පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට සහ අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පත සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් සහ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
කාන්තාවන් සඳහා පිහිටුවීමට නියමිත ජාතික කොමිෂන් සභාවේ බලතල, කාර්යයන් සහ සාමාජිකයන් පත්කීරීම පිළිබඳව සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම පනත් කෙටුම්පත් ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කල යුතු බව සහ ඒ සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවද ජනධිපතිවරයා මෙහිදී පැවසීය.
මෙරට දේශපාලන ක්‍රියාවලිය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පෙන්වා දෙන ලදී. විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඒ ඒ පක්ෂ විසින් ඉදිපත් කරනු ලබන ජාතික ලැයිස්තු සඳහා 50%ක කාන්තා නියෝජනයක් ඇතුළත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේ ඒ පිළිබඳ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කළයුතු බවයි.
මෙයට අමතරව මෙරට ක්‍රියාත්මක වන කොමිෂන් සභා සඳහා අනිවාර්ය කාන්තා නියෝජනයක් ඇතුළත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. රාජ්‍ය ආයතනවලට අනුබද්ධ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ මව් කිරී ලබා දීමේ ස්ථාන පිහිටුවීම මගින් රාජ්‍ය සේවයේ යෙදී සිටින තරුණ දෙමාපියන් දිරිමත් කළ හැකි බවට මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් කරුණු ඉදිරිපත් කළ අතර එයට එකඟ වූ ජනාධිපතිවරයාද ඒ සඳහා සිය යෝජනාද ඉදිරිපත් කළේය.
විදේශගත වන ශ්‍රමිකයන් සඳහා ක්‍රමවත් වෘත්තීය පුහුණු පාඨමාලාවන් සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකයක් ලබා දීම අනිවාර්ය කිරීමේ වැදගත්කම පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සිය අදහස් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේය. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට ක්‍රියාත්මක වන සියළු වෘත්තීය පුහුණු ආයතන එක්කොට පොදු පරිපාලන ව්‍යුහයක් සකස් කළ යුතු බවයි.
කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පතට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතට අමතරව කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳවද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, අමාත්‍ය ගරු (නීතිඥ) පවිත්‍රාදේවී වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරියන් වන ගරු සීතා අරඹේපොල සහ ගරු ගීතා සමන්මලී කුමාරසිංහ සාමාජික මන්ත්‍රීවරියන් වන ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු (නීතිඥ) තලතා අතුකෝරල, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මංජුලා දිසානායක, මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks