E   |     |  

දසවන පාර්ලිමේන්තුවට අදාළ වන ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මින් ද සහභාගිවී සිටියහ.

මෙදින රැස්වීමේ මූලික අරමුණ වූ සංසදය සඳහා දසවන පාර්ලිමේන්තුවට අදාළ වන ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් සමඟ සාකච්ඡා කිරීම සිදුවිය. ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම සහ දසවැනි පාර්ලිමේන්තුව සඳහා ඉදිරිපත් කර ඇති කරුණු 7 පාදක කර ගනිමින් ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට මෙහිදී තීරණය විය .
මෙහිදී නවවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කාන්තා අභිවෘද්ධිය නගා සිටුවීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත්කළ සංශෝධන කළ යුතු කරුණු ඇතුළත් පනත් කෙටුම්පත් නැවත ඉදිරිපත් කිරීමටත් යෝජනා කෙරිණි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ හිටපු සභාපති ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සඳහා වන සංශෝධන තව දුරටත් අධ්‍යනය කර ඒ සඳහා නව යෝජනා ඇතුළත් කරමින් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට තීරණය විය. එම සංශෝධන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරියන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස සංසදයේ සභාපතිවරිය වැඩි දුරටත් පැවැසීය.

එමෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට මෙම දසවැනි පාර්ලිමේන්තුව තුලින් බලපොරෝතුවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය මෙහිදී ප්‍රකාශ කලාය.

මේ අතර 2025 කාන්තා දිනය සැමරීම වෙනුවෙන් සිදුකලයුතු වැඩකටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ලබන සිකුරාදා(24) රැස්වීමටද තීරණය කෙරිණි.

මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන දීප්ති වාසලගේ, (නීතිඥ) තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා, (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, (නීතිඥ) ගීතා හේරත්, (නීතිඥ) හිරුණි විජේසිංහ, (නීතිඥ) අනුෂ්කා තිලකරත්න, (නීතිඥ) සාගරිකා අතාවුද ,එම්.ඒ.සී. එස්. චතුරි ගංගානි, නිලුෂා ලක්මාලි ගමගේ, ඒ. එම්. එම්. එම්. රත්වත්තේ, (නීතිඥ) නිලන්ති කොට්ටහච්චි, (නීතිඥ ) හසාරා ලියනගේ, අම්බිකා සාමිවේල්, ( නීතිඥ)ලක්මාලි හේමවන්ද්‍ර, යන මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks