පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-04-23
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ආබාධිත ප්‍රජාවගේ ප්‍රවාහන අවශ්‍යතා පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ප්‍රවාහන ක්ෂේත්රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කීරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්රය යොමු කරවීම සඳහා වන දෙවැනි අනු කාරක සභා රැස්වීමේදී සාකච්ඡා විය.
ඒ එම අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 10 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙම රැස්වීම සඳහා ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති,අනුකමිටු සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද එක්ව සිටියේය. තවද, විවිධ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් සංවිධාන සහ ආයතන ප්‍රධානීන් ඇතුළු නියෝජිතයින් පිරිසක්ද ද සහභාගී වී සිටියහ.
ඒ අනුව ආබාධිත ප්‍රජාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමේදී මතුවන ගැටලු සහ එම ගැටලු නිරාකරණය කිරීම සඳහා වූ යෝජනාවන් ද අනු කාරක සභාවේදී දීර්ඝලෙස සාකච්ඡා කෙරිණි.
ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමේදී ආබාධ සහිත ප්‍රජාවට ඒවාට නිසි ලෙස ප්‍රවේශ වීමේ පහසුකම් නොමැතිකම එම ප්‍රජාවට පවතින ප්‍රමුඛතම ගැටලුවක් බව මෙහිදී හඳුනාගැනිණි. බස්රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම හේතුවෙන් එම ආබාධ සහිත පිරිස් කුලී පදනම මත ලබාගත් වාහන වලින් තම ප්‍රවාහන පහසු කම ලබා ගන්නා බවත් ඒ වෙනුවෙන් අති විශාල මුදලක් ඔවුනට වැය කිරීමට සිදුවන බව පැමිණි සිටි පිරිස කාරක සභාවට අවධාරණය කරන ලදී.
2006 අංක 1 දරන ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ප්‍රවේශ නියෝගය පිළිබඳ නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් එම ප්‍රජාවන්ට නිසි පහසුකම ලබාදියයුතු බව දක්වා තිබුණද එම නියෝග අදාළ ආයතන හෝ පුද්ගලයින් පිළිනොපදින බවද ඔවූහු පෙන්වා දුන්හ. ඒ අනුව එම නීති ප්‍රයෝගිකව ක්‍රියත්මක වීම තුළ ආබාධ සහිත ප්‍රජාවට ලැබෙන සහනය පිළිබදව ද ඔවුහු කාරක සභාවේ අවධානයට යොමු කළහ.
බස්රථවල ඇතැම් කොන්දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ආබාධ සහිත පිරිස් බොහෝ අපහසුතාවන්ට ලක්වන බව මෙම සංවිධනවල නියෝජිත පිරිස කාරක සභාවට පෙන්වා දුන්හ. මෙවැනි ගැටලු නිරාකරණය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම මෙන්ම ආබාධ සහිත පිරිස් පිළිබඳ දක්වන ආකල්ප යහපත් මට්ටමටකට ගෙන ඒමේ අවශ්‍යතාවයද එම නියෝජිත පිරිස අවධාරණය කළහ.
බස්රථවල සහ දුම්රියවල ආසන, නීතියක් මඟින්ම ආබාධිත පුද්ගලයින් සඳහා වෙන්කිරීම, කොන්ද්සි විරහිතව ආබාධිත පුද්ගලයින් බස්රථ සඳහා නංවා ගැනීමේ අවශ්‍යතාවය, දුම්රිය ස්ථානවල ආබාධ සහිත පිරිස් වෙනුවෙන් සන්නිවේදන පහසුව උදෙසා සකස් වියයුතු දේ පිළිබඳව මෙන්ම ඔවුන්ට බලපා ඇති තවත් බොහෝ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණි. එමෙන්ම ශ්‍රවනාබාධිත ප්‍රජාව සඳහා රියදුරු බලපත්‍ර ලබාදීම මේ වන විට නතර කර ඇති බවත් එය නැවත එම පිරිස වෙත ලබාගැනීමට අවශ්‍ය මැදිහත් වීම් සිදුකරන ලෙසත් එම නියෝජිත පිරිස කාරක සභාවෙන් ඉල්ලා සිටියහ.
ඒ අනුව මෙම ආබාධ සහිත පිරිසගේ ගැටලු හා යෝජනා ලිඛිතව මෙම කාරක සභාව වෙත සති දෙකක් තුළ යොමු කරන ලෙසත් එලෙස ලැබෙන ගැටලු හා යෝජනා සළකා බලා අවසන් වාර්තාවක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන බවත් ගරු සභාපතිතුමිය පැවසුවාය.
2025-11-18
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 12.11.2025 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මෙහිදී අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායක පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.එම නිර්ණායක ඔස්සේ අදාළ ප්‍රතිලාභ ලබාදීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇති ආකාරය පිළිබඳව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22 ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම උදෙසා පමණක් පුද්ගලයින්ට ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති නමුත් විය යුත්තේ සමස්ථ රටේම පුද්ගලයින් ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියකට (Social Registry) ඇතුළත් කරගැනීම බව මෙහිදී කරුණු දක්වමින් කාරක සභාව පෙන්වා දෙන ලදී. එලෙස ලියාපදිංචි වූ පසු නිවැරදිවම ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න හඳුනාගත හැකි බවත් ඒ ඔස්සේ ඔවුන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කාරක සභාව පෙන්වා දෙන ලදී.එමෙන්ම වැඩිහිටියන්ට සහ අබාධිත ප්‍රජාවට අදාළ අස්වැසුම ප්‍රතිලාභ නිවසටම ගොස් ලබාදීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම දැනට අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණද ජාතික හැඳුනුම්පත නොමැතිකම හේතුවෙන් එම ප්‍රතිලාභ ලබාගත නොහැකිව යම් පිරිසක් සිටින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව හැකි ලෙස ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කරගනිමින් කටයුතු කිරීම මගින් අස්වැසුම ප්‍රතිලාභ දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ වැදගත්කමද කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (මහාචාර්ය) රුවන් රණසිංහ, නිශාන්ත ජයවීර යන මහත්වරුන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර, චතුර ගලප්පත්ති, තිළිණ සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2025-11-17
ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.
2025-11-15
සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වෙයිවරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවා 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය.කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා 2021 නොවැම්බර් මස ආයතනයක් සමග රුපියල් මිලියන 40,273 ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අමාත්‍යමණ්ඩල අනුමතිය හිමිවී තිබූ බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 2021 දෙසැම්බර් මස මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර තිබූ අතර 2025 ජනවාරි 03 වැනි දින මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදවීම සිදු වූ අතර එම කාලසීමාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම කටයුතු නිමකිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. මේ හේතුවෙන් දින 548 ක් ප්‍රමාදවීම සිදු වීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම සංවර්ධන කටයුතු ඉතා කඩිනමින් සිදු කිරීමට කටයුතු කොට ඇති බවත් ඉක්මනින් මෙම කටයුතු අවසන් වනු ඇති බවත්ය.එසේම අධිකාරියේ සේවකයින්ගේ ආහාර වියදම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොවී ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නිලධාරීන් පැවසුවේ මේ වන විට වියදම් අඩු කිරීමට කටයුතු කොට ඇති බවත් මිල අවම කර ගැනීම සඳහා තරඟකාරී ඩෙන්ඩර් ක්‍රමය හඳුන්වාදී ඇති බවත්ය.වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් බැහැර කිරීමට සහ අත්පත් කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි. මේ අනුව නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.එසේම සීදූව රද්දොලුව ක්‍රීඩා සමාජයේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ද, එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ ක්‍රීඩකයන් සේවකයන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.
2025-11-15
රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක්, ඒ සඳහා පත් කළ අනුකාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය. එසේම , රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත්වූ පුද්ගලයන්ට එම මන්ත්‍රීධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කර දීම පිළිබඳව ද මෙහිදී යෝජනා විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිය රජයේ රැකියාව අතහැර පැමිණෙන මන්ත්‍රීවරයෙකු හට, මන්ත්‍රී විශ්‍රාම වැටුප ද හිමි නොවන බැවින් මේ සම්බන්ධයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව සිය අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය.රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීම් පටිපාට සහ උසස් කිරීමේ පටිපාටි වල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් ලකුණු සීමා වෙනස් කිරීම හේතුවෙන් රාජ්‍ය සේවය තුළ ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබෙන බවට මෙහිදී සාකච්ඡා විය. මේ ගැටලුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට කටයුතු කරන බවට අමාත්‍යංශ නිලධාරීන් පැවසීය.මෙම කාරක සභාව සඳහා ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks