E   |     |  

2025-10-14

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

කොළඹ නගරයේ හිඟ වරිපනම් ආදායම් අයකර ගැනීමට විධිමත් ක්‍රමයක් සකස් කරන්න - ‘කෝපා’ කමිටුවෙන් කොළඹ මහ නගර සභාවට උපදෙස්

කොළඹ නගරයේ හිඟ වරිපනම් ආදායම් අයකර ගැනීමට විධිමත් ක්‍රමයක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) කොළඹ මහ නගර සභාවට උපදෙස් ලබාදෙන ලදී.

වරිපනම් අදායම් පවත්වාගෙන යාම ඇතුළු තවත් කාර්යයන් කිහිපයක් සඳහා KOICA ව්‍යාපෘතිය මගින් දත්ත පද්ධතියක් සකස් කිරීමට අපේක්ෂා කරන බව කොළඹ මහ නගර සභා නිලධාරීහු කෝපා කමිටුවට දැන්වූහ.

ඒ අනුව KOICA ව්‍යාපෘතිය සමග සාකච්ජා කර වරිපනම් එකතු කිරීමේ කාර්ය සාධනය වැඩි කිරීම උදෙසා එම වරිපනම් ආදායම් ක්‍රමවත්ව රැස්කිරීම සඳහා සකස් කරන නව දත්ත පද්ධතිය උපයෝගි කරගැනීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙස කොළඹ මහ නගර සභාවට කාරක සභාව විසින් උපදෙස් ලබාදෙන ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ කොළඹ මහ නගර සභාවේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2025.10.08 වන දින කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට දේපළ හඳුනාගැනීම සිදුකර ඇති බවට සඳහන් කළ කොළඹ කොටුව ප්‍රදේශයේ හිඟ අදායම් අයකරගැනීමේ කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කරනලෙස ලබාදුන් නිර්දේශය ක්‍රියාත්මක නොකර තිබීම පිළිබඳව කෝපා කමිටුව අදාළ නිලධාරීන්ගෙන් විමසනු ලැබීය.

ඊට පිළිතුරු ලබාදුන් නිලධාරීහු රුපියල් මිලියන 610.96ක් වන හිඟ අදායම් වලින් මේ වනවිට රුපියල් මිලියන 148ක මුදලක් අයකර ගැනීමට හැකිවූ බව පැවසුහ. ඉතිරි මුදල් අයකරගැනීමට අවශ්‍ය කටුයුතු සිදුවෙමින් පවතින බවත් ඔව්හු පැවැසුහ. කෙසේ වෙතත් මෙම එකතු කර ගැනීමට පවතින හිඟ ආදායම් විධිමත්ව අයකර ගැනීමේ සැළස්ම පිළිබඳව සම්පුර්ණ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

තවද කොළඹ මහ නගර සභාවට ලැබෙන අනෙකුත් අදායම් මාර්ගග එකතු කරගැනීම සඳහා විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීමේ වැඩපිළිවෙළ හා හඳුනාගත නොහැකි දේපළ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙස ද සභාපතිවරයා විසින් කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මේ අතර අනවසරයෙන් භුක්තිවිඳින මෝදර එලිහවුස් (Elie House) ඉඩම සම්බන්ධයෙන් කෝපා කමිටුව පෙර ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳවද කමිටුවේදී සාකච්ජා කෙරිණි. එහිදී කෝපා කමිටුව විසින් ඒ වනවිට එම ඉඩම තුළ අනවසරයෙන් භුක්ති විඳින දේපොළ සම්බන්ධව එම දේපළ භුක්ති විඳින පිරිස් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය පිළිබඳව ගරු ආණ්ඩුකාරවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ජාවෙන් අනතුරුව, එම දේපළ කොළඹ මහනගර සභාව වෙත පවරාගැනීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙස ද නිර්දේශ කරන ලදී. කෙසේ වෙතත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ජා කර අනවසර භුක්තියට අදාළ හිඟ කුලිය හා දඩ මුදල් ගෙවීමට එකඟ වී ඇතත් ඉදිරි කටයුතු සිදුකර නොමැති බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.එහිදී එම ඉඩමේ මුළු ප්‍රමාණය පර්චර්ස් 140 වුවද ඉන් 1992 සිට ගිවිසුම් ගතව ඇත්තේ පර්චර්ස් 40ක ප්‍රමාණයකට පමණක් බව අනාවරණය විය. එම ගිවිසුමද 2022 වසරේදී කල් ඉකුත්වී ඇති බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. එහිදී අදහස් දැක්වූ කොළඹ මහ නගරසභාවේ නිලධාරීහු එම ඉඩමේ පුණ්‍ය ආයතනයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඔවුන් හා එකඟතාවෙන් අදාළ හිඟ කුලිය හා දඩ මුදල් ලබාගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බව පැවසුහ. එමෙන්ම ගිවිසුම්ගත නොවී භාවිතා කරන ඉතිරි පර්චර්ස් 50 නැවත පවරා ගැනීමට කටයුතු කරන බවද නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

කෙසේ වෙතත් මෙලෙස කටයුතු කිරීම තුළින් ගැටලු රැසක් මතුවන බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මූල්‍ය සහ රාජ්‍ය පරිපාලන නීති රීති අනුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ අනුව භාවිතා කරන ඉතුරු පර්චස් ප්‍රමාණය සඳහා අයකරන හිඟ දඩ මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස උපදෙස් ලබාදුන් අතර එම වාර්තාව දෙසැම්බර් මස අග වනවිට ලබාදීමට හැකි බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

මේ අතර බොරැල්ල සුසාන භූමි පාලකගේ නිල නිවාසය හා ඉඩම අවභාවිතා කරමින් අනවසරයෙන් ඉදිකර ඇති මල්ශාලාව පිළිබඳව කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය. ඒ සම්බන්ධව පුර්ණ පරීක්ෂණයක් සිදු කර කාරක සභවට වාර්තාවක් ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුනද එම වාර්තාව එතෙක් කාරක සභාවට ලබානොදීම පිළිබඳව කාරක සභාව සිය නොසතුට පළකළේය.

කෙසේ වෙතත් සිදුවීමට අදාළව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගෙන ඉදිරි කටයුතු සිදුකරගෙන යමින් පවතින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

මෙම රැස්වීම් සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරවින්ද සෙනරත්, දිනිඳු සමන් හෙන්නායක, මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාහ්, රෝහිත අබේගුණවර්ධන, ජේ.සී. අලවතුවල, චාමර සම්පත් දසනායක, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, සුනිල් රත්නසිරි, චන්දන සූරියආරච්චි සහ  කොළඹ මහ නගර සභාවේ නගාරාධිපති  ව්‍රායි කැලී බල්තසාර් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

 




සම්බන්ධිත පුවත්

2025-11-18

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 12.11.2025 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී  අස්වැසුම  සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය  වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මෙහිදී  අස්වැසුම  සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායක පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.එම නිර්ණායක ඔස්සේ අදාළ ප්‍රතිලාභ ලබාදීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇති ආකාරය පිළිබඳව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22 ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම උදෙසා පමණක් පුද්ගලයින්ට ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති නමුත් විය යුත්තේ සමස්ථ රටේම පුද්ගලයින් ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියකට (Social Registry) ඇතුළත් කරගැනීම බව මෙහිදී කරුණු දක්වමින් කාරක සභාව පෙන්වා දෙන ලදී. එලෙස ලියාපදිංචි වූ පසු නිවැරදිවම ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න හඳුනාගත හැකි බවත් ඒ ඔස්සේ ඔවුන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කාරක සභාව පෙන්වා දෙන ලදී.එමෙන්ම වැඩිහිටියන්ට සහ අබාධිත ප්‍රජාවට අදාළ අස්වැසුම ප්‍රතිලාභ නිවසටම ගොස් ලබාදීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම දැනට අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණද ජාතික හැඳුනුම්පත නොමැතිකම හේතුවෙන් එම ප්‍රතිලාභ ලබාගත නොහැකිව යම්  පිරිසක්  සිටින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව හැකි ලෙස ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කරගනිමින් කටයුතු කිරීම මගින් අස්වැසුම ප්‍රතිලාභ දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ වැදගත්කමද කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (මහාචාර්ය) රුවන් රණසිංහ, නිශාන්ත ජයවීර යන මහත්වරුන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර, චතුර ගලප්පත්ති, තිළිණ සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. 


2025-11-17

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනු කාරක සභාවේදී සාකච්ඡා කරයි

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාල‍ාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.


2025-11-15

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා සකස් කළ අදහස් හා යෝජනා ඇතුළත් අතුරු වාර්තාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක්, ඒ සඳහා පත් කළ අනුකාරක සභාවේ සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ කරුණු පිළිබඳව මෙහිදී  සාකච්ඡා විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය. එසේම , රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත්වූ පුද්ගලයන්ට එම මන්ත්‍රීධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කර දීම පිළිබඳව ද මෙහිදී යෝජනා විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිය රජයේ රැකියාව අතහැර පැමිණෙන මන්ත්‍රීවරයෙකු හට, මන්ත්‍රී විශ්‍රාම වැටුප ද හිමි නොවන බැවින්  මේ සම්බන්ධයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව සිය අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන  බවත්  කාරක සභා සභාපතිවරයා  මෙහිදී පැවසීය.රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීම් පටිපාට සහ උසස් කිරීමේ පටිපාටි  වල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් ලකුණු සීමා වෙනස් කිරීම හේතුවෙන් රාජ්‍ය සේවය තුළ ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබෙන බවට මෙහිදී සාකච්ඡා විය. මේ ගැටලුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට කටයුතු කරන බවට අමාත්‍යංශ නිලධාරීන් පැවසීය.මෙම කාරක සභාව සඳහා ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


2025-11-15

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් ‘කෝප්’ කමිටුවේ අවධානය

සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වෙයිවරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.  මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වට (කෝප්) කැඳවා  2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය.කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා 2021 නොවැම්බර් මස ආයතනයක් සමග රුපියල් මිලියන 40,273 ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අමාත්‍යමණ්ඩල අනුමතිය හිමිවී තිබූ බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 2021 දෙසැම්බර් මස මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර තිබූ අතර 2025 ජනවාරි 03 වැනි දින මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදවීම සිදු වූ අතර එම කාලසීම‍ාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම කටයුතු නිමකිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. මේ හේතුවෙන් දින 548 ක් ප්‍රමාදවීම සිදු වීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම සංවර්ධන කටයුතු ඉතා  කඩිනමින් සිදු කිරීමට කටයුතු කොට ඇති බවත් ඉක්මනින් මෙම කටයුතු අවසන් වනු ඇති බවත්ය.එසේම අධිකාරියේ සේවකයින්ගේ ආහාර වියදම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක  නොවී ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නිලධාරීන් පැවසුවේ මේ වන විට වියදම් අඩු කිරීමට කටයුතු කොට ඇති බවත් මිල අවම කර ගැනීම සඳහා තරඟකාරී ඩෙන්ඩර් ක්‍රමය හඳුන්වාදී ඇති බවත්ය.වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් බැහැර කිරීමට සහ අත්පත් කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි. මේ අනුව නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.එසේම සීදූව රද්දොලුව ක්‍රීඩා සමාජයේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ද, එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ ක්‍රීඩකයන් සේවකයන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.  මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks