E   |     |  

කාන්තාවන් සවිබල ගැන්වීමට අදාළ පනත් කෙටුම්පත ලබන වසර පළමු සය මස තුළ අවසන් කරන්න – පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ විශේෂ රැස්වීමට සහභාගී වූ ජනාධිපතිවරයාගෙන් උපදෙස්

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සම්පාදනය කරන පනත් කෙටුම්පත ලබන වසරේ පළමු සය මස තුළ අවසන් කරන ලෙස ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට උපදෙස් ලබා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ කටයුතුවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි කටයුතු සොයා බැලීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී පැවති විශේෂ රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේබව පැවසීය.

මේ වන විට කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එක්ව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සම්පාදනය කරන මෙම පනත් කෙටුම්පතේ මූලික කටයුුතු අරඹා ඇති බව මෙහිදී එම සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

එසේම රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසීංහ මහත්මිය ඇතුළු මන්ත්‍රීවරියෝ කාන්තාවන්ට සහ ළමුන්ට අදාළව පවතින ගැටලු සහ ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළහ.

කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබද වෙනම ආයතනයක් පිහිටුවීමට අදාළ මූලික සැලසුම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මගින් සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා එය කඩිනමින් ස්ථාපිත කිරීම සදහා කටයුතු කරන බවට සහතික විය. එසේම නීති සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී අදාළ සියලු ආයතන සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු සිදුකිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එසේම කාන්තා සහ ළමා කටයුතු සදහා අවශ්‍ය සේවක පිරිස්වලට විදෙස් පුහුණුවක් අවශ්‍ය නම් ඒ සදහා කටයුතු තානාපති කාර්යාල හරහා සංවිධානය කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම නිදහස ලබා 75 වසරක් ගෙවන මොහොතේ කාන්තා සහ ළමා අයිතිවාසීකම් මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබදව ජනතාව අතරට ගොස් පවත්වන වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලෙසද ජනාධිපතිවරයා මන්ත්‍රීවරියන්ට උපදෙස් දුන්නේය.

කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට ජනාධිපතිවරයා පැමිණීම සම්බන්ධව සංසදය වෙනුවෙන් සිය විශේෂ ස්තූතිය පළකළ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සංසදයේ වත්මන් ප්‍රගතිය පිළිබද ජනාධිපතිවරයා දැනුවත් කර සිටියාය.

එසේම ළමුන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය වන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය එම කාරක සභාවේ ප්‍රගතිය පිළිබදවද ජනාධිපතිවරයා දැනුවත් කළාය.

කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය වෙනුවෙන් වෙනම කොමිෂන් සභාවක් පත් කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් මන්ත්‍රීවරියෝ ඉල්ලීමක් කළහ. එසේම මේවන විට දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩිකිරීමේ අවශ්‍යතාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු ඡන්ද විමසීම්වලදී කාන්තා අපේක්ෂිකාවන්ට වැඩි අවස්ථාවක් ලබා දීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරියෝ පෙන්වා දුන්හ. එසේම මෙහිදී පළාත් පාළන ඡන්ද විමසීමේදී කාන්තාවන් වෙනුවෙන් දැනට පවතින 25% කෝටාව අඩු නොකරන ලෙස මන්ත්‍රීවරියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එය කිසිසේත් අඩු කිරීමේ අපේක්ෂාවක් නොමැති බව ජනාධිපතිවරයා පැවසීය.

කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ පවතින පුරප්පාඩු කඩිනමින් විසදීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය. එසේම සෑම පොලිස් ස්ථානයකම පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් කාන්තාවන්ගෙ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා පොලිස් නිලධාරිනියන් යොදවා ඉඩකඩ වෙන්කරන ලෙස පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවටද ජනාධිපතිවරයා සදහන් කළේය.

මීට අමතරව වයස වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ ගතවීම වැළක්වීමේ අවශ්‍යතාව, බන්ධනාගාරගත කාන්තා රැදවූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු කාන්තාවන් සහ ළමුන් සදහා වන ගැටලු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුවිය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන තලතා අතුකෝරාල, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, මුදිතා ප්‍රිශාන්ති, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්මීහු ද කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks