බලන්න

E   |     |  

2025-11-10

පුවත් කාණ්ඩ : පුවත් 

විගණකාධිපතිවරයාගේ 2024 වාර්ෂික වාර්තාව ගරු කථානායකවරයාට භාරදෙයි

2024 වර්ෂයට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව පසුගියදා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී. ධර්මපාල මහතා විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පිළිගන්වන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී, ව්‍යවස්ථාපිත අරමුදල්, ව්‍යවස්ථාපිත නොවන අරමුදල්, විදෙස් ආධාර ව්‍යාපෘති, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සමාගම් ඇතුළු ආයතන ගණනාවක් 2024 වර්ෂය තුළ විගණනය කර ඒවායේ විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විගණාධිපතිවරයා විසින් කටයුතු කර ඇති අතර ඊට අදාළව මෙම වාර්ෂික වාර්තාව සකස් කොට ඇත.

නියෝජ්‍ය විගණකාධිපති එස්.ටී.ඩී. රත්නායක, විගණන අධිකාරි ආර්.ඩී. සේනාරත්න, ගරු කථානායකවරයාගේ සම්බන්ධීකරණ ලේකම් චමීර ගාල්ලගේ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.




සම්බන්ධිත පුවත්

2025-11-10

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී 04.11.2025 වන දින පැවැත්විණි. ඒ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය හා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියහ.රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය, ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.මේ අවස්ථාව සඳහා, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන ගමගේ, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ යන මහත්වරුන්ද සහභාගී වූහ.මෙහිදී ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ මන්ත්‍රීවරයන් ලෙස විනය නිසි පරිදි පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය. නීතියට අවනත නොවන පුද්ගලයෙකුට නීති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ විය නොහැකි බවද ඒ මහතා පැවසුවේය. තවද දේශපාලකයා සහ රාජ්‍ය තාන්ත්‍රිකයා යනු දෙදෙනෙකු බවත් දේශපාලකයා අනාගත ඡන්දය ඉලක්ක කරගෙන කටයුතු කරන නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ඉලක්ක කරගෙන තීන්දු තීරණ ගන්නා පුද්ගලයෙකු බවත් නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අවධාරණය කළේය.මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් දරුවන්ගේ ජීවිතවලට ළඟා කරගත හැකි යහපත් පුරුදු සහ ඒ ඔස්සේ එම දරුවන්ගේ ජීවිත සාර්ථක කරගැනීමේ අවස්ථාව පිළිබඳව අදහස් පළ කළාය. තවද ලෝකයේ අනෙකුත් රටවල ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව උදාහරණ ගෙන හැර දක්වමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය එම රටවල ජාතික මට්ටමේ ගැටලු විසඳීමේදී ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන්නාය. එමෙන්ම නායකයා යනු බලය භුක්ති විඳින පුද්ගලයෙකු නොවන බවත් නායකයා යනු තම සමාජයට සහ රටට සේවය කරන්නෙකු පමණක් බවත් ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවාය.තවද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අදහස් දක්වමින් ප්‍රථමයෙන්ම සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරිය ඇතුළු සභිකයින් විශිෂ්ට ලෙස භාෂා හැසිරවීම පිළිබඳව සිය සුබ පැතුම් පළ කළාය. අනතුරුව ඇය පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි කාර්යභාරය පිළිබඳව පැහැදිලි කරමින්, පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කළාය.රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් ආමාත්‍යවරුන් හා අමාත්‍යවරියන් විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසු සිසුවියන් සඳහා සහතික පත්‍ර ලබාදීම ද ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත මහතා ඇතුළු විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ. 


2025-11-07

මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (නොවැ. 07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.අද ප.ව. 1.30 ට පමණ අයවැය යෝජනා සමග ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සිට සම්ප්‍රදායට අනුව වේත්‍රධාරීවරයා පෙරටුකොට ගනිමින් සභාගර්භයට පැමිණි අතර ප.ව. 5.50 දක්වා අය වැය යෝජනා ඉදිරිපත් කරන ලදී.නව රජයේ දෙවන අයවැය වන මෙම අයවැය නිදහස් ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැය ලෙස ඉතිහාසයට එක්වේ. විදෙස් තානාපතිවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශක ප්‍රධානීන්, විනිසුරුවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා දක්වා දින 6 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.ඉන් අනතුරුව 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට ‍දෙසැම්බර් 5 දක්වා සෙනසුරාදා දින 3ක්ද ඇතුළුව දින 17ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන්පසු විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා ප.ව. 6.00ට පැවැත්වේ.මේ අනුව සමස්ත අයවැය විවාදය 2025 නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. 


2025-11-07

නායකයෙක් යනු බලය භුක්ති විඳින කෙනෙකු නොව, තම රටට, තම ප්‍රජාවට සේවය කරන කෙනෙකු පමණයි - ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය

නායකයෙක් යනු බලය භුක්ති විඳින කෙනෙකු නොව, නායකයක් යනු තම රටට, තම ප්‍රජාවට සේවය කරන කෙනෙකු පමණක් වන බවත්, බලය යනු ආභරණයෙක් නොව, බලය යනු විශාල පිරිසකගේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා මෙවලමක් පමණක් වන බවද, ඕනෑම නායකයකු එය සිහි තබා ගත යුතු බව ද ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය කිරිල්ලවල මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අමතමින් පැවසීය. එමෙන්ම, අනෙකාට සවන් දෙමින්, ප්‍රජාතන්ත්‍රවාදී සහ නිතීගරුක ලෙස සාමුහිකව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව එතුමිය අවධාරණය කළාය.ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී 2025.10.31 දින පැවති කිරිල්ලවල මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අමතමින් නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය මේ බව පැවසුවාය.තවද, ජාත්‍යන්තර තලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය මෙරට ශිෂ්‍ය පර්ලිමේන්තු ඔස්සේ තමන්ගේ පාසලට පමණක් නොව මුළු මහත් සමාජයටම යහපත් වන්නාවූ වෙනස්කම් කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බව පෙන්වා දුන්නාය. අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ වූ අතර එහිදී කථානායකවරයකු දිවුරුම් දීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමද සිදු විය. පසුව එක් එක් අමාත්‍යවරයන් හා අමත්‍යවරියන් විසින් තම අමාත්‍යාංශ මගින්, පාසල තුළ සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන් ඇතුළත් යෝජනා සභාවට ඉදිරිපත් කළහ.මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩබලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා මහතා දරුවන්ගේ පෞරුෂවර්ධනය සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ශිෂ්‍ය පාර්ලිමේන්තුව මහගු පිටුවහලක් වන බව පෙන්වා දුන්නේය. තවද ඒ මහතා විසින් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ එහි කාර්යයන් පිළිබඳ සිසු දරුවන් දැනුවත් කරන ලදී.එසේම මෙම අවස්ථාවට සහභාගී වූ සිසු දරුවන්ට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් සහතික පත් ප්‍රදානය කිරීම ද සිදුවිය.ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ මෙම වැඩසටහන සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂාන ගමගේ, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුන් සහ කිරිල්ලව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ආර්.ඩබ්ලිව්.එම්.ඒ. බණ්ඩාර වීරසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2025-11-06

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2026 අයවැය ඉදිරිපත් කිරීම හෙට (නොවැ. 07) ‍ප.ව. 1.30 ට...

අයවැය විවාදය ‍නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා දින 23 ක් පැවැත්වෙයිදෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා - දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 ප.ව. 6.00ටකාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා - තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 ප.ව. 6.00ට2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව/ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) හෙට (07) ප.ව. 1.30 ට මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත. අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ සම්පූර්ණ විවාදය (අයවැය විවාදය) 2025 නොවැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.2025 සැප්තැම්බර් 26 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා දක්වා දින 6 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට ‍දෙසැම්බර් 5 දක්වා සෙනසුරාදා දින 3ක්ද ඇතුළුව දින 17ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා ප.ව. 6.00ට පැවැත්වේ.අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ. එසේම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සදුදා දිනවල පෙ.ව. 9.30 ටත්, අන් සෑම දිනකම පෙ.ව. 9.00 ට රැස්වීමටත් නියමිත වී තිබේ. ඒ අනුව මෙම කාලසීමාව තුළ සෑම දිනකම ස්ථාවර නියෝග 22(1) සිට (6) පරිදි වැඩකටයුතුවලට අමතරව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 කට සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කර ඇත. එසේම මෙම කාල සීමාව තුළ ප.ව. 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වීමටත් ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන් හැර අන් සෑම දිනකම ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා රජයට සහ විපක්ෂයට 50:50 අනුපාතය මත පදනම්ව සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් නියමිතව තිබේ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks