත් කළේය.එමෙන්ම මහාචාර්ය එන්රිකෝ ඇල්බනේසි මහතා මන්ත්‍රීවරයන් දැනුවත් කරමින් පනත් කෙටුම්පත්, නීතියේ ආධිපත්‍යයට අනුකූල සලකා බලන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළේය. ඒ සඳහා පවතින නීති රීති, විවිධ මාර්ගෝපදේශයන් හා මුලධර්මයන් ගෙනහැර දක්වමින් මන්ත්‍රීවරයන් දැනුවත් කළේය.මෙම වැඩසටහන සඳහා විරුද්ධ පක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු සභානායක කාර්යාලය, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සහ විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks