E   |     |  

කොවිඩ් 19 සෘණාත්මක බලපෑමෙන් මිදීමට ග්‍රාමීය කාන්තාවන්ට අන්තර්ගත ප්‍රවේශයක් අවශ්‍යයි – පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලෙ මහත්මිය

කොවිඩ් 19 සෘණාත්මක බලපෑමෙන් මිදීමට ග්‍රාමීය කාන්තාවන්ට අන්තර්ගත ප්‍රවේශයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලෙ මහත්මිය පවසන්නීය. ඔක්තොම්බර් මාසය තුළ ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් දිනයක් වෙන් කර තිබීම වැදගත්ය. 2021 ග්‍රාමීය කාන්තාවන් සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළාය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සඳහා නව වැඩපිළිවෙලක අවශ්‍යතාවද ඇය මෙහිදී පෙන්වා දුන්නාය. කාන්තාවන්ට නැවත ගොඩනැඟීම සඳහා ශක්තියක් විය යුතු බවද සභාපතිනිය සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලෙ මහත්මිය,

“ග‍්‍රාමීය කාන්තාවන් කෘෂිකර්ම අංශයේ වැඩ කරනවා. ලංකාවේ ජනගහනයෙන් 25.5% ක් පමණ කෘෂිකර්මාන්තයේ නියැලෙනවා.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 81කට වඩා ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල , රටේ දුප්පතුන්ගෙන් පහෙන් හතරක්ම ග්‍රාමීය අංශය මත යැපෙනවා.

මෙම පිරිසෙන් අවම වශයෙන් සියයට 50ක් කාන්තාවන් වනවා. කොවිඩ් 19 , වැනි කාරණා නිසා ඔවුන් බොහෝ දුෂ්කරතා වලට මුහුණ දී තිබෙනවා.

ඔවුන් ඒ දුෂ්කරතාවලට රැකියා ස්ථානයේදී වගේම ඔවුන්ගේ නිවෙස්වලදීද මුහුණ දෙනවා.

මූල්‍ය බිඳවැටීමක බලපෑම නිරන්තරයෙන්ම ග්‍රාමීය කාන්තාවන්ට දැනෙනවා. මුල්‍ය අවපාතය ගෘහස්ථ ආදායම කෙරෙහි බලපෑම් ඇති කරනවා.

කාන්තාවන් ඔවුන්ගේ දරුවන්ගේ පෝෂණය ඇතුළු මූලික අවශ්‍යතා සැපයීම සඳහා නිවසේ අයවැය තුලනය කිරීම සිදුකරනවා. පවුලේ සෞඛ්‍යයද පවත්වාගෙන යන්නේ ඔවුන්.

කොවිඩ් 19 හේතුවෙන් කාන්තාවන්ගේ ව්‍යාපාර සඳහා දැඩි බලපෑම් එල්ල වෙලා තියෙනවා. ගෙවතු වගාව වැනි දේ පවත්වා ගෙන ගිය අයට ඇතිවෙලා තියෙන බලපෑම සුළුපටු නැහැ.

බොහෝ විට ග්‍රාමීය කාන්තාව ගෘහස්ථ ආහාර සුරක්‍ෂිතතාව, ආර්ථික සංවර්ධනය සහ ජාතික ආහාර සුරක්‍ෂිතතාවයට දායක වෙමින් කටයුතු කරනවා.

මේ සියල්ලට අමතරව, විශේෂයෙන් කොවිඩ් 19 සන්දර්භය තුළ ගෘහස්ථ හිංසනයෙන් බේරීමට ඔවුන්ට සිදු වෙලා තියෙනවා.

ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට දායක වන ශක්තිමත් සමාජ ආධාරක වැඩසටහන් සැලසුම් කළ යුතුයි.

වර්තමානය වනවිට ගම්බද කාන්තාවන්ද දේශපාලනයට පැමිණ තිබෙනවා. නීතිය මඟින් පනවන ලද 25% කෝටාව නිසා මෙය සිදුවුණා. එය ඇත්තෙන්ම හිතකරයි.

ග්‍රාමීය කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් අධ්‍යාපනයක් නොමැති සහ පොදු ජීවිතයේ තීරණ ගැනීමට නිරාවරණය නොවූ පිරිස් ලෙස සැලකෙනවා.

කාන්තාවන් බොහෝ දෙනෙක් දේශපාලනයට පිවිසිලා යම් තෘප්තියක් ලබනවා කියලා නිරීක්ෂණය වෙනවා.

කෙසේ වෙතත්, බොහෝ දෙනෙක් ඔවුන්ව විවේචනය කිරීමට ඉක්මන් නොවන්නේ සමහර විට පළපුරුද්ද නොමැතිකම, තම පිරිමි සගයන් අතින් පීඩාවට පත්වීම සහ සම්පත් හිඟකම හේතුවෙන් විය හැකියි. මෙහිදී ඔවුන්ගේ පූර්ණ හැකියාවන් අවබෝධ කර ගැනීම වැදගත් වනවා. කාන්තාවන්ගේ කාර්ය සාධනය සහ තීරණ ගැනීමේ උත්සාහයන් අඩාල කරන ගැටළු දේශපාලනයේ කාන්තාවගේ පැවැත්ම පවත්වා ගැනීම සඳහා විසඳිය යුතුයි.

දේශපාලනඥයින් වශයෙන් කාන්තාවන්ගේ භූමිකාව ඉහළ කාර්ය සාධනයකට ගෙන යාමට අපි ඔවුන්ට අත දිය යුතු වෙනවා. නාමයෝජනා ලබා ගැනීමට, දේශපාලන ක්ෂේත්‍රයේ සමාන කොටස්කරුවන් ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට මෙන්ම මැතිවරණ ක්‍රමය තුළ සහ ඉන් ඔබ්බට මේ රටේ සංවර්ධනයට සහ පාලනයට දායක වෙමින් උපායමාර්ගික තීරණ ගන්නන් ලෙස ඉදිරියට යාමට කාන්තාවන් දිරිමත් කිරීම ඉතා වැදගත්”.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks