E   |     |  

මානවයාගේ සංක‍්‍රමණ හැකියා වැඩි දියුණු කිරීම

  • ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සැමරීම උදෙසා නිකුත් කළ මාධ්‍ය නිවේදනය

වඩාත් සාර්ථක සමාජයක් ගොඩනැගීම සඳහා දැනුම, කුසලතා සහ අන්තර් සම්බන්ධතා ඇතුළු විවිධ දායකත්වයන් හරහා සංක‍්‍රමණිකයන් රටක් වෙනස් කිරීමේහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඉතිහාසය නැවත නැවතත් පෙන්වා දී ඇත.

මේ වසරේ, එනම් 2021 දෙසැම්බර් 18 වන දිනල අපි ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සමරන්නේ ‘මානවයාගේ සංක‍්‍රමණ හැකියා වැඩි දියුණු කිරීම’ යන තේමාව යටතේ ය. දෙවන ලෝක සංග‍්‍රාමයෙන් අවතැන් වූවන්ට සහය වීමේ අදහසින් ආරම්භ කරන ලද සංක‍්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ 70 වැනි සංවත්සරය (1989 වර්ෂයේදී නැවත නම් කරන ලදී) මෙම වසරේ සමරනු ලැබේ. දෙවන ලෝක සංග‍්‍රාමයෙන් අවතැන් වූවන්ට සහය වීම පමණක් නොව සංක‍්‍රමණිකයන්ගේ ගමනාන්තය වන රටවලද, ඔවුන්ගේ උපන් රට සහ සංක‍්‍රමණය අතරතුර වැනි සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ මානුෂීය සහ ක‍්‍රමවත් කළමනාකරණය ප‍්‍රවර්ධනය කිරීමට සංක‍්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය පෙරමුණ ගෙන කටයුතු කරයි. සංක‍්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ 70 වැනි සංවත්සරය වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතු අතර එම දිනය සැමරිය යුතුයි.

සෑම වසරකම, ස්වාභාවික විපත්, ආර්ථික අභියෝග, දරිද්‍රතාවය සහ ගැටුම්වල විශාලත්වය සහ සිදුවන වාර ගණන වැඩිවීම නිසා ඇතිවන විවිධ සාධක හේතුවෙන්, වැඩි වැඩියෙන් මිනිසුන් ස්ව කැමැත්තෙන් ජාත්‍යන්තර සංක‍්‍රමණිකයන් බවට පත් වේ නැතහොත් එසේ පත්්වීමට සිදු වේ. නිදසුනක් වශයෙන්, 2020 වර්ෂයේදී පමණක් මිලියන 281 කට ආසන්න ජනතාවක් එනම් ගෝලීය ජනගහනයෙන් 3.6 ක් ජාත්‍යන්තර සංක‍්‍රමණිකයන් විය.

“එබැවින්, සංක‍්‍රමණයේ වැඩිවන ප‍්‍රවණතා සැලකිල්ලට ගැනීම සහ සංක‍්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා හා සුරක්ෂිත කරමින් රටේ ආර්ථිකයට සංක‍්‍රමණයෙන් ලැබෙන උපරිම දායකත්වය ප‍්‍රයෝජනයට ගැනීම සඳහා ප‍්‍රතිපත්ති සහ උපාය මාර්ග සකස් කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වන බව”, ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සභාපතිනී වෛද්‍ය ගරු සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සුලභ සංක‍්‍රමණ ආකාරය වන්නේ ජාත්‍යන්තර ශ‍්‍රම සංක‍්‍රමණයයි. පසුගිය දශක තුනක කාලය තුළ මෙය වැඩි වී ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික සංක‍්‍රමණිකයන් මිලියන 1.5 ක් පමණ විදේශයන්හි සේවය කරන බව ඇස්තමේන්තු කර ඇති අතර වාර්ෂික වාර්තා අනූව සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයින් 200,000ක් පමණ රටින් පිට වේ.

“ශ්‍රී ලංකාවේ ශ‍්‍රම සංක‍්‍රමණිකයන්ගෙන් සාමාන්‍යයෙන් 47.7% ක් පමණ කාන්තාවන් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙන බැවින් මෙම දිනය පිළිබඳව පාර්ලිමේන්තු කාන්තා සංසඳය විශේෂ උනන්දුවක් දක්වන බව”, වෛද්‍ය ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය තවදුරටත් පැවසීය.

2020 මුල් භාගයේ සිට ගෝලීය ආර්ථිකයට සහ මානව සංචලනයට බලපාන කෝවිඞ්-19 වසංගතය හේතුවෙන්, සංක‍්‍රමණය සහ ශ‍්‍රම සංක‍්‍රමණයට අදාළ සංඛ්‍යාලේඛන පසුගිය වසර දෙක තුළ වෙනස් වී ඇත.

“අගෝස්තු මාසයේදී, සංක‍්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ සහ ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ඇතිව රජය, කුවේට් හි සිටින ශ්‍රී ලාංකික සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් පිරිසක් ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත් බව”, ආචාර්ය ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

මිනිසුන්ගේ සංචලනය සීමාවීම සහ ශ‍්‍රම සංක‍්‍රමණිකයන් ආපසු සිය රට බලා පැමිණීමත් සමඟමල ශ්‍රී ලංකාව එවැනි පුද්ගලයින්ගේ අත්දැකීම් සහ කුසලතා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා යොදා ගැනීමට උපාය මාර්ග සකස් කරමින් සිටී. විශේෂයෙන් සංචාරක හා ආයුර්වේද වෛද්‍ය වැනි ක්‍ෂේත‍්‍ර මේ සඳහා හඳුනා ගෙන ඇත.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, “2022 වසර සඳහා වන අයවැයෙන් ආරක්ෂිත සහ ක‍්‍රමවත් කම්කරු සංක‍්‍රමණ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 150ක් වෙන් කර ඇති බවයි”. තවද, සංක‍්‍රමණ ක‍්‍රියාවලියේ වඩාත් අවදානමක් ඇති අදියරක් වන්නේ සංක‍්‍රමණයට පෙර ලබන පුහුණුවයි. මෙම පුහුණුව ඉදිරි වර්ෂයේදී ශ‍්‍රම සංක‍්‍රමණිකයන්ට ලබාදීමට ප‍්‍රමුඛත්වය දෙනු ලැබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් (SLBFE) ලබාගත් සංඛ්‍යාලේඛනවලට අනුව, 2018 වසරේදී, ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා වලට පිටත්ව ගිය මුළු සංඛ්‍යාවෙන් අඩු නිපුණතා සහ ගෘහ සේවක කාණ්ඩ 55.2% ක් විය.

“මෙම කරුණ විශේෂයෙන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හරහා සැලකිය යුතු දායකත්වයක් සපයන ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වඩා හොඳින් ආරක්ෂා හා සුරක්ෂිත කිරීම සඳහා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ 189 සම්මුතිය (C189) අපරානුමත කිරීම සඳහා පාර්ලිමේන්තු කාන්තා සංසඳය රජය සමඟ සාකච්ඡුා ආරම්භ කර ඇති බව”, ආචාර්ය ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks