පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-07-30
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
රාජ්‍ය දැව සංස්ථාවේ 2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය විමර්ශනය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (ජූලි 23) රැස්විය.
රාජ්‍ය දැව සංස්ථාව විසින් සේවක අර්ථසාධක අරමුදල් පනත (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (ETF) පනත්වල ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් 2006 වසරේ සිට 2022 වසර දක්වා කාලයට අදාළව එම අරමුදල්වලට අධිභාර වශයෙන් රු. මිලියන 122 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවී ඇති බව මෙහිදී අනාවරණය විය. එසේම සංස්ථාවේ සේවකයන් විසින් ගෙවිය යුතු දායක මුදල් රු.මිලියන 126කට ආසන්න මුදලක් සංස්ථාව විසින් ගෙවීමට සිදුවීම හේතුවෙන් සංස්ථාවට රු. මිලියන 248ක අලාභයක් සිදුවී ඇති බවත් විගණකාධිපතිවරයා පැවසීය.
2006 වසරේ සිට සේවකයන්ට ජීවන වියදම් දීමනාවක් ගෙවීමේදී ඊට EPF, ETF ඊට ගෙවිය යුතු ද යන්න කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සහ අදාළ ආයතනවලින් විමසා ඇති බවත් ඊට පිළිතුරු ලැබීම පමා වීමෙන් මෙම අලාභය සිදුව ඇති බවත් මෙහිදී සාකච්ඡා විය. 2018 වසරේදී සේවකයෙක් පවරන ලද නඩුවකින් ලබාදුන් අධිකරණ තීන්දුවක් අනුව මෙය ගෙවීමට සිදුවී ඇති බවත් මෙහිදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් කමිටුවක් ද පත්කර විමර්ශනයක් සිදුකළ නමුත් වගකිව යුතු නිලධාරියෙක් හෝ පාර්ශවයක් ඉන් අනාවරණය නොවූ බවත් නිලධාරීහු පැවසුහ. කෙසේ වුවද මෙම කරුණුවල අපැහැදිළි බවක් පෙනී යන බැවින් මේ පිළිබඳව සතියක් තුළ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී.
රාජ්‍ය දැව සංස්ථාව ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවිය මගින් දිගින් දිගටම පාඩු ලැබීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. මෙම අගයන් 2021 වසරේදී රු. මිලියන 20ක්, 2022 වසරේදී රු. මිලියන 95.6ක්, 2023 වසරේදී රුපියල් මිලියන 72.1ක් සහ 2024 දී රු. මිලියන 75.6 ක් වන ලෙස වාර්තාවන බව මෙහිදී අනාවරණය විය. ආර්ථික අර්බුදය ආදී හේතු මෙම අලාභයට හේතුවූ බව නිලධාරීහු මෙහිදී පැවසූහ. වාර්ෂික විකුණුම් අවශ්‍යතාව මත නිෂ්පාදන අවශ්‍යතාව පුරෝකථනය කිරීම, අලෙවිකරණය සඳහා නව උපායමාර්ග අනුගමනය කිරීම වැනි ක්‍රම තුළින් අලාභය අවම කර සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව මෙහිදී අවධාරණය කළේය. විශ්වාසය දිනූ අනර්ඝතම දැව හා දැවමය භාණ්ඩ සැපයුම්කරුවීම සහ දැව වෙළඳපොලෙහි සැබෑ නායකත්වය ඉසිලීම ආයතනික දැක්ම වුව ද එම අරමුණු සපුරා ගැනීමට ඇති බාධාවන් පිළිබඳව කාරක සභාවේ දීර්ඝ ලෙස සාකච්ඡා විය.
දැව හා දැව භාණ්ඩ අපනයනය සංස්ථාවේ කාර්යයන් අතර තිබුණ ද අපනයනය සිදු නොකිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. පයිනස් අපනයනය සඳහා උත්සහ කළ ද ලංකාවේ නිෂ්පාදිත පයිනස් දැව ප්‍රභේදය සඳහා කර්මාන්තකරුවන්ගේ ඉල්ලුම අඩුවීම සහ මෙරට නිෂ්පාදන වියදම අධිකවීම හේතුවෙන් මෙම උත්සහය අසාර්ථක වූ බව නිලධාරීහු පැවසූහ. එසේම ආනයනයේදී දැව සංස්ථාවේ පරීක්ෂාවට ලක්කර සහතිකයක් නිකුත් කළ හැකි මට්ටමට නෛතික වෙනස්කම් සිදුකරන ලෙස ද කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට යොමු කළේය.
අනියම් 11 ක් සහ දෛනික පදනමෙන් 49ක් වන පරිදි ද්වීතියික මට්ටමෙන් කළමනාකාර සහකාර තනතුරෙහි සේවකයන් 60 දෙනෙකු සේවයේ යොදවා තිබීම පිළිබඳව ද විමර්ශනය සිදු කෙරිණි. එසේම සේවක සංඛ්‍යාව තුළ අනුමත නොවූ තනතුරු 9 ක පුද්ගලයන් ස්ථිර සේවයේ සිටිමින් වැටුප් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී පැහැදිළි තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම පිළිබඳ කාරක සභාව සිය නොසතුට පළ කළ අතර මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දුන්නේය.
ආයතනයේ තොග කළමනාකරණ පරිගනක පද්ධතිය නිසි පරිදි නඩත්තු නොවීම පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී. 2011 වසරේදී ස්ථාපිත කර ඇති මෙම පද්ධතිය නිසි සේවක පිරිසක් නොමැතිවීම සහ යාවත්කාලීන වීම සිදු නොවී ඇති බව හෙළිවිය. එය නිසි පරිදි ගොඩ නැගීම සහ අදාළ දත්තවලට සිදුව ඇති දේ පිළිබඳව ද වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව දැනුම් දෙන ලදි.
ආයතනයේ මූල්‍ය අංශයේ පවතින වාහන ලේඛනය අනුව සංස්ථාව සතුව පවතින වාහන සංඛ්‍යාව 547ක් වුවද ආයතනයේ නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව ඇති වාහන ගණන 563ක් වීම පිළිබඳව ද අවධානය යොමු විය. මුදල් අමාත්‍යාංශයේ අනුමතිය මත ආයතනයේ සේවකයන්ට ආයතනයේ නමට ලියාපදිංචි යතුරු පැදි ලබා දී ඇති බවත් වසර 5කට පසුව ඒවායේ අයිතිය සේවකයන්ට පැවරීමේදී එය නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් මෙම පරස්පරතා ඇතිවූ බවත් නිලධාරීහු පැවසුහ. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමසා බලා පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දුන්නේය.
සංස්ථාවේ භාවිතයට ගත හැකි මට්ටමේ දම්වැල් කියත් තිබියදී ගස් බිම හෙලීම සඳහා නිරතුරුව කොන්ත්‍රාත් ලබාදීම පිළිබඳව අවධානය යොමු විය. දම්වැල් කියත් භාවිතය තහනම් කිරීම නිසා විශේෂ අවසරය මත 2023 වසරේ දම්වැල් කියත් සියයක් ගෙන්වා ඇති බවත් නිලධාරිහු සඳහන් කළහ. බාහිර පුද්ගලයන් භාවිත කිරීමේදී අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය විසින් රාජසන්තක කරන ලද දම්වැල් කියත් ද යොදා ගනිමින් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, ලුතිනන් කමාන්ඩර් ප්‍රගීත් මධුරංග, සුනිල් රාජපක්ෂ,පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, සහ දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම පරිසර අමාත්‍යාංශයේ ලේකම් රෝහිත උඩුවාවල, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති මහාචාර්ය නිශාන්ත පටබැඳි යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.
2025-09-15
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් ගත යුතු නිර්දේශ නිකුත් කිරීම සිදු විය. මෙම නිර්දේශ නිකුත් කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 10 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මාගම්පුර වරාය කළමනාකරණ සමාගම 2013 ජූලි 05 වන දින සංස්ථාපනය කර තිබූ බවත් එම සමාගම විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් බලපත්‍රයක් මගින් හම්බන්තොට වරායේ ඉන්ධන සැපයුම්කරුවෙකු ලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් 2014 වර්ෂයේදී පෞද්ගලික බැංකුවකින් වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයක් (Corporate Guarantee) මගින් ඩොලර් මිලියන 24ක ණයක් ලබාගෙන තිබූ බවත් මෙහිදී අනාවරණය විය. නමුත් මෙම මුදලෙන් ඩොලර් මිලියන 18.82ක් (රු. මිලියන 6836) ක් 2023 දෙසැම්බර් වන විටත් පියවා නොතිබූ බවත් මෙම ණය මුදල අයකරගැනීම සඳහා අදාළ බැංකුව විසින් 2019 වර්ෂයේදී පරිපාලිත සමාගමට සහ අධිකාරියට විරුද්ධව නඩු දෙකක් පවරා ඇති බවත් මෙහිදී අනාවරණය විය. පැමිණි නිලධාරීන් මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මේ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂන කොම්ෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් ඊට අදාළ පරීක්ෂණය සිදු වෙමින් පවතින බවත්ය. එසේම 2022 ජුනි මස සිට ඈවරකරුවෙකු පත් කර මාගම්පුර වරාය කළමනාකරණ සමාගම ඈවර කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවත්ය. මේ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝව කාරක සභාව විසින් සාකච්ඡා කරන ලද අතර එහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිය වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවයි. එසේම සමාගම ඈවර කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වා දුන් කාරක සභාව ණය ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට නිර්දේශ කරන ලදි. එසේම මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර ඊට අදාළ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ අභ්‍යන්තර විගණන අංශය නිවැරදිව අධීක්ෂණයට ලක් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි. මේ අනුව මෙම සියලු කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද නිර්දේශ කරන ලදි.මීට අමතරව අධිකාරියේ සංයුක්ත සැලැස්ම පිළිබඳවද මෙහිදී කමිටුවේ අවධානය යොමු විය.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන දයාසිරි ජයසේකර, ඩී.වී.චානක, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, දිලිත් ජයවීර, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.
2025-09-12
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස ගරු පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්විය. ඒ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා 2025.08.06 දින ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව අද (සැප්. 12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.සභාපතිධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කරන ලදී.අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා, දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන් සිය ධුරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය. එමෙන්ම කාරක සභාවේ හිටපු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා සිදුකළ කාර්ය භාරය විශේෂයෙන් අගය කළ අතර ඔහු කළ කාර්ය භාරය ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බවද අභිනව සභාපතිවරයා ප්‍රකාශ කළේය. තවද නව සැළසුම් සකස් කොට කෝපා කමිටුවේ කාර්යභාරය තවදුරටත් විධිමත් කරමින් පවත්වාගෙන යමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සුදානමින් පසුවන බව අභිනව සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් ,රෝහිත අබේගුණවර්ධන, ජේ.සී. අලවතුවල, චාමර සම්පත් දසනායක, හෙක්ටර් අප්පුහාමි, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, එම්. ඒ. එම්. තාහිර්, ලාල් ප්‍රේමනාත්, චානක මාදුගොඩ යන මහත්ම මහත්මීන් මෙන්ම අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-09-12
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (සැප්. 11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍යමය ස්වාධීනත්වයක් පවතින බවත් එම ආයතන මෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවටත් වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මූල්‍ය ස්වාධීනත්වයක් ලබාදීම වැදගත් බවයි. එමගින් පවතින දේශපාලන අධිකාරියෙන් බැහැරව ඕනෑම රජයක් යටතේ වඩාත් ස්වාධීනව කටයුතු කිරීමට එම ආයතන වලට හැකි බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය. මේ නිසා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වන ගරු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කාරක සභාව තීරණය කිරීමද මෙහිදී සිදු විය.එසේම කොමිෂන් සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සහ කමිටු සාමාජිකයින්ගේ පාරිශ්‍රමිකය අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පාරිශ්‍රමිකයට අනුරූප සකස් විය යුතු බවට මෙම කාරක සභාව පෙන්වා දුන් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පවසන ලදි. ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පාරිශ්‍රමිකය සංශෝධනය වන ආකාරයෙන් මෙම නිලධාරීන්ගේ පාරිශ්‍රමිකය ද සංශෝධනය විය යුතු බව කාරක සභාවේ සභාපතිරයා පෙන්වා දුන් අතර ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවද හෙතෙම පැවසීය. මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, නිමල් පලිහේන, තිළින සමරකෝන් සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
2025-09-11
2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්ත්වයන් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලිණි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු අදායමට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගය සඳහා ශ්‍රී ලංකා රජය ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තාකරමින් වසර මැද ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැන්වුහ. 2025 ජනවාරි සිට ජුනි දක්වා අර්ධ වාර්ෂික ඇස්තමේන්තු ගත අදායම වූ රුපියල් බිලියන 2,241න් එකතු කරන ලද මුළු ආදායම රුපියල් බිලියන 2,318 ක් වූ අතර එය අර්ධ වාර්ෂික ඇස්තමේන්තුව 3% කින් ඉක්මවා ගොස් ඇති බව දත්ත ඉදිරි පත්කරමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ..මේ අතර 2025 පළමු භාගයේදී රජයේ මුළු වියදම රුපියල් බිලියන 3,467ක් වී ඇති අතර එම මුදල 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු වියදමට සාපේක්ෂව රුපියල් බිලයන 367කින් වැඩිවී ඇත.මෙම වැඩිවීමේ ප්‍රධාන සාධයක් ලෙස ණය සේවාකරණය මුලික වී ඇති අතර 2025 පළමු භාගයේදී එය රුපියල් බිලියන 1,984 ක් ව ඇත.රාජ්‍ය අංශයේ වැටුප්, විශ්‍රාම වැටුප්, අස්වැසුම සහ සමෘද්ධි වැනි සමාජ ආරක්ෂණ ශුද්ධ වැඩසටහන් ඇතුළු අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් සඳහා පුනරාවර්තන වියදම් ද ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.තවද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2024 වර්ෂයට සාපේක්ෂව (ජනවාරි - ජුනි) 47% ක වර්ධනයක් වාර්තා කරමින් 2025 ජනවාරි සිට ජුනි අතර කාලය තුළ රුපියල් බිලියන 996 ක අදායමක් වාර්තා කර ඇත.මෝටර් රථ ආනයනයෙන් ලැබුණු ආදායම මෙම වර්ධනයට සැලකිය යුතු ලෙස හේතු වී අතර එමඟින් රුපියල් බිලියන 429 ක් ලැබී තිබුණි. වාහන ආනයනය සඳහා විවෘත කළ පසු මේ දක්වා ශ්‍රී ලංකාවට වාහන 220,026 ආනයනය කර ඇති අතර ඉන් වාහන 154,537ක් ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශන කටයුතු අවසන් කර ඇති බවද මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ.තවද බහාලුම් නිෂ්කාශන කටයුතු සඳහා රේගුවේදී දින 9 - 10 අතර කාලයක් ගත වීම හේතුවෙන් ආනයනකරුවන් මුහුණ දෙන ගැටලුවක් පිළිබඳව ද කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් විමසීය. ඒ අනුව එම ගැටලුවට පිළියම් සකස් කරමින් දින 2 - 3 වැනි කාලසීමාවකදී අදාළ භාණ්ඩවල නිෂ්කාශන සිදුකර අවසන් කිරීමට ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බවද එම දෙපාර්තමේන්තු නිලධාරීහු කාරක සභවට දැනුම් දුන්හ.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ද (IRD) වර්ධනයක් වාර්තා කළ අතර,2025 පළමු භාගයේදී ඇස්තමේන්තු ගත අදායම වූ රුපියල් මිලියන 1,022,691 න් රුපියල් මිලියන 1,040,388කක අදායමක් වාර්තාකර තිබුණි. මෙහිදී එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වයස 18 වැඩි ශ්‍රී ලාංකිකයින් මිලියන 1.3 පමණ පිරිසකට අදාළව TIN අංකය ( Tax Identification number ) නිකුත් කර ඇති බවද පෙන්වා දුන්හ.මෙහිදී සභාපතිවරයා, මෙම දත්ත අනුව මෙම වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කයට ගමන් කළ හැකිද යන්න කරුණු විමසමින් ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් මේ වසරේ ආර්ථික වර්ධනය 3.1% පමණ වනු ඇති බවට උපකල්පනය කළ හැකි බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.එමෙන්ම දුම්වැටි සඳහා භාවිතා වන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයේන් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳවද කාරක සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.වර්ෂ අවසානයේ මෙරට විදේශ සංචිත පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය මගින් කර ඇති පුරෝකතනයන් වල පරස්පරතාව පිළිබඳවද කාරක සභාවේදී සාකච්ජා විය. මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, චම්පික හෙට්ටිආරච්චි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks