E   |     |  

2025-10-17

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

2014 සහ 2015 වර්ෂවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම හේතුවෙන් ලංකා සතොසට රු. 15,157,031,018 ක පාඩුවක් - ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වෙයි

  • සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අය විය යුතු මුදල් තවම අයකරගෙන නැහැ - කෝප් කමිටුව පෙන්වා දෙයි.
  • කොන්ත්‍රාත් පදනම මත ‍නිලධාරීන් බඳවා ගැනීම හේතුවෙන් නිලධාරීන් නිතර වෙනස්වීම මත ආයතනයේ වගවීම සම්බන්ධ ගැටලු ඇතිවිය හැකියි - කෝප් කමිටුව පෙන්වා දෙයි
  • භාණ්ඩාගාර අනුමතියකින් තොරව සිදු කළ දීමනා කිහිපයක්.
  • සමාග‍මේ ඒකාබද්ධ ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතිය (ERP system) සම්බන්ධ ගැටලු පිළිබඳ අවධානය 
  • ඉදිරියේදී වගකීමක් සහිත ආයතනයක් ලෙස ‍සතොස ගොඩනැගිය යුතුයි - කෝප් සභාපති

 

2014 සහ 2015 වර්ෂවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම හේතුවෙන් ලංකා සතොසට රු. 15,157,031,018 ක පාඩුවක් සිදුව ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ ලංකා සතොස ලිමිටඩ් ආයතනය 2021 සහ 2022 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

මෙහිදී කෝප් කාරක සභාව පෙන්වා දුන්නේ 2014 සහ 2015 වර්ෂවලදී සිදු කර තිබුණු ආනයනික සහල් සඳහා රු. 27,011,980,142ක පිරිවැයක් දරා තිබුණත් එම සහල් තොගය අලෙවියෙන් ලැබී ඇත්තේ රු. 11,854,949,124 ක ආදායමක් බවයි. ඒ අනුව දේශීය සහල් වෙළඳපොළ තත්ත්වය, වී අස්වැන්න ලැබීම සහ සහල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු නොකර විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීමට කටයුතු කර තිබී ඇති බවත් මේ නිසා  රු. 15,157,031,018 ක පමණ මෙම පාඩුව සතොස ආයතනයට සිදුවී ඇති බවත් කාරක සභාව පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කොට ඇත්දැයි කාරක සභාව පැමිණි නිලධාරීන්ගෙන් විමසූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ගොනුකරීමට භාරදී ඇති බවයි. 

එසේම සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අය විය යුතු මුදල් තවම අයකරගෙන නොමැති බවද කෝප් කමිටුව විසින් පෙන්වා දෙන ලදි.  සමාගමේ ගොඩනැගිලි කුලියට ගැනීමේ මාර්ගෝපදේශ අනුව ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා අනාගතයේ වෙළඳසැල් පටන් ගැනීමේ උපකල්පනය මත අත්තිකාරම් නොගෙවිය යුතු වුවත්, 2020 දෙසැම්බර් 31 දින වන විට ගිවිසුම් 29 ක් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අත්තිකාරම් මුදල් ලෙස රු. 34,234,996ක් ඇස්තමේන්තුවක් ලබාගැනීමකින් තොරව ගෙවා තිබුණු බව මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදි. මේ අනුව එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි  ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රු. 27,435,000 ක් අයකර ගැනීමට සමාගම විසින් නඩු පවරා ඇති බව මෙහිදි අනාවරණය විය. 

තවද කොන්ත්‍රාත් පදනම මත අත්‍යාවශ්‍ය තනතුරු සඳහාද නිලධාරීන් පත් කරගැනීම සිදු කර ඇති බව පෙන්වාදුන් කාරක සභාව  මෙම තාවකාලික බඳවා ගැනීම හේතුවෙන් නිලධාරීන් නිතර වෙනස්වීම මත ආයතනයේ වගවීම සම්බන්ධ ගැටලු ඇතිවිය හැකි බව පෙන්වා දුන්නේය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම තත්ත්වය මේ වන විටත් වටහාගෙන ඇති බැවින් ඉදිරියේදී මෙම පත්වීම් වසර 5ක කාලසීමාවක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවයි. 

එසේම තාවකාලික පත්වීම් ඇතුළුව තවත් පත්කිරීම් කිහිපයක් සඳහා භාණ්ඩාගාර අනුමතියකින් තොරව සිදු කළ දීමනා සම්බන්ධයෙන්ද මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මෙම තත්ත්වයන් විධිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

මීට අමතරව සමාග‍මේ ඒකාබද්ධ ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතිය (ERP system) සම්බන්ධ ගැටලු පිළිබඳ අවධානය යොමු වූ අතර විශාල වැය බරක් දරා මෙම පද්ධතිය පුළුල් කිරීම සිදු කළද එමගින් ඇතැම් අවශ්‍යතාවන් සපුරාගැනීමට නොහැකි බවද මෙහිදී අනාවරණය විය.  

මෙම සියලු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව  කාරක සභාපතිවරයා අවධාරණය කළේ ඉදිරියේදී වගකීමක් සහිත ආයතනයක් ලෙස ‍සතොස ගොඩනැගීම සිදු විය යුතු බවයි. ඒ වෙනුවෙන් නිලධාරීන්ගේ කැපවීම බලාපොරොත්තුවන බව  හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, සුදත් බලගල්ල, චන්දිම හෙට්ටිආරච්චි, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, තිලිණ සමරකෝන්, එම්.කේ.එම්. අස්ලම්  සහ නීතීඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2025-11-18

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 12.11.2025 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී  අස්වැසුම  සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය  වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මෙහිදී  අස්වැසුම  සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායක පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.එම නිර්ණායක ඔස්සේ අදාළ ප්‍රතිලාභ ලබාදීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇති ආකාරය පිළිබඳව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22 ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම උදෙසා පමණක් පුද්ගලයින්ට ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති නමුත් විය යුත්තේ සමස්ථ රටේම පුද්ගලයින් ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියකට (Social Registry) ඇතුළත් කරගැනීම බව මෙහිදී කරුණු දක්වමින් කාරක සභාව පෙන්වා දෙන ලදී. එලෙස ලියාපදිංචි වූ පසු නිවැරදිවම ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න හඳුනාගත හැකි බවත් ඒ ඔස්සේ ඔවුන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කාරක සභාව පෙන්වා දෙන ලදී.එමෙන්ම වැඩිහිටියන්ට සහ අබාධිත ප්‍රජාවට අදාළ අස්වැසුම ප්‍රතිලාභ නිවසටම ගොස් ලබාදීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම දැනට අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණද ජාතික හැඳුනුම්පත නොමැතිකම හේතුවෙන් එම ප්‍රතිලාභ ලබාගත නොහැකිව යම්  පිරිසක්  සිටින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව හැකි ලෙස ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කරගනිමින් කටයුතු කිරීම මගින් අස්වැසුම ප්‍රතිලාභ දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ වැදගත්කමද කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (මහාචාර්ය) රුවන් රණසිංහ, නිශාන්ත ජයවීර යන මහත්වරුන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර, චතුර ගලප්පත්ති, තිළිණ සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. 


2025-11-17

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනු කාරක සභාවේදී සාකච්ඡා කරයි

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාල‍ාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.


2025-11-15

පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්න - ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් අමාත්‍යාංශයට යෝජනාවක්

අමාත්‍යාංශ  කිහිපයක 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සලකා බැලීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව දින දෙකක් රැස් වෙයි පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්නා ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනා කරන ලදි.භාණ්ඩ මිලදීගැනීමේදී සිලි සිලි බෑග් සඳහා මිලක් අයකිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීමේදී කාරක සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදි. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටියේ මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න සලකා බැලිය යුතු බවයි. එසේම මෙම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී නිලධාරීන් පෙන්වාදුන්නේ සිලි සිලි බෑග් සඳහා මුදල් ගෙවීය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නැති බවයි. 2025.11.10 සහ 12  යන දිනයන්හිදී පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීම සිදු විය. මෙහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය. එසේම ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීමද සිදු විය.මෙම කාරක සභාව සඳහා ගරු විපක්ෂ න‍ායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඥානමුත්තු ශ්‍රීනේසන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, නීතිඥ සුජීව සේනසිංහ සහ උපුල් කිත්සිරි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.  


2025-11-15

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා සකස් කළ අදහස් හා යෝජනා ඇතුළත් අතුරු වාර්තාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක්, ඒ සඳහා පත් කළ අනුකාරක සභාවේ සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ කරුණු පිළිබඳව මෙහිදී  සාකච්ඡා විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය. එසේම , රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත්වූ පුද්ගලයන්ට එම මන්ත්‍රීධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කර දීම පිළිබඳව ද මෙහිදී යෝජනා විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිය රජයේ රැකියාව අතහැර පැමිණෙන මන්ත්‍රීවරයෙකු හට, මන්ත්‍රී විශ්‍රාම වැටුප ද හිමි නොවන බැවින්  මේ සම්බන්ධයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව සිය අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන  බවත්  කාරක සභා සභාපතිවරයා  මෙහිදී පැවසීය.රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීම් පටිපාට සහ උසස් කිරීමේ පටිපාටි  වල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් ලකුණු සීමා වෙනස් කිරීම හේතුවෙන් රාජ්‍ය සේවය තුළ ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබෙන බවට මෙහිදී සාකච්ඡා විය. මේ ගැටලුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට කටයුතු කරන බවට අමාත්‍යංශ නිලධාරීන් පැවසීය.මෙම කාරක සභාව සඳහා ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks