E   |     |  

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා “ජාතික කාන්තා කොමිෂන් සභාවක්”

කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ක්‍රියාත්මක වන අයුරු අධීක්ෂණය සහ ඒ සම්බන්ධ ගැටලු සදහා මැදිහත්වීමට පාර්ලිමේන්තු පනතකින් “ජාතික කාන්තා කොමිෂන් සභාව” නමින් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම කෙරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමුව ඇත.

ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් පසුගියදා (02) පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්වූ අතර එහිදී ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ගුණාත්මක භාවය තහවුරු කිරීමට අදාළව සංසදය වෙත ඉදිරිපත් වී ඇති යෝජනා සාකච්ඡාවට ගැනීම සිදුවිය.

රාජ්‍ය අංශයේ සේවය කරන කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් විමර්ශනය කර ඒවාට සහන සැලසීම සඳහා ඔම්බුඩ්ස්පර්සන් කාර්යාලය යටතේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ස්වාධීන ඔම්බුඩ්ස් කාන්තාවක් පත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවී ඇත. එසේම කාන්තා හා ගැහැණු දරුවන්ට සිදුවන හිංසන සිද්ධීන් කඩිනමින් විභාග කිරීම සඳහා නීති සම්පාදනය කිරීම, ආරක්ෂක අංශ සහ පොලිසිය මගින් සිදුවිය හැකි වධහිංසා පැමිණවීම්, ස්ත්‍රී දූෂණ සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදිය වැළැක්වීම සහතික කිරීම සඳහා අදාළ රේඛීය අමාත්‍යාංශ තුළ අභ්‍යන්තර අධීක්ෂණ යාන්ත්‍රණයන් ඇතුළත් කිරීමත් මෙම යෝජනා අතර වේ.

මෙවැනි පනත් කෙටුම්පතක වැදගත්කම අවධාරණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේ පනත් කෙටුම්පත සඳහා වන යෝජනා වඩාත් ගැඹුරින් සලකා බැලිය යුතු බවයි. මේ අනුව, කාරක සභාව 2022 සැප්තැම්බර් 09 වැනි දින රැස්වී තවදුරටත් සාකච්ඡා කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට තීරණය විය.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන තලතා අතුකෝරල, වෛද්‍ය සීතා අරඹේපොල, රෝහිණී විජේරත්න, ගීතා කුමාරසිංහ, (ආචාර්ය) හරිනි අමරසූරිය, ඩයනා ගමගේ සහ  යන මහත්මීහුද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks