E   |     |  

2025-03-08

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

සුරා බද්ද ඉහළ දැමීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය…

දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට ගත් පියවරයන් සාධාරණීකරණය කරන්න - කාරක සභා සභාපතිගෙන් නිලධාරීන්ට උපදෙස්.

තෙවන පාර්ශ්වීය රක්ෂණය (3rd party insurance) හරහා අදාළ රක්ෂණ මුදල් ලබාගැනීම සරල කරන්න - කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්.

සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත්කල යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය මාර්තු 06 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
 
මෙදින කාරක සභාව හමුවේ (52 වන අධිකාරය වූ ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියමයක්, 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 112 වගන්තිය යටතේ නියෝග සලකා බැලීම සිදුවිය.

ඒ අනුව 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියෝගය හා (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය කාරක සභාවේදී සලකා බැලිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිලධාරීහු 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියෝගය මගින් මෝටර් රථ, දුම්වැටි හා පැනි බීම සහ දුම්කොළ ඇතුළු රුපියල් වටිනාකමින් නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදන බද්දට යටත්ව සියලුම අයිතම මත වන නිෂ්පාදන බද්ද 5.9% කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව පැවසූහ. එමෙන්ම (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය යටතේ මත්පැන් වර්ග මත වූ සුරා බද්ද ද, 5.9% කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
 
මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා නිශ්චිත දත්ත නොමැතිව මෙලෙස දුම්වැටි සඳහා වූ නිෂ්පාදන බද්ද ඉහළ දැමීම අනුමත කළ නොහැකි බවත් දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීම ගත් පියවරයන් සාධාරණිකරණය කිරීමක් අවශ්‍ය බවත් පැවසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙම දුම්වැටි වල බදු අදායම් පිළිබඳව සිදුකළ අධ්‍යයනය වලින් පෙන්නුම් කර ඇත්තේ මෙම ගණනය කිරීම් ඔස්සේ රජයට ලැබෙන අදායම අඩු බවත් අදාළ නිෂ්පාදන සමාගම්වලට ලැබෙන ලාභය වර්ධනය වී ඇති බවත් පැසුවේය. ඒ අනුව මෙම බදු පැනවීම ඔස්සේ රජයට ලාභ ලබෙන ආකාරය පිළිබඳව කරක සභාවට සහතික කිරීම වැදගත් බවත් සභාපතිවරයා අවධාරණය කළේය. එබැවින් මීලග කාරක සභාව රැස්වන දිනයේදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් වලින් අනතුරුව නිෂ්පාදන බද්ද වැඩි කිරීම සඳහා වූ මෙම 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියමය නැවත කාරක සභාව තුළ සලකා බැලීමට සභාපතිවරයා තීරණය කළේය.

එමෙන්ම (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය මගින් මත්පැන් වර්ග මත වූ සුරා බද්ද ඉහළ දැමීම පිළිබඳව යෝජනාව කරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් ගරු මන්ත්‍රීවරයන් මෙලෙස බදු වැඩි කිරීම ඔස්සේ පුද්ගලයින් නීති විරෝධී මත්පැන් භාවිතය හා නිෂ්පාදනය සඳහා යොමුවීමට පවතින අවස්ථාව පිළිබඳව නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. ඊට පිළිතුරු දුන් නිලධාරීහු එම නීතිවිරෝධී මත්පැන් වැටලීම් විධිමත් අයුරින් සිදුවන බව පැවසූහ.එමෙන්ම මේ වසරේ ගතවූ මාස දෙක තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 22% හා අදායම 23% වර්ධනය වී ඇති බව පැවසුහ. තවද නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට ද සැළසුම් කර ඇති බව පැවසුවේය.

තවද 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 112 වගන්තිය යටතේ නියෝග කාරක සභාවේ දී සලකා බලා අනුමත කරන ලදී. එමගින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙහි (IRCSL) වැඩි වූ වියදම් සපුරාලීම සඳහා වාර්ෂික ගාස්තුව රක්ෂණ ව්‍යාපාරවල දළ ලිඛිත වාරිකයෙන් 0.125% සිට 0.2% දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.

මෙහිදී සභාපතිවරයා යම් යම් අවස්ථාවල ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් නිසියාකාරව නියාමන කටයුතු සිදුනොවීම පිළිබඳව කාරක සභාව දැනුවත් කළේය. MBSL මුල්‍ය ආයතනයේ ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන්, පවතින නීතිය යටතේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ක්‍රියාමාර්ග ගැනීම මන්දගාමීවීම පිළිබඳව සභාපතිවරයා සිය අප්‍රසාදය පළකළේය. එම ආයතනය වෙනුවෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙසටද සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම රක්ෂණය මෙරට කර්මාන්තයක් ලෙස වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් සැලසුම් ඇතුළත්, ඉදිරි වැඩ පිළිවෙල සකස් කර ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.

තවද තෙවන පාර්ශ්වීය රක්ෂණය (3rd party insurance) හරහා අදාළ මුදල් ලබා ගැනීමේදී පවතින සංකීර්ණ බවද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා විය. එහිදී යම් අනතුරකදී තෙවන පාර්ශවීය රක්ෂණය ලබා ගත් පිරිස් සඳහා එම රක්ෂණ මුදල් පහසුවෙන් ලබා ගත හැකි ආකාරයට අවශ්‍ය සරල නීති සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභාව විසින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අවධානයට යොමු කරන ලදී.

එමෙන්ම රක්ෂණ වල තැන්පත් කර ඇති මුදල්, බැංකු මගින් සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවීමට ඇති හැකියාව පිළිබඳව ද සභාපතිවරයා කාරක සභාවේ අවධානය යොමු කළේය. ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාගෙන අදාළ කර්මාන්ත ආයතන හා සාකච්ඡා කර රෙගුලාසි මාලාවක් සකස් කර ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් ලබාදුන්නේය.

මෙදින කාරක සභාව තුල කැසිනෝ බදු පිළිබදවද සාකච්ඡා විය. එහි දී භෞතිකව පවතින කැසිනෝ ශාලා වලින් බදු අයකර ගත්තද අන්තර්ජාලය මගින් ක්‍රියාත්මක විශාල කැසිනෝ ව්‍යාපාර සංඛ්‍යාවක් පවතින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව එම අන්තර්ජාල කැසිනෝ හරහා කිසිදු බදු මුදලක් අයකර ගැනීමක් සිදුනොවීම පිළිබඳව නිලධාරීන්ගේ අවධානයට යොමු කරමින් මෙම තත්ත්වය පාලනය කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළේය. ඒ වෙනුවෙන් කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා මෙම කාරක සභාව වසර ගණනක සිට උත්සාහ කරන බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ සඳහා වූ පනත් කෙටුම්පත් හැකි ඉක්මනින් අවසන් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවද දැනුවත් කිරීමට කටයුතු කරන බව පැවසුවේය

මේ රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම, චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.




සම්බන්ධිත පුවත්

2025-06-02

2024 දී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වියදම් කරලා - ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වෙයි

Glocal Fair වැඩසටහන සඳහා කැබිනට් අනුමතිය ලැබීමට පෙර ආරම්භ කරලා, කැබිනට් පත්‍රිකාව වැඩසටහන යන අතරතුර අමාත්‍ය මණ්ඩල අනුමතියට ඉදිරිපත් කරලා .2013දී සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ  රටවිරු නිවාස ණය වැඩසටහන, අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව කටයුතු සිදු නොකිරීම නිසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු  මිලියන 100 තවම ලැබී නෑශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය  නියාමන කාර්යයෙන්  බැහැර වෙලා - කෝප් කමිටුව 2024 දී  වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ  නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.  කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය  විසින් 2024 වසරේදී විගමනික සංගම් සාමාජිකයින්  5000 කගේ සහභාගිත්වයෙන්  පළාත් මට්ටමේ  රැස්වීම 3ක් පැවැත්වීම සඳහා වූ විගමනික හරසර  වැඩසටහන සඳහා  රු. මිලියන 63කට අධික  මුදලක් හා  විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන විසින් සපයනු ලබන  සේවාවන්, සේවා ලාභීන් පදිංචි ස්ථානවලදීම ලබා ගත හැකිවන පරිදි දිවයින පුරා පැවැත්වූ Glocal Fair  වැඩසටහන සඳහා  රු  මිලියන 1259 කට අධික  මුදලක්ද වැයවූ බව  කෝප් කමිටුවේදී අනාවරණය විය.මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022, 2023 මූල්‍ය  වර්ෂවල  විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා Glocal Fair  වැඩසටහන කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් අදාළ කැබිනට් පත්‍රිකාව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරු අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම  මෙවැනි  වැඩසටහන්  පැවැත්වීම සඳහා වාර්ෂිකව  අයවැයෙන්  රුපියල් මිලියන 2ක් පමණක් වෙන් කර ඇති බවත්, රු.  මිලියන 1259 ක මුදලක් තරම් විශාල මුදලක් ඒ සඳහා වැයකර ඇති බවත් එවැනි මුදලක් වැයකිරීමේ අරමුණු ඉටුකර ගත හැකිවුයේද යන්න පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.තවද මෙම Glocal Fair වැඩසටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී  ,වෙළඳ කුටියක්  රුපියල්  එක්ලක්ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත්තද පසුව  වෙළඳ  කුටියක් ලක්ෂ 5ක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන්ද කාරක  සභාව විමසා  සිටියේය. කෙසේ වෙතත් ඵලදායී  වැඩසටහන්වලට යෙදවීමට තිබු මුදල් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීම තුළින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.එමෙන්ම 2013 වසරේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ  “රටවිරුවෝ”  නිවාස ණය වැඩසටහන,  වසර 05කට  අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව සිදු කර නොමැති බවත් ඒ හේතුවෙන් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු  මිලියන 100ක මුදල තවම ලැබී නොමැති බවත් කාරක සභාවේදී අනාවරණය විය. කෙසේ වෙතත් එම ලැබිය යුතු මුදල ලබා දීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මේ වනවිට එකඟ වී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. මෙහිදී කාරක සභාව විසින් මෙම නිවාස ණය ලබාදීමේ වැඩසටහන මගින් කොපමණ පිරිසකට අදාළ ණය පහසුකම ලබා දී තිබේද යන්න නිලධාරීන්ගෙන් විමසා  සිටි අතර එවැනි දත්තයක් ඔවුන් සතුව නොපවතින බව ඔවුහු  කාරක සභාවට දැන්වූහ. ඒ අනුව මෙම වැඩසටහන පිළිබඳව කිසිදු පසු විපරමක් සිදුව නොමැති බව පැවසු කාරක සභා සභාපතිවරයා මෙම රටවිරුවෝ  නිවාස ණය වැඩසටහන පිළිබදව ආරම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.කෙසේ වෙතත් මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වී කටයුතු  කර ඇති බව පෙන්වා දුන්හ. වර්තමානය වනවිට බිලියන 18ක්ව පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාවර තැන්පතු වඩාත් ඵලදායී  ලෙස යෙදවීමට සැළසුම්  සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවයද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.තවද අක්‍රීයව පවතින,  2023 දෙසැම්බර් 31 වැනි දිනට බිලියන 5.1 ක ශේෂයක් පවතින කුවේට් වන්දි අරමුදල සඳහා ගනු ලබන ක්‍රියාමර්ග පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව එම මුදල භාවිතා කර ගෘහ සේවය සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට අවශ්‍ය පුහුණුවීම්  ලබාදීමටත් ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමටත් සැළසුම් සකස් කර ඇති බව  නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.එමෙන්ම මෙහිදී  රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයින්  මාර්ගයෙන්  අයතා  ලෙස  රැකියා ඒජන්සි  සිදුකල මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. එහිදී  රැකියාවක් සඳහා ඒජන්සියක් මාර්ගයකින් තොරව  ස්වයං  පිටත්ව යන සෑම ශ්‍රමිකයෙක්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වියයුතු බවත් ඒ සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු  බවත් කාරක සභාවේදී කරුණු පැහැදිලි විය. එමෙන්ම ඒජන්සි මගින් ශ්‍රමිකයින් රැකියා  සඳහා යොමු කිරීමේදී ද එම ශ්‍රමිකයින් සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත් එම මුදලින් 70%ක් නැවත අදාළ ඒජන්සි සඳහා ගෙවන බවත් කාරක සභාවෙදී අවධාරණය කෙරිණි. කෙසේ වෙතත් ස්වයං පිටත්ව යන ශ්‍රමිකයින්, ඒජන්සි මගින් පිටත්වන ශ්‍රමිකයින් ලෙස හුවා දක්වමින් වංචා සහගතව සිදු කර තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කරුණු සෙවීමට අනු කමිටුවක් පත්කිරීමට කාරක සභා සභාපතිවරයා තීරණය කළේය. මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න,මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ,  මයිල්වාගනම් ජෙගදීස්වරන්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා , සුජීව දිසානායක, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ ,ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන,  (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත , ලක්මාලි හේමචන්ද්‍ර  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2025-05-28

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාට

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තේරී පත්විය.ඊයේ (මැයි 27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය. මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වය පළවී තිබිණි.                             ඒ අනුව සභාපති ධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා විසින් ස්ථිර කරන ලදී.අනතුරුව ලබන ජූනි 05 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව ඇති ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන කිහිපයක නිලධාරීහු ඊට සහභාගී වූහ. ගමනාගමන කොමිෂන් සභාව දීර්ඝ කාලයක් මුළුල්ලේ මුහුණ දුන් ප්‍රායෝගික ගැටලුවලට විසදුම් සඳහා ප්‍රතිපාදන ඇතුළත් කරමින් මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බව නිලධාරීහු මෙහිදී පැවසූ අතර ඊට කාරක සභාවේ අනුමතිය හිමිවිය. ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවිය විය යුතු මූලික වෙනස්කම් පිළිබඳව ද මූලික කරුණු  මෙහිදී සාකච්ඡා විය.මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සුරවීර ආරච්චි, ධනුෂ්ක රංගනාත්, අසිත නිරෝෂණ එගොඩ විතාන සහ ශාන්ත පත්ම කුමාර සුබසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.


2025-05-27

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාට

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා තේරී පත්විය.අද (මැයි 27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය.දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත ආංශික අධීක්ෂණ කාරක සභා 7 අතුරින් ආණ්ඩු පාර්ශවය වෙත හිමි සභාපති ධුර 4ට අයත් මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය සඳහා වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ නම ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ මහත්මිය විසින් ස්ථිර කරන ලදී.එසේම මෙම කාරක සභා රැස්වීමේදී, 2025.06.03 වැනි දින දෙවැනිවර කියවීමට නියමිත පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව එයට අනුමතිය හිමි විය.ඒ අනුව, ජුනි මස 03 වැනි අඟහැරුවාදා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) කෙටුම්පතට අදාළව දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් වන ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ලසිත් භාෂණ ගමගේ, නීතිඥ හසාරා ලියනගේ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2025-05-26

නීති සම්පාදන ක්‍රියාවලිය වඩාත් ඵලදායීව සිදු කිරීමටත්, යහපාලන මූලධර්ම ආරක්ෂා කරමින් අවශ්‍ය දැනුම සහ මෙවලම් වලින් පාර්ලිමේන්තු කාරක සභා සන්නද්ධ වීම අත්‍යවශ්‍යයි - ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ආංශික අධීක්ෂණ කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් උදෙසා පැවතී සම්මන්ත්‍රණයේදී පවසයි

නීති සම්පාදන ක්‍රියාවලිය වඩාත් ඵලදායී සිදු කිරීමටත්, යහපාලන මූලධර්ම ආරක්ෂා කරමින් අවශ්‍ය දැනුම සහ මෙවලම් වලින් පාර්ලිමේන්තු කාරක සභා සන්නද්ධ වීම අත්‍යවශ්‍ය බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.ගරු කථානායකවරයා මේ අදහස් පළකලේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබාගැනීම සඳහා පවතින ක්‍රම සහ විධි පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම උදෙසා පසුගිය 22 සහ 23 දිනවලදී පැවත්වෙන දෙදින සම්මන්ත්‍රණයේ පළමු දිනය ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අවස්ථාවේදීය.ජාත්‍යන්තර සාමය සහ නීතියේ ආධිපත්‍යය සඳහා වූ මැක්ස් ප්ලාන්ක් පදනමේ (Max Planck Foundation) සහයෝගයෙන් මෙම සමන්ත්‍රණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සංවිධානයකර තිබුණි.මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙම සම්මන්ත්‍රණ මගින් ලබාගන්නා අත්දැකීම් භාවිතා කර ගරු මන්ත්‍රීවරයන්ට ආංශික අධීක්ෂණ කාරක සභාවල කාර්යයන් වඩාත් සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබෙන බව පැවසුවේය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව සහයෝගය දැක්වීම වෙනුවෙන් ජාත්‍යන්තර සාමය සහ නීතියේ ආධිපත්‍යය සඳහා වූ මැක්ස් ප්ලාන්ක් පදනමට සිය කෘතඥතාව පළකල කථානායකවරය නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ධාරිතා වර්ධනය කිරීමට උපකාරීවී තිබෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.ජෙනෝවා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එන්රිකෝ ඇල්බනේසි [(Professor) Enrico Albanesi], මැක්ස් ප්ලාන්ක් පදනමේ පර්යේෂණ සහකාර ප්‍රවීන් චාකෝ නිනන් (Praveen Chacko Ninan), මැක්ස් ප්ලාන්ක් පදනමේ නීති උපදේශිකා මෙත්මිණි විජේසිංහ යන මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පවැත්විණි.සම්මන්ත්‍රණයේ ආරම්භක දේශනය සිදුකරමින් මැක්ස් ප්ලාන්ක් පදනමේ පර්යේෂණ සහකරු ප්‍රවීන් චාකෝ නිනන් මහතා විසින් ව්‍යවස්ථාදායකමය කටයුතු වෙනුවෙන් පවතින ශිල්පීය ක්‍රම පිළිබඳ කරුණු දක්වමින් පනත් කෙටුම්පත් සමාලෝචනය කර විශ්ලේෂණය කරන ආකාරය පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කළේය. තවද පනත් කෙටුම්පත් තක්සේරු කිරීම සඳහා වන ප්‍රායෝගික ශිල්පීය ක්‍රම සහ ප්‍රමිතීන් පිළිබඳව ද ඒ මහතා මන්ත්‍රීවරයන් දැනුවත් කළේය.එමෙන්ම මහාචාර්ය එන්රිකෝ ඇල්බනේසි මහතා මන්ත්‍රීවරයන් දැනුවත් කරමින් පනත් කෙටුම්පත්, නීතියේ ආධිපත්‍යයට අනුකූල සලකා බලන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළේය. ඒ සඳහා පවතින නීති රීති, විවිධ මාර්ගෝපදේශයන් හා මුලධර්මයන් ගෙනහැර දක්වමින් මන්ත්‍රීවරයන් දැනුවත් කළේය.මෙම වැඩසටහන සඳහා විරුද්ධ පක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු සභානායක කාර්යාලය, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සහ විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks