බලන්න

E   |     |  

KAS (Konrad Adenauer Stiftung) ආයතනයේ නියෝජිතයන් සහ දකුණු හා අග්නිදිග ආසියායවේ තරුණ දේශපාලන නායකයින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හමුවෙයි.

KAS (Konrad Adenauer Stiftung) ආයතනයේ නියෝජිතයන් සහ දකුණු හා අග්නිදිග ආසියායවේ තරුණ දේශපාලන නායකයින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හමුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025.08.07 දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එහිදී මෙම නියෝජිතයින් සහ තරුණ නායකයින් හමුවී සාකච්ඡාවක නිරත විය.

මෙහිදී සංසදයේ සභාපතිනිය ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ දස වැනි පාර්ලිමේන්තුව විවිධ දේශපාලන, ජනවාර්ගික සහ ආගමික පසුබිම්වලින් යුක්ත වැඩිම කාන්තා නියෝජනයකින් සමන්විත පාරිලිමේන්තුව වන බවයි. එසේම කාන්තාවන් බලගැන්වීම, ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර තුරන් කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටීම සහ නීතිමය සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීම යන අංශ කෙරෙහි සංසදය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කොට ඇති බවද හෙතෙම පෙන්වාදුන්නාය.

තවද දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සෞඛ්‍ය හා අධ්‍යාපන ගැටළු සම්බන්ධයෙන් පෙනී සිටීම, වරප්‍රසාද නොලත් කාන්තාවන්ට සහාය වීම සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා සංසදයේ මැදිහත්වීම පිළිබඳවද මෙහිදී සංසදයේ සභාපතිවරිය තවදුරටත් විස්තර කළේය.

එසේම පැමිණි තරුණ නායකයින් සහ නියෝජිතයින්ද තම අදහස් සහ අද්දැකීම් සංසදය සමග ප්‍රකාශ කිරීම සිදු විය. ඉන් අනතුරුව නියෝජිත කණ්ඩායම පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර පාර්ලිමේන්තු රැස්වීමද නිරීක්ෂණය කළහ.

මෙම අවස්ථාවට සංසදයේ ගරු නියෝජ්‍ය සම සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, (නීතිඥ) නිලන්ති කොට්ටහච්චි, චතුරි ගංගානි, (නීතිඥ) නිලූෂා ලක්මාලි ගමගේ, (නීතීඥ) තුෂාරි ජයසිංහ, (නීතිඥ) අනුෂ්කා තිලකරත්න, (නීතීඥ) ලාක්මාලි හේමචන්ද්‍ර, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, දීප්ති වාසලගේ, ඔෂානි උමංගා සහ අම්බිකා සාමිවේල් මහත්මීහුද සහභාගී වූහ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks