පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-03-26
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දසවැනි පාර්ලිමේන්තුව සඳහා පළමුවැනි රැස්වීම පසුගියදා (මාර්තු 19) දින කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පසුගිය
කාලයේ ඇතිවූ බහාලුම් තදබදය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක්
නිදහස් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙහිදී විමසීම් සිදුකළහ. මෙය රජයේ
වුවමනාව මත සිදුකළායැයි රජයට ඇතැම් පාර්ශ්ව දේශපාලනිකව චෝදනා කරන බවත් ඒ
අනුව මේ සම්බන්ධයෙන් නිවැරදි පැහැදිළි කිරීමක් නිලධාරීන්ගේ පාර්ශ්වයෙන්
සමාජගත කළ යුතු බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙහිදී අදහස් දක්වමින් රේගු
අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙවැනි තදබදයකදී අනුගමනය කරන තාක්ෂණික
ක්‍රමවේදයක් ලෙස මීට පෙර අවස්ථා 4කදීත් මෙලෙස කන්ටේනර් නිදහස් කර ඇති
බවයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් භාණ්ඩාගාර නියෝජ්‍ය
ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් ඔවුන්ට මෙම කරුණු
වාර්තා කළ බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය. මන්ත්‍රීවරු පෙන්වා
දුන්නේ මේ සම්බන්ධයෙන් රජය අපහසුතාවයට පත් කරමින් ව්‍යාජ තොරතුරු සංසරණය වන
බැවින් ඉතා පැහැදිළිව මෙම සිදුවිීමට අදාළ කරුණු නිරවුල් විය යුතු බවයි.
සමාජ
සුබසාධන මණ්ඩලය විසින් අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා මීට පෙර රැස්කළ
තොරතුරුවල ගැටලු පවතින බව මන්ත්‍රීවරු මෙහිදී කාරක සභාවේ අවධානයට යොමු කළහ.
මේ සඳහා දත්ත රැස්කිරීමේදී රාජ්‍ය නිලධාරීන් එයට අකමැත්ත පළ කිරීම
හේතුවෙන් විවිධ පුද්ගලයන් මෙයට සම්බන්ධ වූ බවත් ඒ හරහා දත්ත එකතු කිරීමේදී
සිදුවූ අඩුපාඩු සිදුවූ බවත් සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා
මෙහිදී පැවසීය. ඉල්ලුම්පත්‍ර ලක්ෂ 8කට ආසන්න ලැබූ බවත් මින් ලක්ෂ 7කට ආසන්න
ප්‍රමාණයක් සංගණන කටයුතු අවසන් බවත් ඒ අනුව පෙර පැවති අඩුපාඩු සකස් කර ලබන
ජූලි වන විට එම කටයුතු අවසන් කරන බවත් ඔහු පැවසීය. සංගණනයේදී සත්‍ය
වශයෙන් ප්‍රතිලාභ හිමිවිය යුතු ප්‍රද්ගලයන් ඉවත් නොවීමට වගබලා ගතයුතු බවත්
මන්ත්‍රීවරු අවධාරණය කළහ. එසේම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමේ වෙනස්වීම් සකසා
ගැනීම වැනි සුළු යාවත්කාලීන කිරීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා
සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ අවශ්‍යතාවයත් ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ.
අස්වැසුම ලාභීන්ට වැඩිහිටි දීමනාව ලබාදීමේදී ප්‍රතිලාභියාටම එය නොලැබී පවුලේ සාමාජිකයෙකුගේ බැංකු ගිණුමට බැරවීම හරහා ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් අදාළ මුදල තැපැල් කාර්යාල හරහා පමණක් ලබා ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ද ඉල්ලීමක් ද ඉදිරිපත් විය. මෙහිදී සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සමග සාකච්ඡාකර වඩාත් ප්‍රායෝගික තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවයි.
දේශීය ආදයම් පනත සංශෝධනය කිරීම මගින් 15% ක සේවා අපනයන බද්දක් අයකිරීම පිළිබඳව ද මන්ත්‍රීවරු මෙහිදී කරුණු විමසූහ. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ සාධාරණ බවේ මූලධර්මය යොදා ගනිමින් මෙම 15% උපරිම සීමාවකට යටත්ව මෙම පියවර ගත්බවයි. එසේම මෙම මෙම 15% අගය ලැබෙන ආදායම මත අය කරන බවට වැරදි මතයක් සමාජගතවන බවත් එම බද්ද ආදායමට නොව ලාභයට පමණක් අයකරන බවත් ඔවුහු පෙන්වා දුන්හ. එසේම එක් රටකදී බදු ගෙවනු ලැබූ විට නැවත බදු අයකිරීම වැළැක්වීමට හෙවත් ද්විත්ව බදුකරණය වැළැක්වීමට පියවර ගෙන ඇති බවත් ඔවහු පෙන්වා දුන්හ.
එසේම 36%ක උපරිම සීමාවකට යටත්ව අනෙකුත් පුද්ගලයන් ආදායම් බදු ගෙවන පසුබිමක මෙම බදු අය කිරීම 15%ක උපරිම සීමාවකට යටත්ව සිදුකරන බවත් අගය මීට පෙර මේ සදහා යෝජනාවී තිබූ 30%ක අගය අඩකින් අඩුකර 15% අගයට ගෙනා බවත් නියෝජ්‍ය අමාත්‍යවරු පෙන්වා දුන්හ. ඒ අනුව සමාජ සාධාරණත්වය පදනම් කරගනිමින් සියලු දෙනා බදුකරණයට යටත් කර ගැනීම වෙනුවෙන් ගත් මෙම තීරණයෙන් කිසිවකුටත් අගතියක් සිදු නොවන බවත් ඔවුහු අවධාරණය කළහ.
2024 වසරේ ජන හා නිවාස සංගණනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු විය. නිලධාරීන් 40000ක ප්‍රමාණයක් පුහුණුවකින් අනතුරුව මීට යොදවාගත් බවත් එම කටයුතු අවසන් අදියරේ ඇති බවත් මෙහිදි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ. සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ දත්ත මත පදනම්ව බැවින් නිවැරදි දත්ත රැස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී මන්ත්‍රීවරු අවධාරණය කළහ.
පැරණි පනත් වෙනුවට නව ජන සංඛ්‍යාලේඛන පනතක් කෙටුම්පත් කර ඇති බවත් ඒ අනුව ඉදිරියේදී වඩාත් විශ්වසනීයව දත්ත රැස්කිරීම සඳහා ක්‍රමවේදයක් හදුන්වාදීමට අපේක්ෂා කරන බවත් එම නිලධාරීහු කාරක සභාවට පැවසූහ.
අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2025-10-29
සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් ‘කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය’ තෝරාගෙන - ශක්‍යතා අධ්‍යන වාර්තාවක් ලබාගෙනත් නෑ - කෝපා කමිටුව ප්‍රශ්න කරයි. වයඹ පළාත් සභාව සහ කුරුණෑගල මහනගර සභාව එකාබද්ධව සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා ලංසු කැඳවා කොන්ත්‍රාත්කරුවෙකු සමඟ ගිවිසුම් ගත වුවද, ඒ සම්බන්ධයෙන් පවත්නා අධීක්ෂණ කටයුත්තක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නැවතී ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණ විය. මෙවැනි ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ප්‍රථම, ශක්‍යතා අධ්‍යන වාර්තාවක් ලබාගත යුතු වුවත් එය ලබාගෙන නොමැති බවත් මෙහිදී හෙළි විය. තවද, විශේෂිත ස්වරූපයේ ඉදිකිරීමක් නොවන සයමහල් සමාන්‍ය කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෝරාගෙන තිබීම ගැටලු සහගත බව ද කෝපා කමිටුව විසින් අවධාරණය කරන ලදී.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ වයඹ පළාත් සභාවේ 2023, 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2025.10.23 වන දින රැස්වී අදාළ නිලධාරින් කැඳවූ අවස්ථාවේදීය.ඒ අනුව, මෙම ඉදිකිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට නැවත කැඳවීමක් කරනු ලබන බවත්, මාසයක් ඇතුළත මේ ගොඩනැගිල්ලේ ව්‍යාපෘතියට අදාළ නිර්දේශ, ප්‍රසම්පාදන, තාක්ෂණික, කමිටු අදාළ සියලු වාර්තා සහ ලේඛන විගණකාධිපති වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.තවද, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා හාල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති වෙත ලබා දී තිබෙන ණය මුදල් සහ ප්‍රමාද ගාස්තු අය කර ගැනීම සම්බන්ධයෙන්ද විමසා සිටි අතර, මෙම මුදල් අය කරගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින වකවානු සමඟ දෙමසක් ඇතුළත කෝපා කමිටුවට ලබා දෙන ලෙසට නිර්දේශ කෙරිණි.පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට රජයේ ඉඩම් පිළිබඳව විධිමත් ලේඛනයක් සකස් කරන ලෙසට නිර්දේශ කර තිබුනද අදාළ ලේඛන මගින් රජයේ ඉඩම් සියල්ල හඳුනාගැනීම, දීර්ඝකාලීන බදු ලබාදීමට ඇති ඉඩම් සඳහා අනුමතිය ලබාදී ඇති හා නොමැති, හිඟ බදු වාරික ලැබීම යනාදී විස්තර ලබා ගත හැකි පරිදි ලේඛන පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන් කෝපා කමිටුව කරණු විමසා සිටියේය. නිලධාරීන් ලෙස මැලි නොවී රජයට අයවිය යුතු මුදල් අය කරගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා කෝපා කමිටුව අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් කමිටුව විසින් මෙහිදී අවධාරණය කරන ලදී. ඒ අනුව, මේ වර්ෂය අවසන් වන විට එකතු කිරීමට නියමිත මුලු මුදල සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසට නිර්දේශ කරනු ලැබීය. තවද, අධීක්ෂණ කටයුතු හේතුවෙන් රු. මිලියන 85 පමණ වන අය කර ගත නොහැකි බදු මුදලක් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කමිටුවට යොමු කරන ලෙසත් කෝපා කමිටුව විසින් මෙහිදී නිර්දේශ කරන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරවින්ද සෙනරත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී.කේ. ජයසුන්දර, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ සාගරිකා අතාවුද, සුනිල් රත්නසිරි, සහභාගී විය.
2025-10-29
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා (ඔක්. 24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.කෘෂිකර්ම හා පශු සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම හමුවේදී තේ, කෝපි සහ දුම්කොළ වගා ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි සාකච්ඡා කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ අමාත්‍යාංශ මට්ටමින් මූලික සාකච්ඡාවක් දැනටමත් පවත්වා ඇති බවත්, මෙම හමුව මගින් මෙම දූත පිරිස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මෙම ක්ෂේත්‍ර සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කිරීම අරමුණු කළ බවත්ය. එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට විවිධ අවධීන්හිදී චීනයෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගය අගය කළ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය. තවද මෙවැනි සම්බන්ධතා දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණයට හා පුළුල් කිරීමටත් දායක වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.තේ, කෝපි සහ දුම්කොළ කර්මාන්ත සංවර්ධනය පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී අදහස් හුවමාරු කරගත් අතර, නවීන තාක්ෂණික යෙදුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. අඩුවීගෙන යන ශ්‍රම බලකාය හේතුවෙන් පැන නගින අභියෝග ජය ගැනීමටත්, තේ වගාවේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමටත් නව තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා විය. එසේම පසෙහි සාරවත් බව වැඩි දියුණු කිරීමට සහ බෝග අස්වැන්න වැඩි කිරීමට හතරවන පරම්පරාවේ පොහොර (fourth-generation fertilizers) භාවිත කරීම යෝග්‍ය බව චීන දූත පිරිස යෝජනා කළේය.කෝපි වගාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය පසුගිය දශකය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව මෙහිදී සඳහන් වූ අතර කෝපි වගාවන් සඳහා ඉඩම් වෙන් කිරීම පුළුල් කිරීමේ අවශ්‍යතාවයද සාකච්ඡා කරන ලදී. දැනට හෙක්ටයාර් 5,000 කට අධික ප්‍රමාණයක කෝපි වගා කරන බවත්, ඉදිරි වසර දෙක තුළ එය හෙක්ටයාර් 10,000 දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.එසේම ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර, දුම්කොළ අමුද්‍රව්‍ය වෙනුවට වෙළඳපොළට සැකසූ අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශ විය හැකි බවද මෙහිදී මන්ත්‍රීවරු සඳහන් කළහ. එසේම ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය තවමත් කුඩා ප්‍රමාණයේ කර්මාන්තයක් ලෙස පවතින බවත්, කර්මාන්ත ශාලා කේන්ද්‍ර කරගත් මහා පරිමාණ කර්මාන්තයක් ලෙස එය සංවර්ධනය කිරීමේ වැදගත්කමත් චීන නියෝජිත පිරිස පෙන්වා දුන්නේය.මෙම රැස්වීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, චීන නියෝජිත පිරිස සහ පාර්ලිමේන්තු සහ අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වූහ.
2025-10-27
"අස්වැසුම" සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළහ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ.මේ පිළිබඳ අදහස් පළවුයේ "අස්වැසුම වැඩසටහන" පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් ගරු මන්ත්‍රීවරුන්, ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා (ඔක්. 22) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධව පැවැත්වූ රැස්වීමේදීය.ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ සහ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීම සඳහා ලෝක බැංකුවේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සෙස්කා ලමන්නා (Francesca Lamanna) මහත්මිය හා ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ ශ්‍රීනිවාස් වරදන් (Srinivas Varadan) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.මෙහිදී කරුණු දක්වමින් ලෝක බැංකු නියෝජිත පිරිස සමාජ ආරක්ෂණය සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම ඔස්සේ සැබෑ ලෙසම දිළිඳු සහ අවදානම් මට්ටමේ සිටින පිරිස් හා පවුල් හඳුනාගත හැකි බව පැවැසුහ. සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියකට පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් කළ පමණින් ඔවුන් අස්වැසුම හෝ අදාළ වෙනත් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලත් පිරිසක් නොවන බවත්, එම ඇතුළත් කර ඇති දත්ත පරික්ෂා කර බලා අදාළ ප්‍රතිලාභ අවශ්‍ය පිරිස් නිවැරදිව හඳුනාගැනීම සිදු කළ හැකි බව එම නියෝජිත පිරිස අදහස් දක්වමින් අවධාරණය කළහ. එමෙන්ම මෙම සමාජ ආරක්ෂණ පද්ධතිය රටකට ඵලදායී ආයෝජනයක් බවත් ඒ හේතුවෙන් එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයද ඔවුහු තවදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් "අස්වැසුම" ප්‍රතිලාභ ලබාදීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව අදහස් දැක්වූහ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් ග්‍රාමීය කමිටුවක් මගින් තෝරා ගැනීමටත්, තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නම් අදාළ ග්‍රාමය තුළ ප්‍රදර්ශනය කිරීම තුළින් මෙහි පවතින විනිවිද භාවය තහවුරු කල හැකි බව ගරු මන්ත්‍රීවරයන් අදහස් දක්වමින් පැවසුහ. මෙහිදී අදහස් දක්වමින් " අස්වැසුම " ක්‍රියාත්මක කරන නිලධාරීහු ,ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන්වරුන්ට මෙම වැඩසටහන පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නොලැබීම මත යම් බාධාවන් මතුව තිබු බවත් වර්තමානය වන විට ඔවුන්ගේ භූමිකව පිළිබඳව නිසි ලෙස දැනුවත් කරමින් වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය සහාය ඔවුන්ගෙන් ලබාගන්නා බවත් පැවසුහ. මේ අවස්ථාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ලෝක බැංකුවේ උපදේශක ශාලිකා සුබසිංහ මහත්මිය ඇතුළු මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
2025-10-24
2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (ඔක්. 23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීහු 2026 වර්ෂට අදාළව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති ආකාරය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව කරුණු කාරක සභාවට දැනුම් දුන්හ. අදාළ කරුණු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාව විසින් මෙම අනුමතිය ලබා දෙන ලදී. 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks