පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-11-21
පුවත් කාණ්ඩ : පුවත්
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම ඊයේ (නොවැ. 20) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ගීතා හේරත් මහත්මිය සංගමයේ භාණ්ඩාගාරික ධුරයට තේරී පත් විය.
මෙම රැස්වීමේදී දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවය අවධාරණය කළහ. ක්‍රීඩා, සංචාරක, වෙළඳාම, ශ්‍රමය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡා විය. එසේම ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දුන් සහයෝගය වෙනුවෙන් ගරු කථානායකතුමා නවසීලන්ත රජයට සිය කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා, සංචාරක, වෙළඳාම සහ ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල මෙන්ම විශේෂයෙන් කාන්තා ක්‍රිකට් සහ පිරිමි රග්බි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.
පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීම තුළින් ක්ෂේත්‍ර ගණනාවක් හරහා දෙරට අතර සහයෝගීතාව වැඩි කිරීමට සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබිය හැකි මුලපිරීම් ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ.
මෙම රැස්වීමට ප්‍රථම මහ කොමසාරිස්වරයා සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර සාකච්ඡාවක් ද පැවති අතර, එහිදී පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.
2025-11-20
ජාතිවාදී, ආගම්වාදී විවිධ ගැටලු නිර්මාණය වන්නේ භාෂාවකින් නිවැරදිව සන්නිවේදනය සිදු කර ගැනීමට නොහැකි වූ තැනයි - වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වූ සිංහල සහ දෙමළ භාෂා පුහුණු වැඩසටහනක් පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. ඒ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා කාර්යාංශය විසින් සංවිධානය කල මෙම වැඩසහටන සඳහා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පත් දායකත්වය ලබා දෙන ලදී.වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ ජාතිවාදී, ආගම්වාදී ඇතුළු විවිධ ගැටලු නිර්මාණය වන්නේ භාෂාවකින් නිවැරදිව සන්නිවේදනය සිදු කර ගැනීමට නොහැකි වූ අවස්ථාවලදී බවයි. එමෙන්ම සියලු ජාතීන්ට ගරුකරන ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කිරීම උදෙසා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මනා මහජන සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ජන සමාජයේ පෙරගමන්කරුවා වීමට මෙම භාෂාවන්ගේ වටිනාකම අවධාරණය කළේය.තවද මෙම අවස්ථාව හා එක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා භාෂාව යනු සන්නිවේදන කිරීමේ මෙවලම් පමණක් නොව එය යම් භාෂාවකින් කතා කරන ජන කොටසට කරන ගෞරවයක් බව පැවසීය. කිසිම පුද්ගලයකු ඔවුන් කතා කරන භාෂාව හේතුවෙන් කිසිම ලෙසකින් වෙනස්කොට සැළකීම නොකළ යුතු බවත්, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිපැදීම පිළිබඳව රටේ උත්තරීතර ආයතනය මගින් මේ ආකාරයෙන් ත්‍රෛ භාෂාවෙන් කටයුතු කිරීම ඔස්සේ ලබා දෙන්නා වූ ආදර්ශය මගින් පොදු ජනතාවට උත්තේජනයක් සපයන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.ඒ අනුව මෙම පාඨමාලාවේදී සිංහල භාෂා පාඨමාලාව හැදෑරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 21 දෙනෙක් සහ දෙමළ භාෂා පාඨමාලාව හැදෑරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 63 දෙනෙක් ඉල්ලුම් කර තිබේ.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඇතුළු ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා , රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් නන්දන හෙට්ටිආරච්චි මහතා සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මන්ත්‍රී සේවා කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කේ. පී. චන්දන සහ එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-11-19
ජිනීවාහි පැවැත්වූ 151 වන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) සමුළුවට සමගාමීව සංවිධානය කර තිබූ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ රැස්වීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් 2025 ඔක්තෝබර් 23 වන දින සහභාගී වූහ. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ස්ත්‍රී පුරුෂ හවුල්කාරිත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සැසියේදී, පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාමේ අත්දැකීම්, යහපත් භාවිතයන් සහ අභියෝග හුවමාරු කර ගැනීම සඳහා බෙනින්, භූතානය, බුර්කිනා ෆාසෝ, චැඩ්, ගැම්බියාව, නැමීබියාව, සියරා ලියොන්, තුර්කිය සහ සැම්බියාව යන රටවල නියෝජිතයින් ද එක්රැස්ව සිටියහ.මෙහිදී රැස්වීම අමතමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඔෂානි උමංගා මහත්මිය, 2024 වසරේදී මෙරට සිදුවූ ඓතිහාසික දේශපාලනික පරිවර්තනයකින් පසු කාන්තා දේශපාලන සහභාගීත්වය වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලන සිතියම හැඩගැස්වීමේදී කාන්තාවන් විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය ඇය අවධාරණය කළ අතර, ඉතිහාසය අලුත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ආසන්න වශයෙන් 5% සිට 10% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ යාමට දායක වූ “ගැහැණු අපි එක මිටට” යන ජාතික ව්‍යාපාරය පිළිබඳව සදහන් කළාය.“ශ්‍රී ලංකාවේ මෙම අත්දැකීම සාර්ථක උදාහණයක් බවත් කාන්තාවන් බලගැන්වූ විට, මුළු ජාතියම නැඟී සිටින බවත් ඔෂානි උමංගා මහත්මිය පෙන්වා දුන්නාය. කාන්තාවන්ට ද ඕනෑම සිහිනයක් ජයගත හැකිබවත්, තමන් අපේක්ෂා කරන උසස් තත්ත්වයට යා හැකි ශක්තිය ඔවුන් සතුබැව් ලොව පුරා සිටින දියණියන්ට ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරිය මෙහිදී සඳහන් කළාය .ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද ඇතුළත් ව සිටි අතර, ඇයගේ සහභාගීත්වය තුළින් ශ්‍රී ලංකාවේ උත්තරීතර ව්‍යවස්ථාදායකය තුළ පරිපාලනයට අදාළව කාන්තාවන්ට ලැබී ඇති නායකත්ව අවස්ථාවන්හි වර්ධනයන් පිළිබිඹු විය.ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ දායකත්වය අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ඇගයීමට ලක්වූ අතර, පාර්ලිමේන්තු තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, විවිධත්වය සහ ප්‍රවේශ්‍යතාව ප්‍රවර්ධනය කිරීමට අදාළ ගෝලීය උත්සාහයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී භූමිකාව සම්බන්ධයෙන් ප්‍රශංසා කිරීමේ ලිපියක් හරහා සිය කෘතඥතාව පළ කළේය.මෙම ජාත්‍යන්තර සහභාගීත්වය තුළින්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ශක්තිමත් කිරීමට සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන්හි කාන්තා අවස්ථා වැඩි කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කෙරිණි. මේ අනුව සැමට අවස්ථාවන් සැලසෙන, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ අනෙකුත් සාමාජික රටවල් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අපේක්ෂා කරයි.
2025-11-19
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය වන අද (නොවැ. 19) විවාදයට ගැණුනු රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය (130) වැඩි ඡන්ද 94 කින් සම්මත විය.කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අද ප.ව 6.10 ට පමණ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය (130) සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 103 ක්ද විපක්ෂව ඡන්ද 09 ක්ද හිමි විය. එමෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අනෙකුත් වැය ශීර්ෂ ජන්ද විමසීමකින් තොරව සම්මත විය. මේ අතර අද විවාදයට ගැනුණු කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ජන්ද විමසීමකින් තොරව සම්මත විය. තවද කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කිරීම සඳහාවූ යෝජනාවට ද අද දින අනුමතිය හිමිවිය.
2025-11-19
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයිගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (3) හි විධිවිධාන ප්‍රකාරව, 2025 නොවැම්බර් 18 දින තේරීම් කාරක සභාව විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (නොවැ. 11) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.එමෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 116 හි විධිවිධාන සහ 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන සහ 2025 මාර්තු 17 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නිවේදනය කළේය.තවද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන සහ 2025 මාර්තු 17 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ද , යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks