E   |     |  

2025-09-10

පුවත් කාණ්ඩ : පුවත් 

ගරු කථානායකතුමාගේ නිවේදන - 2025.09.10

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එස්. අබ්දුල් වාහිද් සහ නීතිඥ සුජීව සේනසිංහ යන මහත්වරුන් කාරක සභා කිහිපයක සේවය කිරීම සඳහා නම් කළ බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන සහ 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් මහතා , අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ , නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ , සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 129 හි විධිවිධාන ප්‍රකාරව, පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්. 10) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

එමෙන්ම 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125 හි විධිවිධාන ප්‍රකාරව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව ගරු කථානායකවරයා නිවේදනය කළේය.

 




සම්බන්ධිත පුවත්

2025-09-12

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගිය සැප්. 04 වැනිදා පැවැත්විණි. ඒ පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය, ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.මේ අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රොෂාන් ගමගේ, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) හා වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා යන මහත්වරුන්ද සහභාගීවූහ.මෙහිදී පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි කාර්යභාරය පිළිබඳව පැහැදිලි කරමින්, පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කළාය.තවද මේ අවස්ථාව සමගින් එක්වූ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) හා වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා මහතාද අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය හා සංයුතිය පිළිබඳව සිසුදරුවන් දැනුවත් කළේය.ඒ අනුව මෙහිදී පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවුණි. අනතුරුව අග්‍රාමත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් ආමත්‍යවරයන් විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසු සිසුවියන් සඳහා සහතිකපත්‍ර ලබාදීම ද පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රමුඛ ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති එච්. මහේෂිකා විජයරත්න, පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.


2025-09-12

පොළොන්නරුව වෘක්කවේද රෝහල චීන-ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වය නිසා ශ්‍රී ලංකාවට ලැබුනු වටිනාම ත්‍යාගයක් - ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

පොළොන්නරුව වෘක්කවේද රෝහල චීන-ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වය නිසා ශ්‍රී ලංකාවට ලැබුනු වටිනාම ත්‍යාගයක් බව පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (සැප්. 05) කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සහ චීන තනාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව නගර සභා කාර්යාල පරිශ්‍රයේ දී පැවති චීන රජයේ ආධාර මත පොළොන්නරුව දිස්ත්‍රීකයේ අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීම සදහා ජීවනෝපාය වර්ධනය කිරීමේ උපකරණ ලබාදීමේ අවස්ථාවකට එක්වෙමිනි.මෙම අවස්ථාවේදී රුපියල් මිලියන පහළොවක් පමණ වන වටිනාකමකින් යුත් මහන මැශින් සහ ජල මෝටර් ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කෙරෙණි.එයට අමතරව චීන රජයේ ආධාර මත ඉදිකරන ලද පොළොන්නරුව විශේෂිත ජාතික වෘක්කවේද රෝහලේ සෞඛ්‍ය  කටයුතු හා ඉදිරි සංවර්ධන  කටයුතු සිදුවිය යුතු  ආකාරය පිළිබඳව සොයා බැලීමටද චීන තානාපතිවරයා එක්වූ අතර චීන රජය විසින් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය හා චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල සදහා සිදුකරනු ලබන දායකත්වය අගයමින් චීන තානාපතිවරයාට විශේෂ  සමරු තිළිණයක්ද  ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය.මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය  ගරු නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා, නිවාස ගරු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් සුජන්ත ඒකනායක මහතා, පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩිල්කා සමරසිංහ මහත්මිය සහ චීන නියෝජිතයින් ඇතුළු සෞඛ්‍ය  නිළධාරීන් පිරිසක්ද සහභාගීවී සිටියහ.


2025-09-12

2026 අයවැය නොවැම්බර් 7 සිට දෙසැම්බර් 5 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26අයවැය කථාව නොවැම්බර් 7 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් අද (සැප්. 11) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී  තීරණය විය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ.  මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහලේකම්වරිය පැවසුවාය. මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා විසින් 2025 නොවැම්බර් 7 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව)  සිදු කිරීමටත්, අනතුරුව නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා දින 6ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. ඒ අනුව නොවැම්බර් 14 ප.ව. 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.ඉන්පසු නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 5 ප.ව. 6.00 ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත.මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ. එසේම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සදුදා දිනවල පෙ.ව. 9.30 ටත්, අන් සෑම දිනකම පෙ.ව. 9.00 ට රැස්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. ඒ අනුව  මෙම කාලසීමාව තුළ සෑම දිනකම ස්ථාවර නියෝග 22(1) සිට (6) පරිදි වැඩකටයුතුවලට අමතරව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 කට සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කිරීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත. එසේම මෙම කාල සීමාව තුළ ප.ව. 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වීමටත් ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන් හැර අන් සෑම දිනකම ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා  රජයට සහ විපක්ෂයට 50:50 අනුපාතය මත පදනම්ව සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය විය.


2025-09-10

15 වන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

සියළුම විශ්වවිද්‍යාලවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් 15 වන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල පසුගිය 04 වැනිදා රජරට විශ්වවිද්‍යාලයේ දී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මේ සදහා අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා සහ අනුරාධපුර දිස්ත්‍රීකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්යවරුන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks