පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-10-31
පුවත් කාණ්ඩ : පුවත්
පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් 2025 ඔක්තෝබර් 26 සිට 29 දක්වා එක්සත් රාජධානියේ සිව් දින නිල සංචාරයක නිරත වූහ. අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඉදිරියට ගෙන යාම, ආයතනික විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය.
මෙම දූත පිරිසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (වෛද්‍ය) නලින්ද ජයතිස්ස, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය සහ එක්සත් රාජධානිය - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති නීතිඥ හර්ෂණ නානායක්කාර, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන් ඇතුළත් වූහ.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) සහ එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය විසින් මෙම සංචාරය සඳහා අවශ්‍ය පහසුකම් සහ අනුග්‍රහය සපයන ලද අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ද මෙම සංචාරය සඳහා සහභාගිවී සිටියේය. මෙහිදී ඵලදායී නීති සම්පාදනය, අධීක්ෂණය සහ යහපාලනය ප්‍රවර්ධනය කරන ආයතනික රාමු සහ භාවිතයන් කෙරෙහි අවධානය යොමු කරන ලදී.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන ක්ෂේත්‍රයක් වූ පශ්චාත්-ව්‍යවස්ථාදායක විමසුම (Post-Legislative Scrutiny) කෙරෙහි අවධානය යොමු විය. එනම් ව්‍යවස්ථාදායකයන් විසින් නීති පැනවීමෙන් පසු ඒවායේ ක්‍රියාත්මක කිරීම සහ බලපෑම ක්‍රමානුකූලව සමාලෝචනය කරමින්, අපේක්ෂිත ප්‍රතිඵල ලබා දීම සහ පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලන බවටත් සහතික කිරීමේ යාන්ත්‍රණයයි. එවැනි යාන්ත්‍රණයන් වගවීම සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් වැඩි දියුණු කරන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිස එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාරක සභා නිලධාරීන් සහ අධීක්ෂණ ආයතන සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් අදහස් හුවමාරු කරගත්හ.
මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ දූත පිරිස, ඒක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් (Sir Lindsay Hoyle), විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය සීමා මල්හෝත්‍රා (Seema Malhotra MP) සහ මහජන මන්ත්‍රී මණ්ඩල ක්‍රියා පටිපාටි කාරක සභාවේ ගරු සභාපති කැට් ස්මිත් (Cat Smith MP) යන මහත්ම මහත්මීන්ද හමුවී සාකච්ඡා පැවැත්වූහ. තවද කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය හා කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා වූ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත බැරොනස් හැරියට් හර්මන් (Baroness Harriet Harman) මහත්මිය අතර හමුවක්ද පැවැත්විණි. එහිදී පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග තුළින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තා බලගැන්වීම පිළිබඳව ඔවුහු සාකච්ඡා පැවැත්වූහ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සමාලෝචන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමට අදාළව තාක්ෂණික සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන් අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා දුත පිරිස ලන්ඩන් විශ්ව විද්‍යාලයේ උසස් නීති අධ්‍යයන ආයතනයේ (Institute of Advanced Legal Studies) අධ්‍යයන විශේෂඥයින් ද හමුවී අදහස් හුවමාරු කරගත්හ. මෙහිදී ආයතන දෙක අතර අඛණ්ඩ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්තනි ස්මිත් (Anthony Smith), ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ සභාපතිනිය යස්මින් කුරේෂි (Yasmin Qureshi) යන මහත්ම මහත්මීන් ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සමඟ තවදුරටත් සාකච්ජා පැවැත්වූහ.
මෙම සංචාරය දෙරටේ පාර්ලිමේතු අත්දැකීම් බෙදා ගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ආයතනික අඛණ්ඩතාව සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඔවුන්ගේ පොදු කැපවීම නැවත තහවුරු කිරීමට වටිනා අවස්ථාවක් විය. වගවීම සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමේ කාර්යයේදී පාර්ලිමේන්තුවලට ඇති කේන්ද්‍රීය සහ තීරණාත්මක භූමිකාව ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකම පොදුවේ හඳුනාගෙන පිළිගන්නා බව සහ දෙරට අතර පවතින ශක්තිමත් හා කල් පවතින මිත්‍ර සම්බන්ධතාවය මෙම සංචාරය තුළින් තවදුරටත් තහවුරු විය.
2025-11-07
නායකයෙක් යනු බලය භුක්ති විඳින කෙනෙකු නොව, නායකයක් යනු තම රටට, තම ප්‍රජාවට සේවය කරන කෙනෙකු පමණක් වන බවත්, බලය යනු ආභරණයෙක් නොව, බලය යනු විශාල පිරිසකගේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා මෙවලමක් පමණක් වන බවද, ඕනෑම නායකයකු එය සිහි තබා ගත යුතු බව ද ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය කිරිල්ලවල මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අමතමින් පැවසීය. එමෙන්ම, අනෙකාට සවන් දෙමින්, ප්‍රජාතන්ත්‍රවාදී සහ නිතීගරුක ලෙස සාමුහිකව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව එතුමිය අවධාරණය කළාය.ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී 2025.10.31 දින පැවති කිරිල්ලවල මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අමතමින් නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය මේ බව පැවසුවාය.තවද, ජාත්‍යන්තර තලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය මෙරට ශිෂ්‍ය පර්ලිමේන්තු ඔස්සේ තමන්ගේ පාසලට පමණක් නොව මුළු මහත් සමාජයටම යහපත් වන්නාවූ වෙනස්කම් කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බව පෙන්වා දුන්නාය. අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ වූ අතර එහිදී කථානායකවරයකු දිවුරුම් දීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමද සිදු විය. පසුව එක් එක් අමාත්‍යවරයන් හා අමත්‍යවරියන් විසින් තම අමාත්‍යාංශ මගින්, පාසල තුළ සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන් ඇතුළත් යෝජනා සභාවට ඉදිරිපත් කළහ.මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩබලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා මහතා දරුවන්ගේ පෞරුෂවර්ධනය සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ශිෂ්‍ය පාර්ලිමේන්තුව මහගු පිටුවහලක් වන බව පෙන්වා දුන්නේය. තවද ඒ මහතා විසින් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ එහි කාර්යයන් පිළිබඳ සිසු දරුවන් දැනුවත් කරන ලදී.එසේම මෙම අවස්ථාවට සහභාගී වූ සිසු දරුවන්ට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් සහතික පත් ප්‍රදානය කිරීම ද සිදුවිය.ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ මෙම වැඩසටහන සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂාන ගමගේ, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුන් සහ කිරිල්ලව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ආර්.ඩබ්ලිව්.එම්.ඒ. බණ්ඩාර වීරසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-11-07
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (නොවැ. 07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.අද ප.ව. 1.30 ට පමණ අයවැය යෝජනා සමග ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සිට සම්ප්‍රදායට අනුව වේත්‍රධාරීවරයා පෙරටුකොට ගනිමින් සභාගර්භයට පැමිණි අතර ප.ව. 5.50 දක්වා අය වැය යෝජනා ඉදිරිපත් කරන ලදී.නව රජයේ දෙවන අයවැය වන මෙම අයවැය නිදහස් ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැය ලෙස ඉතිහාසයට එක්වේ. විදෙස් තානාපතිවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශක ප්‍රධානීන්, විනිසුරුවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා දක්වා දින 6 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.ඉන් අනතුරුව 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා සෙනසුරාදා දින 3ක්ද ඇතුළුව දින 17ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන්පසු විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා ප.ව. 6.00ට පැවැත්වේ.මේ අනුව සමස්ත අයවැය විවාදය 2025 නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
2025-11-06
අයවැය විවාදය නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා දින 23 ක් පැවැත්වෙයිදෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා - දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 ප.ව. 6.00ටකාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා - තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 ප.ව. 6.00ට2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව/ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) හෙට (07) ප.ව. 1.30 ට මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත. අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ සම්පූර්ණ විවාදය (අයවැය විවාදය) 2025 නොවැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.2025 සැප්තැම්බර් 26 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා දක්වා දින 6 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා සෙනසුරාදා දින 3ක්ද ඇතුළුව දින 17ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා ප.ව. 6.00ට පැවැත්වේ.අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ. එසේම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සදුදා දිනවල පෙ.ව. 9.30 ටත්, අන් සෑම දිනකම පෙ.ව. 9.00 ට රැස්වීමටත් නියමිත වී තිබේ. ඒ අනුව මෙම කාලසීමාව තුළ සෑම දිනකම ස්ථාවර නියෝග 22(1) සිට (6) පරිදි වැඩකටයුතුවලට අමතරව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 කට සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කර ඇත. එසේම මෙම කාල සීමාව තුළ ප.ව. 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වීමටත් ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන් හැර අන් සෑම දිනකම ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා රජයට සහ විපක්ෂයට 50:50 අනුපාතය මත පදනම්ව සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් නියමිතව තිබේ.
2025-11-03
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස (උසස් පෙළ) විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ ඌව පළාත් වැඩසටහන ගරු කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැ. 02) බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ 1-10 දක්වා ස්ථාන ලබාගත් සිසු සිසුවියන් 240 දෙෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 24 කි.ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහි පිළිගැනීමේ සහ අරමුණ පැහැදිලි කිරීමේ කථාව සිදු කළේය.මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතා වත්මන් රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කරමින් සිටින බවත්, රටක අධ්‍යාපනය සඳහා අයෝජනය කිරිම තරම් වැදගත් වටිනා ආයෝජනයක් තවත් නොමැති බවත් දරුවන් ලබන අධ්‍යාපනය තුළින් රටට මහඟු සේවයක් කළහොත් එම ආයෝජනයේ ප්‍රතිඵල රටට සාක්ෂාත් කර ගත හැකි වනු ඇති බවත් සඳහන් කළේය. එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු කථානායකවරයා, "අධ්‍යාපනයෙන් උගතෙක් වෙලා ප්‍රඥාවන්තයෙක් වෙනවාට අපි කැමතියි. ප්‍රඥාවන්තයා කවදාවත් පරමාණු බෝම්බයක් හදන්නේ නැහැ. උගතෙක් වී වංචා කරනවා නම් උගත්කමෙහි වටිනාකමක් නැහැ. එතැන තිබෙන්නේ ප්‍රඥාවන්තකම නොව උගත්කම පමණයි ඒ නිසා ඔබගේ උගත්කම රටට ඔබින ලෙස යොදාගතහොත් එවිට ඔබගේ දෙමාපියන් ඔබ උස් මහත් කිරීමට ලබාදුන් පෝෂ්‍යදායී බත් කටට සාධාරණයක් ඉටු වෙනවා" යැයිද කථානායකවරයා පැවසීය.මෙහිදී අදහස් දැක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා නව රජයේ සංකල්පයකට අනුව දූ දරුවන්ගේ ජීවිතයේ ඉදිරිය ශක්තිමත් කර ගැනීමට මෙවැනි දායකත්වයක් ලබාදීම පිළිබඳව සතුටු වන බවත් එම අවස්ථාව උදාකරදීම සම්බන්ධව ජනාධිපති අරමුදලට ස්තුතිවන්ත වන බවත් පැවසුවේය. ජනාධිපති අරමුදල ගොඩනැඟුවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට සහන සැලසීමට මෙන්ම අධ්‍යාපනය ලබන මේ රටේ දූ දරුවන්ගේ අනාගතය ගොඩනඟා ගැනීමට බවත් වත්මන් රජය ජනාධිපති අරමුදල විධිමත් කිරීමේ අරමුණු ඇතිව අද වන විට ප්‍රාදේශීය මට්ටමට ගෙන ගොස් තිබීම හේතුවෙන් සුදුසුකම් සහිත ප්‍රතිලාභීන්ට අරමුදලේ ප්‍රතිලාභ ලැබෙමින් පවතින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේය.මේ අතර ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීම පිළිබඳව විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ඌව පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂයභාර නිලධාරීන් වෙනුවෙන් 2025.11.01 වන දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.සංචාරක ගරු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල, නීතිඥ සරත් කුමාර, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේරත්න, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. ජී. නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ දෙමාපියන්ද ඇතුළු පිරිසක් අවස්ථාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks