E   |     |  

2025-03-24

පුවත් කාණ්ඩ : පුවත් 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය අග්‍රාමාත්‍යවරියගේ සහ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

5 වැනි වරටත් සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී 2025.03.21 දින පැවැත්විණි.

ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.

ගෘහස්ථ ක්‍රීඩා ඉසව් 07 ක් යටතේ පැවති තරඟාවලියේ  ස්නූකර් තරග ඉසව්වේ අවසන් තරගය මෙහිදී අග්‍රාමාත්‍යතුමිය සහ කථානායකතුමා ඉදිරියේදී පැවැත්විණි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් අතර පැවති මෙම තරගය ජයගත් ඩී.වී. චානක මහතාට මෙහිදී ස්නූකර් තරග අංශයේ ශූරතාව හිමිවිය.  

එසේම මෙහිදී පැවති ප්‍රදර්ශනාත්මක මිශ්‍ර යුගල මේස පන්දු තරගයේ ජය නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහ නීතිඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීහු හිමිකරගත්හ. මෙහිදී අනෙක් යුගලය ලෙස  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වරුණ ලියනගේ සහ නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්ම මහත්මීහු තරගයට එක්ව සිටියහ.

තරගාවලියේ දාම්  තරඟ අංශයේ ශූරතාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.එච්.එම්. ධර්මසේන මහතා දිනාගැනීමට සමත් විය. එහි අනුශූරතාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා විසින් දිනා ගනු ලැබීය.

මේසපන්දු (පිරිමි) තරඟ අංශයේ ශූරතාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතාට ද අනුශූරතාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාට ද හිමි විය.

තරගාවලියේ මේසපන්දු (කාන්තා) අංශයේ ජය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය දිනාගත් අතර අනුශූරතාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය විසින් දිනා ගන්නා ලදී.
 
චෙස් තරග අංශයේ ශූරතාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා ද  අනුශූරතාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බණ්ඩාර මහතා විසින් ද දිනා ගන්නා ලදී.

එසේම කැරම් අංශයේ ශූරතාව දිනා ගැනීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා සමත් විය. එහි අනුශූරතාව දිනා ගනු ලැබුවේ ගරු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතායි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාට පූල් තරග අංශයේ ශූරතාව හිමි වූ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක  මහතා විසින් එම අංශයේ අනුශූරතාව දිනා ගන්නා ලදී.

මෙහිදී ජයග්‍රාහක මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන්ට සුබපැතැම් එක්කරමින් ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියේ අතිශය කාර්යබහුල වකවානුවක මානසික සුවතාව මෙන්ම මන්ත්‍රීවරු අතර සුහදතාව වැඩිකිරීමට  ක්‍රීඩාව ඉවහල් වන බවයි. එසේම මෙම තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ට ඇය ස්තූතිය පළ කළාය.

මෙම ක්‍රීඩා තරඟාවලියේදී තරඟ විනිශ්චය සදහා පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයේ තරංග අබේසිංහ සහ සමීර සංජීව යන මහත්වරු දායකත්වය දැක්වූහ.

ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු සභානායක අමාත්‍ය බිමල් රත්නායක, ගරු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ  යන මහත්ම මහත්මීහු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න,  වේත්‍රධාරි කුෂාන් ජයරත්න යන මහත්ම මහත්මීහු  ඇතුළු පිරිසක්ද  එක්ව සිටියහ.

 




සම්බන්ධිත පුවත්

2025-03-25

ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත් වෙයි

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත් විය.ඒ ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගිය මාර්තු 21 වන දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය. මෙම අවස්ථාවට ප්‍රධාන අරධිතා ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා සහභාගී විය.‍මේ අතර ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර තේරී පත් විය. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, චීනය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනක සිට පවත්වාගෙන එනු ලබන දිගුකාලීන ද්විපාර්ශ්වික සංස්කෘතික,දේශපාලන සබඳතාවය සිහිපත් කළේය. පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මෙම සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවක් බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. එසේම දෙපාර්ශ්වයටම උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ආර්ථික, වෙළඳ, අධ්‍යාපන, තාක්ෂණික වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමේ වැදගත්කමත් ඒ සදහා මෙම සංගමයේ නව වගකීම්වලට පවත්වන නිලධාරීන් ක්‍රියාශීලිව වැඩකටයුතු කළ යුතු බවත් කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.එමෙන්ම මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා මිත්‍රත්ව සංගමය ඔස්සේ දෙරට අතර අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද ශ්‍රී ලංකාව හා චීනය, තම අසීරු අවස්ථාවලදී ඉතා මිත්‍රශීලීව අන්‍යොන්‍ය වශයෙන් සහයෝගයෙන් වැඩ කටයුතු කිරීම පිළිබඳව ද සිහිපත් කළ ඒ මහතා චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නව නිලධාරි මුඩුල්ලට සිය ශුභාසිංසන පළ කළේය.සංගමයේ සභාපතිත්වයට තේරී පත්වීම පිළිබඳව සිය කෘතඥතාව පළ කරමින්, නව සභාපති, ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා, දීර්ඝ කාලයක් තිස්සේ චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් පළ මිත්‍රශීලි සහයෝගය ඇගයීමට ලක් කළේය. විශේෂයෙන් අධ්‍යාපන හා වෙළද කර්මාන්ත වැනි ක්ෂේත්‍රවල චීනය සතු දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ සභාපතිවරයා ශ්‍රී ලංකා - චීන සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස සියලුම සාමාජිකයින්ට ආරාධනා කළේය. එමෙන්ම මෙහිදී පසුගිය චීන-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකා නියෝජිතයින් වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් හා වැඩමුළු මෙම පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ට ද ලබා දෙන මෙන් ඉල්ලීමක්ද සිදු කළේය.මෙහිදී ස්තූති කතාව සිදුකමින් සංගමයේ ලේකම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, මෙම සංගමය තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක සිට පවතින සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව අවධාරණය කළේය.මෙම අවස්ථව සඳහා ගරු විපක්ෂ නායකතුමන්, ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.


2025-03-21

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවයි

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.ඒ අනුව අයදුම්කරුවන් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි www.parliament.lk ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම' නමින් පළ කර ඇති තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව අයදුම්පත්‍ර සකස් කළ යුතුය.එසේ සම්පුර්ණ කරන අයදුම්පත්‍ර 2025 අප්‍රේල් 1 වැනි දින හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් පණිවිඩයේ විෂයය වශයෙන් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.සබැඳිය: https://www.parliament.lk/si/secretariat/advertisements/view/329


2025-03-21

2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මතයි

පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (මාර්තු 21) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන්  සම්මත විය.විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 7.40ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව  ඡන්ද 159 ක්ද විපක්ෂ  ඡන්ද 45 ක්ද  හිමිවිය. ඒ අනුව 2025 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 114 කින්  පාර්ලිමේන්තුවේ දී සම්මත විය.2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව පෙබරවාරි 18 සිට 25 දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි. ඒ අනුව පෙබරවාරි 25 වැනි දින පැවති විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109 කින්  පාර්ලිමේන්තුවේදි  සම්මත විය.  අනතුරුව  විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට අද  (21) දක්වා දින 19 ක් පැවැත්විණි.මේ අතර අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළේය.ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 3  දරන  විසර්ජන පනත ලෙස  බලාත්මක වේ. 


2025-03-21

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වියට්නාම් ජාතික සභාවේ උප සභාපතිවරයා (නියෝජ්‍ය කථානායක) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමුවෙයි

දූත පිරිස අග්‍රාමාත්‍යවරිය, නියෝජ්‍ය කථානායකවරයා සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද හමුවෙයිශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම කෘෂිකර්මය, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය ඇතුළු අංශ ගණනාවක සබඳතා පුළුල් කිරීමට පියවර... මාර්තු 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේ සිව්දින නිල සංචාරයක නිරතව සිටින වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික සභාවේ ගරු උප සභාපති (නියෝජ්‍ය කථානායක) නුයෙන් ඩක් හායි (Nguyen Duc Hai) මහතා ඇතුළු පාර්ලිමේන්තු දූත පිරිසක් 2025.03.20 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි මෙම දූත පිරිසට වියට්නාම් ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් ඇතුළත් වූ අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙම සංචාරයේ අරමුණයි.1970 දී පිහිටුවන ලද ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන එකිනෙකාගේ කැපවීම දෙපාර්ශ්වය විසින් මෙම හමුවේදී අවධාරණය කෙරිණි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ වටිනාකම් මත පදනම් වූ දිගුකාලීන සහ සමීප සම්බන්ධතාවයක් පවතින බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.වියට්නාමයේ නිල සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපතිවරයා කළ ආරාධනය ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගෙන ඇති බවත් එම නිල සංචාරය 2025 මැයි මාසයේදී සිදු කිරීමට නියමිත බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.සංවර්ධන අංශයෙන් වියට්නාමය ලබා ඇති ජයග්‍රහණ ගරු කථානායක වික්‍රමරත්න මහතාගේ ඇගයීමට ලක්වූ අතර, වියට්නාමය සමඟ වෙළඳ, ආයෝජන සහ සංචාරක සබඳතා ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකික ආයෝජකයින් දැනටමත් වියට්නාමයේ ඇමරිකානු ඩොලර් මිලියන 45 කට ආසන්න ආයෝජන සිදුකර ඇති බවත්, එමඟින් රැකියා 15,000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය වී ඇති බවත් කථානායකවරයා පෙන්වා දුන්නේය. වියට්නාම ආයෝජකයින්ට ශ්‍රී ලංකාව තුළ ආහාර සැකසීම, කෘෂිකර්මාන්තය සඳහා ශීතාගාර ස්ථාපිත කිරීම සහ කෘෂි තාක්‍ෂණය යන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කරන ලෙස කථානායකවරයා මෙහිදී ආරාධනා කළේය. එමෙන්ම මෙරට දැරිය හැකි මිලකට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ලබා ගැනීම සඳහා අවස්ථා වැඩිදියුණු කිරීම සහ ඒ ආශ්‍රිත කුසලතා සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම මගින් කුඩා පරිමාණයේ ගොවීන්ට තාක්ෂණික සහාය ලබා දීම සඳහා දෙරට අතර සහයෝගීතාව වැඩිකිරීමට මැදිහත් වන ලෙසද කථානායකවරයා ඉල්ලීමක් කළේය.මෙහිදී අදහස් පළකළ වියට්නාම් ජාතික සභාවේ සභාපති (නියෝජ්‍ය කථානායක) ගරු නුයෙන් ඩක් හායි මහතා, ශ්‍රී ලංකාව මෑත කාලීනව ළගා කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව සිය සුබ පැතුම් එක් කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වියට්නාමය කැපවීමෙන් කටයුතු කරන බව අවධාරණය කළ ඒ මහතා වෙළඳාම සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ස්ථාපනය කිරීම සඳහා වියට්නාමය අපේක්ෂා කරන බවද වියට්නාම් ජාතික සභාවේ සභාපතිවරයා පැවසීය.අවබෝධතා ගිවිසුමක් (MOU) හරහා දෙරටේ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳ දෙපාර්ශ්වයේම එකඟතාවය මෙහිදී පළ කෙරිණි. ඩිජිටල්කරණය හරහා පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීම පිළිබඳව ද මෙහිදී අදහස් පළවිය.දූත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය ද හමුවූ අතර අග්‍රාමාත්‍යධුරයට ඇයගේ පත්වීම පිළිබඳව සුබ පැතුම් පිරිනමමින් දෙරට අතර ද්වීපාර්ශවීය සබඳතා ශක්තිමත් කිරීම සඳහා වියට්නාමයේ කැපවීම නැවත අවධාරණය කළේය. එමෙන්ම දෙරට අතර දේශපාලන සබඳතා වැඩි දියුණු කිරීමට, ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට සහ නිදහස් වීසා ක්‍රියාවලියක් සහ සෘජු ගුවන් ගමන් හඳුන්වාදීම පිළිබඳව අවධානය යොමු කිරීමට ද දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළකළ අතර ඒ සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.මෙම පාර්ලිමේන්තු සංචාරයේදී ගරු නුයෙන් ඩක් හායි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර දෙපාර්ශ්වයම දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම අවධාරණය කළහ.දෙරට අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා වෙළඳ හා ඩිජිටල් ආර්ථික අංශවල සහයෝගීතාවය සඳහා ඇති අවස්ථා සොයාබැලීමට නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ඩිජිටල් ආර්ථික ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුද හමුවිය.ශ්‍රී ලංකා-වියට්නාම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින්ද වියට්නාම නියෝජිත පිරිස හමුවූ අතර දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 55 ක් පිරීම සනිටුහන් කිරීම සඳහා වියට්නාම් ජාතික සභාවේ උප සභාපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.වියට්නාම දූත පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තුවේ කටයුතු නැරඹීමට එක්වූ අතර ඔවුන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංචාරයකට ද සහභාගී විය.මෙම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ගරු ට්‍රින් ති ටම්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks