E   |     |  

2025-06-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

2011 වසරේදී උතුරුමැද පළාත් සභාව රුපියල් කෝටි 117ක අධි ඇස්තමේන්තුවක් මත මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කරලා - ‘කෝපා’ කමිටුවේදී හෙළි වෙයි

  • එකම මාර්ගය රු. මිලියන 5ට අඩු ව්‍යාපෘති ගණනාවකට වෙන් කරලා - මාර්ග 53ක් ව්‍යාපෘති 741කට බෙදා කොන්ත්‍රාත් ලබාදීලා
  • ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීතිවිරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 2934ක් වටිනා ව්‍යාපෘති 629ක් (පාරවල් 42ක්) ලබාදී ඇති බවත් හෙළිවෙයි
  • රුපියල් මිලියන 11ක පමණ වැය වන මාර්ග 1Kmක් සඳහා සඳහා රුපියල් මිලියන 45 දක්වා ගෙවලා
  • රජරට අහිංසක ගොවිජනතාවගේ බදු මුදල් මෙලෙස වංචා කිරීම ඛේදවාචකයක් - මාර්ග සංවර්ධන ඉතිහාසයේ විශාලතම වංචාවක් - කෝපා සභාපති පවසයි
  • ළමුන් 500ටත් අඩු පාසැලකට කෝටි 54ක ශ්‍රවණාගාරයක් ඉදිරිකිරීමට අත්තිකාරකම් ගෙවු මිලියන 100ක් අපතේ ගිහින් - දැන් වල් බිහිවෙලා

 

රුපියල් මිලියන 1170ක (බිලියන1.17ක්/ කෝටි 117) අධි ඇස්තමේන්තුවක් මත 2011 වසරේදී උතුරුමැද පළාත් සභාව විසින් ගංවතුරෙන් හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය සිදුකොට ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (ජුනි 18) අනාවරණය විය. පසුව 2013 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු කණ්ඩායමක් යොදවා සිදුකළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වීම සහ එකී මාර්ග ඉදිකිරීම් නිසි ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට අදාළ මුදල් ගෙවීම නවතා ඇති බවත් මෙහිදී නිලධාරීහු පැවසුහ. 

උතුරු මැඳ පළාත් සභාවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු උතුරු මැද පළාත් සභාවේ නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

රුපියල් මිලියන 3592කට ඇස්තමේන්තු කර තිබූ මෙම මාර්ග 53 හි එකම මාර්ගය ඇස්තමේන්තු අගය රු. මිලියන 5ට අඩු ව්‍යාපෘති ගණනාවකට වෙන් කරමින් ව්‍යාපෘති 741ක් සඳහා කොන්ත්‍රාත්කරුවන් සීමිත මිල ගණන් කැඳවා තෝරා ඇති බවත් හෙළි විය. එසේ මිලියන 5ට අඩුවන ලෙස සීමිත මිල ගණන් යටතේ එකම මාර්ගය ව්‍යාපෘති ගණනාවකට බෙදා ඇත්තේ එවිට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාගේ අනුමැතිය මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව නිසා බවත් කාරක සභාවේදී අනාවරණය විය. 

තවද මෙම ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොන්ත්‍රාත්කරුවන් හත් දෙනෙකු අතර පමණක් බෙදී ගොස් ඇති බවත්, ඉන් එක් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 2934ක් වටිනා ව්‍යාපෘති 629ක් (පාරවල් 42ක්) ලබාදී ඇති බවත් මෙහිදී විගණන නිලධාරීහු පෙන්වා දුන්හ. එම කොන්ත්‍රාත්කරුගේ මූල්‍ය ශක්තිය හා පළපුරුද්ද අනුව රු මිලියන 300-600 කොන්ත්‍රාත් පමණක් ප්‍රදානය කළ හැකිව තිබූ බව ද නිලධාරීහු පැවසුහ. මෙම කොන්ත්‍රාත් ආයතනය එවකට උතුරුමැද පළාතේ බලය ගෙන සිටි දේශපාලඥයෙකුට සම්බන්ධ බවට හෙළිවන බවත් මෙහිදී සාකච්ඡා විය. 

මේ අනුව රුපියල් මිලියන 11ක් පමණ වැය වන මාර්ග 1Kmක් සඳහා රුපියල් මිලියන 45 දක්වා මුදල් ගෙවා ඇත්තේ අතිශය දූෂිත ලෙස බවත් මෙහිදී අනාවරණය විය. මෙපමණ මුදලක් වියදම් කොට ඉදිකර ඇති මාර්ග නිසි ප්‍රමිතියෙන් තොරව කෙටිකලකින් අබලන් වී ඇති බවත් මෙහිදී හෙළිවිය. 

මෙම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන නිලධාරියා වන එවකට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ලෙස සේවය කළ පුද්ගලයා මේවන විට මියගොස් ඇති බවත් ඔහු ඊට පෙර මහවැලි අධිකාරියේ සේවය කොට නිධන් හෑරීමේ චෝදනාව යටතේ සේවයෙන් පහකළ අයෙකු බවත් මෙහිදි හෙළිවිය. පසුව මෙම සිදුවීමට එරෙහිව කටයුතු කළ නිලධාරීන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවු බවත් මෙම කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා 2015 වසරේදී එවකට සිටි පළාත් ප්‍රධාන ඇමතිවරයා විසින් පසුව පත්වූ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා විශ්‍රාම යවා ඇති බවත් නිලධාරීහු කාරක සභාවට වැඩිදුරටත් පැවසුහ.

එසේම මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් මාර්ග සංවර්ධනය සඳහා පළාත් සභාවකට වෙන්වීමම ගැටලුවක් බව මුදල් කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. එවකට සිටි ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාවරයාගේ බලපෑමෙන් එය සිදුවූ බවටත් මෙහිදී සාකච්ඡා විය. 

උතුරුමැද පළාතේ දහඩිය මහන්සියෙන් වැඩකරන ගොවිජනතාවගේ බදු මුදල් මෙලෙස වංචා කිරීම අතිශය ඛේදනීය සිදුවීමක් බවත් මෙරට මාර්ග සංවර්ධන ඉතිහාසයේ දූෂිතම අවස්ථාවක් ලෙස මෙම සිදුවීම හදුනාගත හැකි බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය. මේ අනුව මීට සම්බන්ධ නිලධාරීහු හඳුනාගෙන ඔවුන්ගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. එසේම මේ සම්බන්ධව අල්ලස් ‍හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසත් මෙම සිද්ධියට සම්බන්ධ දේශපාලන අධිකාරිය පිළිබඳවත් වාර්තාවක් ලබා දෙන ලෙසත් මෙහිදී කාරක සභාව නිර්දේශ ලබාදීම සිදුවිය. 

2017 වසරේදී පලුගස්දමන මහා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් රු. 542,019,300ක් (මිලියන 542ක්/ කෝටි 54.2 ක්) මුදලකට ඉදිකිරීම් සමාගමක් සමග ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය. මෙහිදී රු.මිලියන 100ක් කොන්ත්‍රාත්කරුට අත්තිකාරමක් ලබාදී තිබූ නමුත් ආරම්භක අවස්ථාවේදීම ඉදිකිරීම් නවතා ව්‍යාපෘතිය අතහැර දමා ඇති බවත් අනාවරණය විය. ළමුන් පන්සියයකටත් අඩු ප්‍රමාණයක් ඉගෙනුම ලබන විදුහලකට කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව මෙලෙස විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම සාධාරණ නොවන බවත් එවකට උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ තනි කැමැත්ත මත මෙය සිදුවී ඇති බවත් මෙහිදී සාකච්ඡා විය. එසේම දේශපාලන අධිකාරිය සමග කොන්ත්‍රාත්කරුට පැවති ලැදියාව අනාවරණය වන බවත් මෙහිදී සාකච්ඡා විය. මේ වන විට වල්බිහිවී ඇති මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් සිදුකර මෙම මුදල් නැවත අයකර ගැනීමටත් යම් අකටයුත්තක් සිදුවී ඇත්නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නිර්දේශ කළ කාරක සභාව සති තුනක් තුළ මේ පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය. 

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, චාමර සම්පත් දසනායක, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, නීතිඥ තුෂාරි ජයසිංහ, ටී.කේ. ජයසුන්දර, සුසන්ත කුමාර නවරත්න, සුනිල් රත්නසිරි සහ දිනිඳු සමන් හෙන්නායක යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2025-10-29

ශ්‍රී ලංකාවේ තේ, කෝපි සහ දුම්කොළ වගාව සංවර්ධනය කිරීම පිළිබඳ චීන දූත පිරිසක් සමඟ සාකච්ඡා

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා (ඔක්. 24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.කෘෂිකර්ම හා පශු සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම හමුවේදී තේ, කෝපි සහ දුම්කොළ වගා ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි සාකච්ඡා කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ අමාත්‍යාංශ මට්ටමින් මූලික සාකච්ඡාවක් දැනටමත් පවත්වා ඇති බවත්, මෙම හමුව මගින් මෙම දූත පිරිස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මෙම ක්ෂේත්‍ර සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කිරීම අරමුණු කළ බවත්ය. එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට විවිධ අවධීන්හිදී චීනයෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගය අගය කළ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය. තවද මෙවැනි සම්බන්ධතා දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණයට හා පුළුල් කිරීමටත් දායක වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.තේ, කෝපි සහ දුම්කොළ කර්මාන්ත සංවර්ධනය පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී අදහස් හුවමාරු කරගත් අතර, නවීන තාක්ෂණික යෙදුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. අඩුවීගෙන යන ශ්‍රම බලකාය හේතුවෙන් පැන නගින අභියෝග ජය ගැනීමටත්, තේ වගාවේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමටත් නව තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා විය. එසේම පසෙහි සාරවත් බව වැඩි දියුණු කිරීමට සහ බෝග අස්වැන්න වැඩි කිරීමට හතරවන පරම්පරාවේ පොහොර (fourth-generation fertilizers) භාවිත කරීම යෝග්‍ය බව චීන දූත පිරිස යෝජනා කළේය.කෝපි වගාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය පසුගිය දශකය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව මෙහිදී සඳහන් වූ අතර කෝපි වගාවන් සඳහා ඉඩම් වෙන් කිරීම පුළුල් කිරීමේ අවශ්‍යතාවයද සාකච්ඡා කරන ලදී. දැනට හෙක්ටයාර් 5,000 කට අධික ප්‍රමාණයක කෝපි වගා කරන බවත්, ඉදිරි වසර දෙක තුළ එය හෙක්ටයාර් 10,000 දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.එසේම ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර, දුම්කොළ අමුද්‍රව්‍ය වෙනුවට වෙළඳපොළට සැකසූ අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශ විය හැකි බවද මෙහිදී මන්ත්‍රීවරු සඳහන් කළහ. එසේම ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය තවමත් කුඩා ප්‍රමාණයේ කර්මාන්තයක් ලෙස පවතින බවත්, කර්මාන්ත ශාලා කේන්ද්‍ර කරගත් මහා පරිමාණ කර්මාන්තයක් ලෙස එය සංවර්ධනය කිරීමේ වැදගත්කමත් චීන නියෝජිත පිරිස පෙන්වා දුන්නේය.මෙම රැස්වීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, චීන නියෝජිත පිරිස සහ පාර්ලිමේන්තු සහ අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වූහ.


2025-10-29

වයඹ පළාත් සභාව ‘කෝපා’ කමිටුව හමුවට කැඳවයි...

සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් ‘කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය’ තෝරාගෙන -  ශක්‍යතා අධ්‍යන වාර්තාවක් ලබාගෙනත් නෑ - කෝපා කමිටුව ප්‍රශ්න කරයි. වයඹ පළාත් සභාව සහ කුරුණෑගල මහනගර සභාව එකාබද්ධව සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා ලංසු කැඳවා කොන්ත්‍රාත්කරුවෙකු සමඟ ගිවිසුම් ගත වුවද, ඒ සම්බන්ධයෙන් පවත්නා අධීක්ෂණ කටයුත්තක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නැවතී ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණ විය. මෙවැනි ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ප්‍රථම, ශක්‍යතා අධ්‍යන  වාර්තාවක් ලබාගත යුතු වුවත් එය ලබාගෙන නොමැති බවත් මෙහිදී හෙළි විය. තවද, විශේෂිත ස්වරූපයේ ඉදිකිරීමක් නොවන සයමහල් සමාන්‍ය කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෝරාගෙන තිබීම ගැටලු සහගත බව ද කෝපා කමිටුව විසින් අවධාරණය කරන ලදී.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ වයඹ පළාත් සභාවේ 2023, 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2025.10.23 වන දින රැස්වී  අදාළ නිලධාරින්  කැඳවූ අවස්ථාවේදීය.ඒ අනුව, මෙම ඉදිකිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට නැවත කැඳවීමක් කරනු ලබන බවත්, මාසයක්  ඇතුළත මේ ගොඩනැගිල්ලේ ව්‍යාපෘතියට අදාළ නිර්දේශ, ප්‍රසම්පාදන, තාක්ෂණික, කමිටු අදාළ සියලු වාර්තා සහ ලේඛන විගණකාධිපති වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.තවද, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා හාල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති වෙත ලබා දී තිබෙන ණය මුදල් සහ ප්‍රමාද ගාස්තු අය කර ගැනීම සම්බන්ධයෙන්ද විමසා සිටි අතර, මෙම මුදල් අය කරගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින වකවානු සමඟ දෙමසක් ඇතුළත කෝපා කමිටුවට ලබා දෙන ලෙසට  නිර්දේශ කෙරිණි.පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට රජයේ ඉඩම් පිළිබඳව විධිමත් ලේඛනයක් සකස් කරන ලෙසට නිර්දේශ කර තිබුනද අදාළ ලේඛන මගින් රජයේ ඉඩම් සියල්ල හඳුනාගැනීම, දීර්ඝකාලීන බදු ලබාදීමට ඇති ඉඩම් සඳහා අනුමතිය ලබාදී ඇති හා නොමැති, හිඟ බදු වාරික ලැබීම යනාදී විස්තර ලබා ගත හැකි පරිදි ලේඛන පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන් කෝපා කමිටුව කරණු විමසා සිටියේය. නිලධාරීන් ලෙස මැලි නොවී රජයට අයවිය යුතු මුදල් අය කරගැනීමට කටයුතු කළ යුතු බවත්  ඒ සඳහා කෝපා කමිටුව අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් කමිටුව විසින් මෙහිදී අවධාරණය කරන ලදී. ඒ අනුව, මේ වර්ෂය අවසන් වන විට එකතු කිරීමට නියමිත මුලු මුදල සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසට නිර්දේශ කරනු ලැබීය. තවද, අධීක්ෂණ කටයුතු හේතුවෙන් රු. මිලියන 85 පමණ වන අය කර ගත නොහැකි බදු මුදලක් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කමිටුවට යොමු කරන ලෙසත් කෝපා කමිටුව විසින් මෙහිදී නිර්දේශ කරන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරවින්ද සෙනරත්, මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී.කේ. ජයසුන්දර, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ සාගරිකා අතාවුද,  සුනිල් රත්නසිරි, සහභාගී විය.


2025-10-27

අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් අවශ්‍යයි - ලෝක බැංකු නියෝජිතයින් පවසයි

"අස්වැසුම" සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ  නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය  ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළහ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම්  ලබාදීමට සුදානම් බවද ඔවුහු  ප්‍රකාශ කළහ.මේ පිළිබඳ  අදහස් පළවුයේ "අස්වැසුම වැඩසටහන" පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ  සාමාජික  ගරු  මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් ගරු මන්ත්‍රීවරුන්, ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා (ඔක්. 22) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධව පැවැත්වූ රැස්වීමේදීය.ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ  සහ  ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීම සඳහා ලෝක බැංකුවේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සෙස්කා ලමන්නා (Francesca Lamanna) මහත්මිය හා ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ  ශ්‍රීනිවාස් වරදන් (Srinivas Varadan) යන මහත්ම මහත්මීහු  ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.මෙහිදී කරුණු දක්වමින් ලෝක බැංකු නියෝජිත පිරිස සමාජ ආරක්ෂණය සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම ඔස්සේ  සැබෑ ලෙසම  දිළිඳු සහ අවදානම් මට්ටමේ සිටින  පිරිස් හා පවුල් හඳුනාගත හැකි බව පැවැසුහ. සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියකට පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් කළ  පමණින් ඔවුන් අස්වැසුම හෝ අදාළ වෙනත් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලත් පිරිසක් නොවන බවත්, එම ඇතුළත් කර ඇති දත්ත පරික්ෂා කර බලා අදාළ ප්‍රතිලාභ අවශ්‍ය පිරිස් නිවැරදිව හඳුනාගැනීම සිදු කළ හැකි බව එම නියෝජිත පිරිස අදහස් දක්වමින් අවධාරණය කළහ. එමෙන්ම  මෙම සමාජ ආරක්ෂණ පද්ධතිය රටකට ඵලදායී ආයෝජනයක් බවත් ඒ හේතුවෙන් එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයද ඔවුහු තවදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  "අස්වැසුම" ප්‍රතිලාභ ලබාදීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව අදහස් දැක්වූහ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් ග්‍රාමීය කමිටුවක් මගින්  තෝරා ගැනීමටත්, තෝරාගත්  ප්‍රතිලාභීන්ගේ  නම් අදාළ  ග්‍රාමය තුළ  ප්‍රදර්ශනය කිරීම තුළින්  මෙහි පවතින විනිවිද භාවය  තහවුරු කල හැකි බව ගරු මන්ත්‍රීවරයන් අදහස් දක්වමින් පැවසුහ. මෙහිදී අදහස් දක්වමින් " අස්වැසුම " ක්‍රියාත්මක කරන නිලධාරීහු ,ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන්වරුන්ට මෙම වැඩසටහන පිළිබඳව  ප්‍රමාණවත් තොරතුරු නොලැබීම මත යම් බාධාවන් මතුව තිබු බවත් වර්තමානය වන විට ඔවුන්ගේ භූමිකව පිළිබඳව නිසි ලෙස දැනුවත් කරමින්  වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය සහාය  ඔවුන්ගෙන් ලබාගන්නා බවත් පැවසුහ. මේ අවස්ථාව සඳහා  ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ලෝක බැංකුවේ  උපදේශක ශාලිකා සුබසිංහ මහත්මිය ඇතුළු  මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ. 


2025-10-24

2026 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (ඔක්. 23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීහු 2026 වර්ෂට අදාළව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති ආකාරය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව කරුණු කාරක සභාවට දැනුම් දුන්හ. අදාළ කරුණු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාව විසින් මෙම අනුමතිය ලබා දෙන ලදී.  2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks