පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-11-19
පුවත් කාණ්ඩ : පුවත්
ජිනීවාහි පැවැත්වූ 151 වන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) සමුළුවට සමගාමීව සංවිධානය කර තිබූ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ රැස්වීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් 2025 ඔක්තෝබර් 23 වන දින සහභාගී වූහ. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ස්ත්‍රී පුරුෂ හවුල්කාරිත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සැසියේදී, පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාමේ අත්දැකීම්, යහපත් භාවිතයන් සහ අභියෝග හුවමාරු කර ගැනීම සඳහා බෙනින්, භූතානය, බුර්කිනා ෆාසෝ, චැඩ්, ගැම්බියාව, නැමීබියාව, සියරා ලියොන්, තුර්කිය සහ සැම්බියාව යන රටවල නියෝජිතයින් ද එක්රැස්ව සිටියහ.
මෙහිදී රැස්වීම අමතමින් ගරු පාර්ලිමේන්තු මන්ත්රීනී ඔෂානි උමංගා මහත්මිය, 2024 වසරේදී මෙරට සිදුවූ ඓතිහාසික දේශපාලනික පරිවර්තනයකින් පසු කාන්තා දේශපාලන සහභාගීත්වය වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලන සිතියම හැඩගැස්වීමේදී කාන්තාවන් විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය ඇය අවධාරණය කළ අතර, ඉතිහාසය අලුත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ආසන්න වශයෙන් 5% සිට 10% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ යාමට දායක වූ “ගැහැණු අපි එක මිටට” යන ජාතික ව්‍යාපාරය පිළිබඳව සදහන් කළාය.
“ශ්‍රී ලංකාවේ මෙම අත්දැකීම සාර්ථක උදාහණයක් බවත් කාන්තාවන් බලගැන්වූ විට, මුළු ජාතියම නැඟී සිටින බවත් ඔෂානි උමංගා මහත්මිය පෙන්වා දුන්නාය. කාන්තාවන්ට ද ඕනෑම සිහිනයක් ජයගත හැකිබවත්, තමන් අපේක්ෂා කරන උසස් තත්ත්වයට යා හැකි ශක්තිය ඔවුන් සතුබැව් ලොව පුරා සිටින දියණියන්ට ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරිය මෙහිදී සඳහන් කළාය .
ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද ඇතුළත් ව සිටි අතර, ඇයගේ සහභාගීත්වය තුළින් ශ්‍රී ලංකාවේ උත්තරීතර ව්‍යවස්ථාදායකය තුළ පරිපාලනයට අදාළව කාන්තාවන්ට ලැබී ඇති නායකත්ව අවස්ථාවන්හි වර්ධනයන් පිළිබිඹු විය.
ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ දායකත්වය අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ඇගයීමට ලක්වූ අතර, පාර්ලිමේන්තු තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, විවිධත්වය සහ ප්‍රවේශ්‍යතාව ප්‍රවර්ධනය කිරීමට අදාළ ගෝලීය උත්සාහයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී භූමිකාව සම්බන්ධයෙන් ප්‍රශංසා කිරීමේ ලිපියක් හරහා සිය කෘතඥතාව පළ කළේය.
මෙම ජාත්‍යන්තර සහභාගීත්වය තුළින්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ශක්තිමත් කිරීමට සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන්හි කාන්තා අවස්ථා වැඩි කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කෙරිණි. මේ අනුව සැමට අවස්ථාවන් සැලසෙන, නියෝජිත ප්රජාතන්ත්රවාදයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ අනෙකුත් සාමාජික රටවල් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අපේක්ෂා කරයි.
2025-11-19
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයිගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (3) හි විධිවිධාන ප්‍රකාරව, 2025 නොවැම්බර් 18 දින තේරීම් කාරක සභාව විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (නොවැ. 11) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.එමෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 116 හි විධිවිධාන සහ 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන සහ 2025 මාර්තු 17 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නිවේදනය කළේය.තවද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන සහ 2025 මාර්තු 17 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ද , යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
2025-11-18
2026 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය වන අද (නොවැ. 18) විවාදයට ගැණුනු ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂය (103) වැඩි ඡන්ද 92කින් සංශෝධන සහිතව සම්මත විය.කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අද ප.ව. 6.50 ට පමණ සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 101ක්ද විපක්ෂව ඡන්ද 09ක්ද හිමි විය.අනතුරුව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය (225) සම්බන්ධයෙන්ද ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර, ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 100ක්ද විපක්ෂව ඡන්ද 02ක්ද හිමි විය.ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මත විය.
2025-11-15
මෙරට සිය සේවා කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ගරු ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ (Andrés Marcelo González Garrido) මහතා ඊයේ (නොවැ. 14) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.මෙහිදී තානාපති ගොන්සාලෙස් ගැරිඩෝ මහතා, ශ්‍රී ලංකාවේ වසර හතරහමාරක සේවා කාලය තුළ තමාට සහ ඔහුගේ දූත පිරිසට ලබා දුන් සහයෝගය සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් ගරු කථානායකතුමාට සිය කෘතඥතාව පළ කළේය. විශේෂයෙන් දසවැනි පාර්ලිමේන්තුව සඳහා පසුගියදා පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව සහ වැදගත්කම ඔහු අවධාරණය කළේය.සිය මෙහෙවර සාර්ථකව නිම කිරීමට හැකිවීම පිළිබදව ගරු කථානායකතුමා විසින් තානාපතිවරයාට සුබ පැතුම් එක්කළ අතර, දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා තානාපතිවරයාගේ කැපවීම ඇගයීමට ලක් කළේය. ශ්‍රී ලංකාව සහ කියුබාව අතර දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළ ගරු කථානායකවරයා, සහයෝගය අවශ්‍යවූ අවස්ථාවලදී කියුබාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවත්, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කළ බවත් සඳහන් කළේය. මෙම දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඔහු මෙහිදී අවධාරණය කළේය.ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රයට කියුබාව ලබාදී ඇති සහයෝගය පිළිබඳව ද ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සිය අත්දැකීම් සිහිපත් කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ සේවය කළ කියුබානු වෛද්‍යවරුන්ගේ මනුෂ්‍යත්වය, කැපවීම සහ සේවය ප්‍රශංසනීය බවයි. ශ්‍රී ලංකාවේ කියුබානු ආයෝජන වැඩි කිරීම සඳහා ආරාධනා කළ කථානායකවරයා කෘෂිකාර්මික ක්ෂේත්රයේ පුළුල් තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.
2025-11-14
ගරු වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.සංගමය නැවත පිහිටුවීම සඳහා රැස්වීම ඊයේ (නොවැ. 13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයිඩ් අල්රාෂිඩි මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි චතුරි ගංගානි මහත්මිය සංගමයේ භාණ්ඩාගාරික ධුරයට තේරී පත් විය.මෙම හමුවේදී, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ ඕමානය අතර 1981 වසරේ සිට පැවතෙන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර සිටියහ. ඕමානයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය ද මෙහිදී අවධානයට ලක් වූ අතර, දෙරටේ ආර්ථිකයන්ට සහාය වීම සහ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක්විය.සංචාරක, වෙළඳාම, ශ්‍රමය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ හැකියාව මෙහිදී සාකච්ඡා විය. පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත පිහිටුවීම දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමට සහ අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා ඵලදායී වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ.මෙම රැස්වීමට ප්‍රථම, තානාපති අහමඩ් අලි සයිඩ් අල්රාෂිඩි මහතා සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි. එහිදී පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වැඩිදියුණු කිරීම ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks