E   |     |  

වෛර කිරීමට නැත | වෛරී ප්‍රකාශවලට එරෙහි ජාත්‍යන්තර දිනය පිළිබඳ ප්‍රකාශ

“කාන්තාවන් බොහෝ වෘත්තීන්හි සක‍්‍රීයව සහභාගී වී ආර්ථිකයට දායක වන රටක; කාන්තාවන් නොමැතිකම කැපී පෙනෙන එකම අංශය දේශපාලන ක්ෂේත‍්‍රයයි. මෙයට හේතුව වන්නේ කාන්තාවන් දේශපාලනය කිරීමට ඇති අකමැත්තත් සහ කාන්තාවන්ට අවස්ථා නොමැතිකමයි. ඊට හේතු ලෙස වෙනත් සමාජ-ආර්ථික සාධක ඇතත්, කාන්තාවන් දේශපාලනයට සහභාගී වීමට අකමැති වීමට ප‍්‍රධාන හේතුව ප‍්‍රජාව අතර හෝ රට පුරා ස්ත‍්‍රීන්ට විරුද්ධව පැන නගින වාචික ප‍්‍රචණ්ඩත්වයට හා හිරිහැරවලට ගොදුරු වීමේ බිය බව මම විශ්වාස කරමි” එම හේතුව නිසාම දේශපාලනය වෘත්තීයක් ලෙස තෝරාගෙන එහි නියැලීමට සහ තීරණ ගැනීමේ කටයුතුවලට සහභාගී වීමට ඇති සීමිත අවස්ථා ප‍්‍රයෝජනයට ගැනීමට දක්ෂ සහ හැකියාව ඇති කාන්තාවන් පවා මැලි වෙති. ඇත්ත වශයෙන්ම, මගේ ප‍්‍රකාශය සනාථ කිරීම සඳහා නිශ්චිත උදාහරණ හෝ සංඛ්‍යාලේඛන සඳහන් නොකර වුවද, එවැනි වාචික ප‍්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් ගැන පැවසූ පමණින් මා සඳහන් කරන්නේ කුමක් ද යන්න ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට අවබෝධයක් ඇත. එයින් පෙනෙන්නේද, මා අතිශයින් කලකිරීමට පත්වන්නේද, කාන්තා දේශපාලකයන්ට සිදුවන වාචික ප‍්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් පවා අප සමාජය තුළ කෙතරම් බරපතල, කාවද්දූ සහ කථා බහට ලක්වී ඇත් ද යන්න පිළිබඳවයි. අපි කොච්චර කල් හිස් පොරොන්දු දෙන්නද? දේශපාලනයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින තරුණියන්ට “ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කරගන්න” යැයි අපි කොපමණ කල් උපදෙස් දෙන්නෙමුද? නීති සම්පාදකයන් ලෙස, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ජීවත්වන ශිෂ්ට සම්පන්න මිනිසුන් වශයෙන්, වෛරී කථනයට එරෙහිව පියවර ගැනීමට අපට බැඳීමක් නැද්ද?”


ගරු. වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ,
පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සභාපතිනිය


“කාන්තාවන්ට සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි ප‍්‍රජාවන්ට එරෙහිව වාචික ප‍්‍රචණ්ඩත්වය සහ හිරිහැර බහුලවීම ශ්‍රී ලංකාව තුළ සැමවිටම හෙළා දකින නමුත් නොසලකා හරින ලද ගැටලූවකි. කෙසේ වෙතත්, කෝවිඞ්-19 වසංගතය පැමිණීමත් සමඟම, කාන්තාවන්ට එරෙහි එවැනි වාචික ප‍්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් අපමණ සංඛ්‍යාවකින් වැඩි වී ඇති බව මම විශ්වාස කරමි. වසංගතයෙන් පීඩා විඳි සමාජය තුළ, මිනිසුන්ට තම නිවෙස් හැර යාමට අවස්ථාව නොලැබීම, ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටීමට සහ සීමිත පුද්ගලයින් ඇසුරු කිරීමට සීමා වී ඇති බැවින් රැකියාව, පාසල සහ විනෝදාස්වාදය සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා පමණක් කටයුතු කිරිමට සිදුවීම නව සාමාන්‍ය තත්ත්වය බවට පත්විය. මේ අනුව අන්තර්ජාලය අපට ජීවත් වීමට අවශ්‍ය දෙයක් බවට පත් විය. වැඩි වැඩියෙන් මිනිසුන් අන්තර්ජාල වේදිකා භාවිතා කිරීමට පටන් ගත් විට, වාචික ප‍්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් ද ප‍්‍රමාණයෙන් වැඩි විය. එපමණක් නොව, අන්තර්ජාල වේදිකා ගෝලීය පේ‍්‍රක්ෂකයින් වෙත ළඟා වීමට ද අවස්ථාව ලබා දෙයි. එයින් මූලිකවම අදහස් වන්නේ ඉලක්කගත පුද්ගලයන්ගේ සහ ප‍්‍රජාවන්ගේ යහපැවැත්මට සහ ආරක්ෂාවට තවදුරටත් තර්ජනයක් එල්ල කරන ගෝලීය පරිමාණයෙන් වෛරී ප‍්‍රකාශ සිදු කළ හැකි බවයි. බොහෝ අන්තර්ජාල වේදිකා, විශේෂයෙන් සමාජ මාධ්‍ය වේදිකා, නියාමනය නොකළ හෝ ප‍්‍රමාණවත් ලෙස නියාමනය කර නොමැති බැවින්, කිසිදු ප‍්‍රතිවිපාකයකින් තොරව වෛරී කථන සිදුකිරීමේ අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ සිදුවන වෛරී කථනය උග‍්‍ර කිරීමේ බලවේගයක් ලෙස ක‍්‍රියා කරයි. දැන් ළමයින් වැඩි ප‍්‍රමාණයක් අන්තර්ජාල වේදිකා භාවිතා කරන බැවින්, සමාජ මාධ්‍ය සහ අනෙකුත් අන්තර්ජාල වේදිකාවල වෛරී කථන පැතිරීම වැළැක්වීම සඳහා ක‍්‍රියාකාරී සහ ඵලදායි පියවර ගැනීමට අත්‍යාසන්න අවශ්‍යතාවයක් පැන නැඟී ඇත”.


ගරු. කෝකිලා ගුණවර්ධන
පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකා


“වෛරී කථනය අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය තුල සෑම විටම බාධාවක් වී තිබේ. කෙසේ වෙතත්, වෛරී කථනය සිදු කරන්නන් බියගුලූ ලෙස, ඉලක්ක කරගත් පුද්ගලයින්ට හෝ විශේෂිත ප‍්‍රජාවන්ට අපයෝජන හා තර්ජනය කරන වෛරී කථන ව්‍යාප්ත කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුලික සංකල්පයක් වන ‘භාෂණයේ නිදහස’ යන සංකල්පයට මුවාවී බොහෝ විට සිදු කරනු ලබයි . නමුත් ‘භාෂණයේ නිදහස’ ඔබට තවත් පුද්ගලයෙකුට එරෙහිව වෛරය, අපයෝජනය සහ ප‍්‍රචණ්ඩත්වය පතුරුවා හැරීමේ අයිතිය ලබා නොදෙන බව වටහා ගැනීම ඉතා වැදගත්ය . ඇත්ත වශයෙන්ම, 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේම සහතික කර ඇති භාෂණයේ නිදහස පිළිබඳ මූලික අයිතිවාසිකම කිසිදා උල්ලංඝනය කළ නොහැකි පරම අයිතියක් නොවේ. භාෂණයේ නිදහස සහතික කර නොමැති ඇතැම් සුවිශේෂී අවස්ථාද තිබේ. සමාජයක ජීවත් වන විට අපට අයිතිවාසිකම් මෙන්ම වගකීම් ද ඇත. ඔබේ අයිතීන් භුක්ති විඳීම වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතය සහ යහපැවැත්මට හානි විය නොහැකි බව අප සියල්ලන්ම වටහා ගැනීම වැදගත්ය. වඩාත් ක‍්‍රියාශීලී සහ ඵලදායි ලෙස වෛරී කථනයට එරෙහිව සටන් කිරීමට සහ ඊට එරෙහිව කටයුතු කිරීමට අප තවත් පියවර ගත යුතු බව මම මුළු හදින්ම විශ්වාස කරමි. වර්තමාන තත්ත්වය තක්සේරු කිරීම සඳහා පර්යේෂණ සිදුකල යුතු අතර වෛරී කථනයන්ට එරෙහිව සටන් කිරීමට සහ ඊට එරෙහිව නැඟී සිටීමේදී අපගේ පාර්ශවකරුවන්ට සහයෝගය දැක්විය හැකි සහ සම්බන්ධීකරණය කිරීමට ඉඩ සලසන ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුය”.


ගරු. තලතා අතුකෝරළ
පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකා


“අවදානමට ලක්විය හැකි ප‍්‍රජාවන්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහි වෛරී කථනය අවාසනාවන්ත ලෙස සමාජය තුළ ගැඹුරු මුල් බැස ඇත. කෙසේ වෙතත්, විශේෂයෙන් ගෝලීය වසංගතය අතරතුර අන්තර්ජාලයේ භාවිතය වැඩිවීමත් සමඟ, විනෝදාස්වාද අරමුණු ඇතුළුව තම කටයුතු කරගෙන යාමට වැඩි වැඩියෙන් පුද්ගලයින් නිතිපතා අන්තර්ජාලයට පිවිසෙන බැවින්, ගැටලූව පෙර නොවූ විරූ මට්ටමට විශාල වී ඇත. අන්තර්ජාලය හරහා වෛරී ප‍්‍රකාශවලට ලක්වීම නිසා බොහෝ පුද්ගලයන්, විශේෂයෙන්ම දෙමාපියන්, තම දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම නිසා, මෙම කාල සීමාව තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුවන හිරිහැරවලට එරෙහිව කර ඇති පැමිණිලි වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව අපට පෙනී ගියේය. වෛරී ප‍්‍රකාශය බොහෝ විට සාධාරණීකරණය කරනු ලබන්නේ ‘සිතීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස’ යටතේ ය. 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ භාෂණයේ නිදහස සහතික කර ඇති මූලික අයිතිවාසිකමකි. භාෂණයේ නිදහස වෙනත් බොහෝ අයිතිවාසිකම් වලට පදනම වන බැවින් එය ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක අත්‍යාවශ්‍ය සාධකයකි.කෙසේ වෙතත්, එය කිසිසේත්ම පරම අයිතියක් නොවේ. ඇත්ත වශයෙන්ම, කතා කිරීමේ අයිතිය යුක්ති සහගත ලෙස සහතික කර නොමැති සුවිශේෂී අවස්ථා තිබිය හැකි බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින්ම පිළිගනී. විශේෂයෙන්ම, භාෂණයේ නිදහස වෙනත් පුද්ගලයෙකුගේ (පුද්ගලයින්ගේ) ආරක්ෂාව, යහපැවැත්ම සහ අභිමානයට අභියෝගයක් වන අවස්ථා වලදී සීමා කිරීම් වලට ලක්වේ. ඔබ සමාජයක ජීවත් වන විට වගකීමෙන් යුතුව හැසිරීමට යුතුකමක් ඇත. ඉලක්ක කරගත් පුද්ගලයන්ට හෝ ප‍්‍රජාවන්ට එරෙහිව අපයෝජනය කිරීම, වෛරය පතුරුවා හැරීම සහ ප‍්‍රචණ්ඩත්වය අවුලූවාලීම ”මිනිසුන් සාමාන්‍යයෙන් හැසිරෙන ආකාරය හෝ සාමාන්‍යයෙන් සිදුවන දේවල්.” ලෙස නොඉවසිය යුතු අතර එසේ සිදුකරන්නන් ප‍්‍රතිවිපාක විඳිය යුතුය. ශ්‍රී ලංකාව වෛරී ප‍්‍රකාශවලට එරෙහිව සටන් කිරීමට සහ ඊට එරෙහිව නැඟී සිටීමට අදාළ වන නීතිමය රාමුව විමසා බැලිය යුතු බවත්, විශේෂයෙන්ම අන්තර්ජාල මාධ්‍ය හේතුවෙන් වෛරී කථන ප‍්‍රචලිත වීමේ මෑත කාලීන උග‍්‍රවීම සැලකිල්ලට ගෙන එම රාමුව සංශෝධනය කළ යුතු බවත් මම විශ්වාස කරමි”.


ගරු. ඩයනා ගමගේ මහත්මිය
පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකා


“සෑම අතකින්ම ශිෂ්ටත්වය අගයන, ශිෂ්ටත්වය ඔසවා තබන සමාජයකට අප පා තබා ඇති බවට අප උදම් ඇනුවත් සමාජයෙන් අතු ගා දැමිය යුතු “වෛරීය ප‍්‍රකාශ” අදටත් මේ සමාජය තුළ ප‍්‍රචලිත හා සුලබ වීම කනගාටුවට කරුණක්. එසේම එදිනෙදා ජීවිතයේදී කාන්තාවන් බොහෝදෙනෙකුට දිනපතා එවැනි වෛරීය ප‍්‍රකාශයන්ට මුහුණ දීමට සිදුවීම ඒ කනගාටුව තවත් වැඩි කරවන්නක්. කාන්තාවක් වීමම එවැනි වෛරීය ප‍්‍රකාශයන්ට මුහුණ දීමට හෝ එවැනි වෛරීය ප‍්‍රකාශයන් දරා ගැනීමට හේතුවක් යැයි යමෙක් හිතනවා නම් එය වැරදි සිතුවිල්ලක්. නමුත් අපේ රටේ නීති සම්පාදනය කරන උත්තරීතර පාර්ලිමේන්තුව තුළදීම මා පසුගිය කාලවකවානුවේදී එවැනි අශිෂ්ට, මුග්ධ, වෛරය වපුරවන ප‍්‍රකාශයකට ලක් වූ බව ඔබට අමුතුවෙන් මතක් කළ යුතු කරුණක් නොවන බව මා දන්නවා.එවැනි වෛරීය ප‍්‍රකාශයන්ට මුහුණ දුන් එකම හා පළමු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය මම නොවේ.මා ඇතුළු කාන්තා සංසදයේ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ද එවැනි වෛරීය ප‍්‍රකාශයන්ට නිරන්තරයෙන් ලක් වෙනවා. නමුත් අදටත් ඒ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුව දරන්නේ ඉතාම නිද්‍රාශීලි ප‍්‍රතිපත්තියක්. ජාත්‍යන්තරව වෛරීය ප‍්‍රකාශයන්ට එරෙහිව සමරන මෙම දිනයේදී, වෛරීය ප‍්‍රකාශයන් පාලනය සම්බන්ධයෙන් නීතිය යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අප සැමට වගකීමක් ඇති බව ප‍්‍රකාශ කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා”.


ගරු. රෝහිනී විෙඡ්රත්න,
පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ උපසභාපතිනිය


“සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන්ට සහ ප‍්‍රජාවන්ට හිරිහැර කිරීමට, හිංසනයට ලක් කිරීමට සහ බිය ගැන්වීමට වෛරී කථනය ආයුධයක් වී ඇත. විශේෂයෙන්ම අවධානයට ලක් වන පුද්ගලයන් හෝ ප‍්‍රජාවන් වන්නේ – කාන්තාවන්, ලිංගික වශයෙන් සුළුතර කණ්ඩායම්, වාර්ගික සහ ආගමික වශයෙන් සුළුතර කණ්ඩායම් බවත් එය ශාරීරික හිංසනය දක්වා ව්‍යාප්ත වේ. අනෙක් අතට, වෛරී කථන නියාමනය කිරීමට හෝ වැළැක්වීමට පෙනෙන පරිදි උත්සාහ කරන නීති ද බලයේ සිටින අය විසින් දේශපාලන විරුද්ධවාදීන් බිය ගැන්වීමට සහ නිශ්ශබ්ද කිරීමට තෝරා ගෙන භාවිතා කර ඇත. අපට නීති අවශ්‍ය වන අතරම, නීතිය ද ගැටලූවේ කොටසක් බවට පත් නොවන පරිදි අධිකරණයේ ස්වාධීනත්වය ද සහතික කළ යුතුය. එසේම, වහා අවශ්‍ය වන්නේ වෛරී කථන වැලැක්වීම සහ ඒවාට ප‍්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ සමාජ සංවාදය සහ දැනුවත් කිරීමයි”.


ගරු. හරිනි අමරසූරිය
කාන්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මණ්ඩලයේ සාමාජිකා






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks