E   |     |  

ගැහැණු දරුවන් සහ කාන්තාවන්ගේ ගැටලු හා අයිතීන් වෙනුවෙන් නිරතුරුව පෙනී සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

පවතින කොවිඩ් වසංගතය මධ්‍යයේ, ගැහැණු දරුවන්ට ඩිජිටල් උපාංග, තාක්‍ෂණික කුසලතාවන් සඳහා සමාන ප්‍රවේශය ලබා දීමටත් ඔවුන්ට වඩාත් ආරක්‍ෂිත පරිසරයක් තුළ කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමටත් නිරතුරුව අප සියලු දෙනා කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

2021.10.11 දිනට යෙදී ඇති ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය සමරමින් ඇය නිකුත් කළ පනිවුඩයේ මේ බව සදහන් වේ.
අමාත්‍යවරියගේ පනිවුඩයේ මෙලෙස ද සදහන් වේ.

“කොවිඩ් වසංගතය පැමිණීමත් සමඟම, ඩිජිටල්කරණය කේන්ද්‍ර කරගත් ජීවන රටාවකට හුරුවීමට අප බොහෝ දෙනාට සිදුව තිබේ. මෙම ඩිජිටල්කරණය අපගේ එදිනෙදා ජීවිතයේ බොහෝ අංශ කෙරෙහි බලපා ඇති අතර මෙය විශේෂයෙන් අධ්‍යාපන හා රැකියා ක්ෂේත්‍රයන්හි දක්නට ලැබේ.

2018 දී කරන ලද සමීක්‍ෂණයකින් හෙළි වන්නේ වයස අවුරුදු 25 ට අඩු ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 47.2%ක පිරිසකට ‘තවමත් නිවසේ අන්තර්ජාල පහසුකම් නොමැති’ බවයි. ඇතැම්විට නව සාමාන්‍යකරණය යටතේ ඩිජිටල්කරණය හරහා රැකියාවට සහ අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී මෙම තත්ත්වය වඩාත් බරපතල විය හැකිය.

2018 දී යුනිසෙෆ් ආයතනය විසින් සිදු කරන අධ්‍යයනයකින් වාර්තා වන්නේ, විශේෂයෙන්, “අවුරුදු 11-18 අතර පිරිමි ළමුන්ගෙන් සියයට 67.6 කට මාර්‍ගගත ප්‍රවේශය ඇති බවත් ගැහැණු ළමුන්ගේ මෙම අගය සියයට 33.1 ක් බවත්ය. ග්‍රාමීය හා වැවිලි ප්‍රජාව තුළ විශේෂයෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර එය දීර්ඝතාලීනව පැවතීව යහපත් ප්‍රවනතාවක් නොවේ.

මේවන තෙක් අවුරුදු 16 දක්වා ගැහැණු හා පිරිමි දරුවන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබා දීමේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පවත්වා ගෙන යෑමට අපට හැකියාව ලැබී ඇත. ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය 91.7% ක් වන අතර පුරුෂයින් හා සසඳන විට කාන්තාවන් සඳහා වාර්තා වී ඇති සාක්ෂරතා අනුපාතයේ සුළු අඩුවක් තිබේ. කෙසේ වෙතත්, වසංගතයේ බලපෑම නිසා පන්ති කාමරයේ සිට ඔන්ලයින් ඉගැන්වීම් දක්වා අධ්‍යාපනය ද ඩිජිටල්කරණය වීම හේතුවෙන් ග්‍රාමීය හා වතුකරයේ විශේෂයෙන් ගැහැනු දරුවන් ලබා ඇති ජයග්‍රහණ ආපසු හැරෙනු ඇතැයි යන බියක් පවතී. එසේම ගෘහස්ථ හිංසනය වැඩිවීම, දුප්පත්කම, ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනය ගැහැණු ළමයාට අහිමි වීම ආදී අවදානම්ද පවතී.

පවතින කොවිඩ් තත්ත්වය සහ ගැහැණු දරුවාට ඍණාත්මකව බලපාන ඒ සබැදි කරුණු කාරණා හමුවේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය නිරන්තරයෙන් කටයුතු කරමින් ඒසදහා ඔවුනට අවශ්‍ය ශක්තිය නිරතුරුව ලබා දීමටත් කටයුතු කරනු ඇත.”





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks